බාලිකා ලොව

ඉනෝකා සුසුමක් හෙළුවාය.අද දෙසැම්බර් නිවාඩුව ඇරඹේ.ජනවාරියේ  සිට ඇය අළුත් පාසලේය.ඇයට මුලින් ම වැඩ බාරගෙන මේ පාසලට ආ දා මතක් විය.

ඉනෝකා  කාර්‍යාලයේ සිට හෙමින් හෙමින් ගුරු කාමරයට ආවාය.

"කාල සටහනක් දුන්නද?"

"මොන පන්ති ද තියෙන්නෙ?"

ඇය එනතුරු මග බලා සිටියාක් මෙන් ගුරුවරියන් දෙදෙනෙක් ඇසූහ.

"6-11 පන්ති විද්‍යාව.මාස තුනකට පන්ති බාරකමකුත් තියෙනවා"ඇය ලැජ්ජාවෙන් මෙන් කීවාය.

"අහ්....හරියටම හරි.ලොක්කා පරණ ලෙඩේට අලුත් ඩොකාගෙනුත් බේත් අහන්නයි හදන්නෙ......

ඉනෝකාගේ අතේ තිබූ කාලසටහන ලියූ කඩදාසියට කර පෙවූ කටකාර ගුරුවරයෙක් අනෙක් ගුරුවරුන් දෙස බලා මහ හඬින් කීය.

.......අර අට වසර නසරානි පන්තියෙ තමා පන්ති භාර.කලින් ටීචර් මාරු වෙලා ගියා.ඊළඟට දෙන්න කෙනෙක් නැතුව ඉන්නකොට අකමැත්තෙන් ම  නාලිකා මිස් බාර ගත්තෙ  මාස තුනෙන් මැටනිටි ලීව් යන නිසා.ඔයාටත් මොකක් හරි  විකල්පයක් හොයා ගන්න වෙයි."

ඔහු තව දුරටත් හිනා වෙවී කියද්දී ඉනෝකා චකිතයෙන් වටපිට බැලුවාය.

"මං උගන්වන්න ඇවිත් අවුරුදු පහළවක්.මේ තුන් වෙනි ඉස්කෝලෙ. ඔය වගේ ජරා පන්තියක් මට කවදාවත් හම්බ වෙලා නෑ. දවස් දෙකයි ඉගැන්නුවේ.මං කෙලින් ම ප්‍රින්සිපල් සර්ට කිව්ව එක්කො මට වෙන ක්ලාස් එකක් දෙන්න නැත්නම් මං මාරු වෙලා යනව කියල"තලතුනා ගුරුවරියක් කීවාය.

"ජනවාරියෙ ඔය පන්තියෙ කෙල්ලො දෙන්නෙක් කොල්ලො දෙන්නෙක් එක්ක බස්ටෑන්ඩ් එකේ මුකුළු කර කර ඉඳලා අහු වුණ වෙලාවෙ අපි කොච්චර කිව්වද ඉස්කෝලෙන් අස් කරන්න.කොහෙද ලොකු සර් අපිට මනෝ විද්‍යාව උගන්වන්න ආවනෙ.ආං දැන් ඔක්කොම කෙල්ලො ටිකට ගාය හැදිලා.හෙට අනිද්දාට අනිත් පන්ති වල ළමයින්ගෙ දෙමාපියෝ ඇවිත් ඉස්කෝලෙ ගාව උද්ඝෝෂණයක් කළාම තමා සර්ටත් තේරෙන්නෙ."

"මම නම් ගියා. ඉගැන්නුවා.ආවා.කවුරු පන්තියෙ ඉන්නවද? නැද්ද?තේරුණාද? ප්‍රශ්න තියෙනවාද?මුකුත් බලන්නෙ නෑ. කොහොමත් පන්තියෙ හිටියත් මෙහෙ සිහියක නෙවේ නෙ ඉන්නෙ."

"ඔන්න මං අද කියන්නෙ.මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔය පන්තියෙ කෙල්ලක් කොල්ලෙක් එක්ක පැනල ගිහින් ඉස්කෝලෙ නමත් කෑවෙ නැත්නම් මං මගෙ කන කපා ගන්නවා"

සීනුව වැදුනේය.ගුරුවරු බොහෝ දෙනෙක් පොත් පත් ගොනු කරගෙන  පන්ති කාමර වලට යන්න පිටත් වූහ.

