ඇගේ කතාව

 


               අළුත් කාර්යාල කාර්යය සහායක අමිත් ගැන වරුණි හිටියේ පැහැදීමෙනි.ඔහුට යමක් දෙවරක් කිව යුතු
 නැත.හැම දෙයක් ම සොයා බලා කඩිසර ව පිළිවෙලට සිදු කරයි.සැමට පෙර වැඩට එන්නේ ඔහුය.හැමට පසු
 ගෙදර යන්නේ  හැම දොරක් ජනේලයක් බල්බයක් ෆෑන් එකක් ටැප් එකක් පාසා චෙක් කර යතුරු බාර දීමෙන් 
පසුවය.ඒ සියල්ලට වඩා ඔහුගේ වරුණි අගය කරන්නේ දවස පුරා සිනාමුසු මුහුණින් සිටීමය.වරදකට කියා 
ඇත්තේ වැඩක් නැති හැම මොහොතක ම ජංගමයට එබී සිනා සිසී සිටීමය.එය වයසේ හැටි යයි ඇය සිතා ගත්තාය.
                සති අන්තයකින් පසු සඳුදා කාර්යාලයට එද්දී වෙනසක් වී ඇතැයි වරුණිට සිතුනේය. කාමරය අතුගා
 ඇතත් මේසය පිහදා නැත. වෙනදා කණ්ණාඩියක් මෙන් බබලන මේසය මත යන්තම් දූවිලි පටලයක් පෙනේ.
අමිත් වැඩට ඇවිත් නැත්දැයි බලන්නට ඇය සීනුව නාද කළාය.අමිත් දුවගෙන ආවේය.
 " ගුඩ් මෝනිං මැඩම්‍"වෙනදා තිබූ සිනාව පොදක් වත් නැත.
 "ගුඩ් මෝනිං අමිත්.අසනීපෙන් ද?"
 "නෑ මැඩම්"
 "ගෙදර ප්‍රශ්නයක් ද?" 
" නෑ මැඩම්" 
               වරුණි තවත් එය නොඅසා ඔහු ඉවත යැව්වාය. කාර්ය බහුල දවසේ වැඩත් සමග ඇයට ඔහු අමතක
 විය.මීටින් කීපයක් අවසන් ව  වෙනදාටත් වඩා ප්‍රමාද වී ඇය කාර්යාලයට ආවාය.වෙනදාට ඇය එන්නට පරක්කු
 නම් යතුරු සියල්ල ආරක්ෂක කුටියට බාර දී අමිත් ගෙදර යයි.නමුත් එදා යතුරු ඔවුන්ට බාර දී නැත. අමිත්
 තවමත් කාර්යාලයේ විය යුතුය. වරුණි තම පුටුවේ ඉඳගෙන මහන්සි ඇරියාය. වාහනය සර්විස් කරන්නට දැමූ 
නිසා තමන් ගෙන යන්නට එන මෙන් සැමියාට පණිවිඩයක් තබා ලැප්ටොප් එක විවෘත කර ගත්තාය.අද ම යැවිය
 යුතු ඊ මේල් ගණනාවකි. අමිත් දොර ළඟ පෙනී සිටියේය.ඔහුගේ අතේ දුම් දමන තේ කෝප්පයකි.
 " තාම ගියෙ නැද්ද අමිත්?"
 "මට ගෙදර යන්න හිතෙන්නෙ නෑ මැඩම්‍" ඔහු තවමත් අඳුරු කරගත් මුහුණිනි.
 "මොකද අමිත් ප්‍රශ්නෙ......ගෑණු ළමයා තරහ වෙලාද?" 
මැඩම් දන්නේ කොහොමදැයි බැල්මකින් අමිත් ඇය දෙස බැලුවේය.
 "අවුරුදු 3ක් ගියා ට පස්සෙ මගෙ රස්සාව මදි ලු එයාගෙ අම්මලට......."
 "හ්ම්....අම්මලටනෙ මදි...ගෑණු ලමයා මොකද කියන්නෙ?"
 "අම්මලා අකමැති දෙයක් කරන්න බෑලු.මගෙ සල්ලි වලින් අම්මලට බේත් අරන් දෙද්දි එක එක කෝස් කරද්දි ඒ
 රස්සාව හොඳයි....දැන් තමා.....මට සැක හිතුනා මගෙ මැසේජ් සීන් නොවී ඔන් ලයින් ඉන්නකොට ...කෝල් 
ගනිද්දි ෆෝන්‍ එක බිසී වෙද්දි .... ඕකිට මම ......!!" අමිත් කෝපයෙන් දත් මිටි කෑවේය.ඔහුගේ අත්‍ මිට මෙලවී
 ඇත.
 "අමිත්ට ඕන ඒ ළමයට දඬුවමක් දෙන්නද?" වරුණි පරිගණක තිරයෙන් ඉවතට හැරුණාය.
 "ඔව් මැඩම්....අමතක නොවෙන දඬුවමක්!!!" 
"ඔයාගෙ තරහ සාධාරණයි...ඒත් අමිත්‍ එයාට දඬුවම් කරන්න ගිහින් ඔයා ව සමාජය නීතිය ඉස්සරහ
 වැරදිකාරයෙක් වුණොත් ඒ දඬුවම එයාට නෙවේ ඔයාට නේද?"
 "ඒක නම් එහෙම තමා මැඩම්"
 "අමිත් කැමති නැද්ද කාටවත් නිය පිටින් පාරක් වත් නොදී ඒ ගෑණු ලමයට හැමදාම විඳවන දඬුවමක් දෙන්න?" 
එහෙමත් දඬුවම් ඇත්දැයි අහන බැල්මෙන් අමිත් පුදුමයෙන් බැලුවේය. 
වරුණි පුටුවේ හරි බර ගැසී අමිත්ටත් ඉදිරියෙන් ඉඳ ගන්නට අතින් කීවාය.
 "මම දන්න ගෑණු ලමයෙක් කෝසලා. පවුලෙ අගහිඟකම් නිසා ඕ ලෙවල් වලින් ඉස්කෝලෙ යාම නවත්තලා 
ගාමන්ට් එකක වැඩට ගියා.ඒ වගේ කතා හරි සුලභයි නෙ. එයා ආවෙ ගියේ ගාමන්ට් බස් එකේ.ඒ කාලෙ ඒක
 එලෙව්වෙ සිරිනාථ. මේ දෙන්නා අතරෙ එෆෙයාර් එකක් ඇති වුණා.සිරිනාථගෙ පඩියෙන් තමා උසස් පෙළ
 කරන නංගිලා දෙන්නට වියදම් කළේ. මාස කීපයකට පස්සෙ බස් අයිතිකාරයා එක්ක ප්‍රශ්නයක් දාගෙන
 සිරිනාථට රස්සාව නැති වුණා.ඒත් ඒක ගෙදරට කියන්න එයා කැමති වුණේ නැහැ.වෙන රස්සාවක් හොයමින්
 මාස දෙක තුනක් ගත වෙද්දි සිරිනාථගෙ වියදමට විතරක් නෙවේ නංගිලගෙ පන්ති ගාස්තු පවා යැව්වෙ 
කෝසලාගෙ පඩියෙන්. ඒ කාලෙ චන්දයක් ළං වුණා.සිරිනාථ ගමට ගිහින් චන්දෙ ඉල්ලුව කෙනෙක්ට ආධාර 
කළා.එයා දිනුව ම සිරිනාථට ආණ්ඩුවෙ රියදුරු ජොබ් එකක් ලැබුණා.එතන ඉඳන් තමා ඔක්කොම වෙනස් වුණේ.
 ගාමන්ට් කෙල්ලක් බඳිනවට අම්මලා අකමැති බව කියල සිරිනාථ සම්බන්ධෙ නැවැත්තුවා.
               අද අමිත්ට හිතුනෙ ඒ ළමයට දඬුවම් දෙන්න.කෝසලාට ඕන වුණේ තමන්ට ම දඬුවම් දී ගන්න.එයා
 අතට අහු වුණ තරමක් බේත් පෙති බිව්වා.මැරුණෙ නෑ.ඒත් දවස් ගානක් ඉස්පිරිතාලෙ දුක් වින්දා.ඒ දවස් ටිකේ 
ගෙදර අය තමන් නිසා වින්‍ද කරදර දැක්කම එයාට තේරුනා ඇත්ත ආදරේ ගැන. තමන්ගෙ ඇඳ වටේ හිටි අනිත් 
ලෙඩ්ඩුන්ගෙ විස්තර වලින් ලැජ්ජා හිතුනා තමන්ට තියෙන්නෙ මොන ප්‍රශ්න ද හිතල. සනීප වෙලා ඇවිත් ආයෙ
 ජොබ් එකට ගියා.ඒ බස් එකේ යන්න එන්න හිත නොදුන් නිසා ගාමන්ට් එක ළඟින් බෝඩිමක් හෙව්වා. එයාට
 අපූරු බෝඩිමක් සෙට් වුණා.අම්මයි දුවයි මිනිපිරියි ඉන්න ගෙදරක්.අම්මගෙ රස්සාවෙයි දුවගෙ ඉගෙනීමෙයි වැඩ
 නිසා අසනීප ආච්චි අම්මාගෙ වැඩ කටයුතු මග ඇරිලා.කෝසලාට තිබුනෙ ඒ ආච්චි අම්මාට සාත්තු කරන්න. 
ඒකට හරි යන්න නොමිලේ ඉන්න කාමරයක් ම ලැබුණා. වයස වුණාට අසනීප වුණාට ඒ ආච්චි අම්මාගෙ සිහි
 කල්පනාව හොඳට ම හොඳයි. එයා කෝසලාට ජීවිතේ ගැන කියා දුන්නා.ඒව අහල කෝසලා ආයෙත් ඉගෙන
 ගන්න පටන් ගත්තා.ගාමන්ට් එකේ වැඩයි ගෙදර සාත්තුවයි එක්ක මේක හරි ම අමාරු අභියෝගයක්.ඒත් ඒ
 ගෙදර දුවත් ඕ ලෙවල් ඉවර කරල නිසා ඒ පොතුත් ඉල්ලගෙන දවසකට පැය දෙක තුනකට වඩා නිදි නැතුව 
වැඩ කරල ඒ ලෙවලුත් පාස් වුණා.