 ඉනෝකා මහා සුසුමක් හෙළුවාය.ඒ  ප්‍රතිචාර ඇයට වෘත්තියත් එපා කරවන තරම්ය.ඇය කාල සටහන බලා හෙමින් හෙමින් පන්තියට ගෙන යා යුතු පොත් තේරුවාය.

" මිස්!"

ඇය හිස ඔසවා බැලුවාය. මෙතෙක් නිහඬව සිටි වියපත් ගුරුවරියක් ඇය අමතයි.ඉනෝකා ආයාසයෙන් හිනාවක් නගා ගත්තාය.

"අවුරුදු දොළහ දහ තුන කියන්නෙ සංක්‍රාන්ති වයසක්නෙ.ගහල බැනලත් බෑ යාප්පු වෙලාත් බෑ.හැබැයි ඉතිං අපේ පරණ ගුරුකං වලට වඩා තරුණ ඔයාලා ගාව ඒ ළමයි ආංබාං කරන ක්‍රම ඇති."

දවසේ ඇසූ එක ම සැනසිලි වදන වෙනුවෙන් ඉනෝකා ඇයට කට පුරා හිනාවකින් සංග්‍රහ කළාය.

තරමක චකිතයෙන් ඉනෝකා පන්තියට ඇතුල් වූවාය.

මුල දී අලුත් ටීචර් ගැන කුතුහලයෙන් සිටියත් දිනක් දෙකක් යද්දී අනෙක් ගුරුවරු කී ගති ගුණ ඔවුන්ගෙන් එළියට එන බව ඉනෝකා දුටුවාය. එහෙත් අර කීවාක් මෙන් පරණ ලෙඩේට අලුත් ගුරුකමක් සොයා ගත යුතුය.

"සඳුදාට අපි සෙල්ලමක් කරමු.කැමතිද?"

ඇය ඇසුවේ සිකුරාදා කාල පරිච්ඡේදය අවසන් වෙන්න විනාඩි ගානකට පෙරය. කෙල්ලන් රොත්ත කුතුහලයෙන් ඈ දෙස බැලූහ.

"සඳුදට එද්දි තමන්ගෙ පොඩි කාලෙ ෆොටෝ එකක් ගේන්න පුළුවන් නේද?"

විස්මිත ඇස් ගොන්නක්  ඇය වටේ දැල්වුණේය.

" අවුරුදු පහක් හයක් වගේ කාලෙ?"

------------Shanika Tennakoon--------------

 නැවත පැහැදිලි කරද්දී කිසිම චායාරූපයක් ගෙනෙන්නට තහනම් පාසලේ ඇය කරන්නේ විහිළුවක් නොවන බව තේරුම් ගත් ඔවුහු සතුටින්

එකිනෙකා දෙස බැලූහ.

"හැබැයි මේක රහසක්.වෙන කිසි කෙනෙක්ට කියන්නත් බෑ.මං සඳුදා පන්තියට එනකල් ෆොටෝ එක කාටවත් පෙන්නන්න, බෑග් එකෙන් එළියට ගන්න බෑ.හරි ද?"

ටීචර්ත් තමන් වැනිම කපටි සූත්තරයක් කරන්න අර අඳින බව සිතූ දැරියෝ උද්‍යෝගයෙන් හිස් වැනූහ.

තමන්  චායාරූපයක් ගෙන්වන බවට අදාල තැන් දැනුවත් කළ ඉනෝකා සඳුදා පන්තියට ගියේ හිතා මතා ම තරමක් පමා වෙමිනි. ඇය යන පෙරමගට පැමිණ සිටි පන්ති නායිකාව දුටු ඉනෝකාට හිනා ගියේය.පුදුමයකි.පන්තියේ හතළිස් දෙනා ම සිටිති.

"දෙන්නා දෙන්නා එකතු වෙන්න.තමන් ගෙනා ෆොටෝ එක යාළුවගෙ ෆොටෝ එකත් එක්ක මාරු කර ගන්න."

දැරියෝ ඉතා කීකරුය.

"දැන් තමන්ගෙ අතේ තියෙන ෆොටෝ එකයි යාළුවගෙ මූණයි බල බල එදාට වඩා අද තියෙන වෙනස්කම් පහක් ලියන්න."

පන්තියේ  කසුකුසු කුට්ටම්ය. හිනා හඬවල් ය.