                    ගාමන්ට් කෙල්ල කියන දේ හිතේ තදින් ම තිබුණ නිසා එතනින් ම ගොඩ යන්නයි කෝසලා අධිෂ්ඨාන කළේ.එයා ඒ පැත්ත සම්බන්ධ ඩිප්ලෝමා කළා.ඉංග්‍රීසි හදා ගත්තා. ගාමන්ට් එකේ හැම අංශයක් ගැන ම හොඳ දැනුමක් පුහුණුවක් ලැබුවා.කෝසලාට ජයන්ත මුණ ගැහුනෙ ඉංග්‍රීසි පන්තියෙදි. ජයන්තත් ඒ වෙද්දි රජයේ රැකියාවක් කරන ගමන් බාහිර උපාධියට ඉගෙන ගන්නවා. කෝසලා ගාමන්ට් කෙල්ලක් ජයන්තට අදාල වුණේ නෑ.පවුල් දෙකේ ම ආශිර්වාදයෙන් විවාහ වෙලා ඉන් පස්සෙත් දෙන්න ම දෙන්නට උදව් වුණා.ජයන්ත පරිපාලන සේවය පාස් වුණා.කෝසලා ගාමන්ට් එකේ පොඩි ම තැන ඉඳන් ඩිරෙක්ට කෙනෙක් දක්වා ඇවිත් ඒ වගේ ම ප්‍රශ්නෙකට මූණ දුන්න ඔයාට එයාගෙ කතාව කියනවා දැන්.

මෙතෙක් දැහැනකට සම වැද මෙන් සවන් දී හුන් අමිත් පියවි සිහියට එළඹුනාක් සේ ඇය දෙස බැලුවේය.

"මැ..මැඩම්...ද ඒ කෝසලා.එ...එතකොට කෝ මැඩම් සිරිනාථ.එයාට ලැබුණද දඬුවමක්?"

වරුණි කෝසලා සිනා සී ඊට පිළිතුරු දෙන්නට සැරසුණත් ඇගේ මේසය මත තිබූ දුරකථනය එවෙලේ ම නාද විය.

"ඔව් එස්ඕ.....මං එනවා කියන්න."

මට අද යන්න වෙන්නෙ හස්බන්ඩ්ගෙ ඔෆිස්  වාහනේ....ම්ම් අමිත් යන්කෝ මගෙ බෑග් ටිකත් අරන්"

ප්‍රාදේශීය ලේකම් ලෙස සඳහන් වාහනය දොරකඩ නවතා තිබුණි. යුහුසුළු ව ඉදිරියට ආ රියදුරා බොහෝ ගරුසරුව ඇයට දොර ඇර දී අමිත් ගේ අතේ තිබූ බෑග තම අතට ගත්තේය.

"සර් තාම ඔෆිස් එකේ ද සිරිනාථ?"

"ඔව් මැඩම්...හෙට සර්ට ජනාධිපතිතුමා එක්ක මීටින් එකක්.ඒකෙ වැඩ තාම"

"වරුණි වාහනයට නැග අර්ථාන්විත බැල්මකින් අමිත්‍ දෙස බැලුවාය.

පිට ව යන වාහනයේ විදුලි එළියෙන් අවට අඳුර මොහොතකට මැකී ගියේය. නැවත හාත්පස අඳුර පැතිරුණත් අධිෂ්ඨානයක ආලෝක පුංජයක් නොනිවෙන සේ ඒ මැද දැල්වී තිබුනේය.

 

Comments