"මේ ......ඒ කාලෙ කොණ්ඩෙ කොටයි නේද..... අයියෝ ඉස්සරහ දතත් නෑ....... ඒ කාලෙ කෝටු ම කෝටුයි.සුදුත් එක්ක"

"හරි දැන් තමන්ගෙ ෆොටෝ එකයි යාළුව ලිව්ව එකයි ඉල්ලගන්න.බලන්න ලියල තියෙන වෙනස්කම්"

දැරියෝ ඉතා උනන්දුවෙන් තමන් ගැන යෙහෙළියගේ ප්‍රතිචාර කියවමින් සිනාසුණහ.

"යාළුවා ලියල තියෙන්නෙ මේ අවුරුදු ගාණ එද්දි ඔයාගෙ සිද්ද වුණ පිටට පේන වෙනස්කම්.ඔයාල තනියෙන් ලියන්න තමන්ට විතරක් පේන තමන්ගෙ වෙලා තියෙන වෙනස්කම් පහක්"

ගුරුතුමී කියන්නේ අමුතුම දේවල් වුවත් දැරියෝ උනන්දුවෙන් ලියති.

"මොනවද ලිව්වේ?"

එවර නම් ඔවුහු ඇස් කරකවා බැලූහ. කාටවත් නොපෙනෙන දේ ටීචර් පන්තිය ඉස්සරහම අසන්නේ තමන්ගේ ජොබ් එකත් නැති කර ගන්නද?

 ඉනෝකා සිනාසුණාය.

"හරි හරි කියන්න ඕන නෑ.හැමෝටම වෙලා තියෙන්නෙ එකම වෙනස්කම් ටිකනේ.දැන් හිතන්න පිට අයටත් ඔයාටත් නොපෙනී ඔයාගෙ හිතේ සිද්ද වෙලා තියෙන වෙනස්කම්"

"මේවද ලිව්වෙ බලන්න" ටික වේලාවක් දී ඉනෝකා කීවාය.

"ලස්සනට ෆැශන් වලට අඳින්න ආසයි. පිරිමි ළමයි තමන් දිහා බලනවද කියල කල්පනාවෙන් ඉන්නෙ.සමහර පිරිමි ළමයි ගැන විශේෂ ම අවධානයක් තියෙනවා.සමහර බස් වලට නගින්නෙ, පන්ති වලට යන්නෙ එයා එන නිසාමයි. සමහරු නම් පිරිමි ළමයෙක්  මේ වෙද්දි වෙන් කරගෙනත් නේද ඉන්නෙ ජීවිත කාලෙටම?"

ඉනෝකා පන්තිය සිසාරා බැලුවාය.

ටීචර් මොකාට එනවාදැයි ඇස් යුගල් හතළිහක් බලාගෙනය.

"පොඩි කාලේ ඔයාලා සුවඳ මකනෙකට, තුඩ මාරු කරන පැන්සලකට, දිලිසෙන ස්ටිකර් එකකට පණ දෙන්න හිටියා නේද.කෝ ඒ ආදරේ දැන්.ඒ වගේ ම තමා මේ ආදරෙත්......."

"ඒ කියන්නෙ මේවත් වෙනස් වෙනවද මිස්?"

ඒ හඬ ආවේ කොහෙන්දැයි හොයා ගත නොහැකි වුණත් එය ඇයට ඊළඟ පියවරට යාමට විශාල පහසුවක් විය.

"බොහෝ දුරට.මේ වෙනස්කම් බොහොමයක් වෙන්නෙ කාලෙන් කාලෙට අපේ ඇඟේ සිද්ද වෙන හෝමෝන ස්‍රාව වෙනස්කම් එක්ක. තාවකාලික වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වන්න ගිහින් තමන්ගෙ අධ්‍යාපනයට හරි චරිතයට හරි සදාකාලික හානියක් කර ගත්තොත්...........මොකද වෙන්නෙ ළමයි?"

ඉනෝකා අතරමග නවත්වා ඉතිරිය  කීවේ සිසුවියන්ට හිතන්න කාලය ලබා දෙමිනි.

"ඒ කියන්නෙ පිරිමි ළමයි ආශ්‍රය කරන්න ම එපාද මිස්?"

"සීමාව දැනගෙන කරන කිසිම දෙයකින් වරදක් වෙන්නෙ නෑ.හැබැයි පළවෙනි දේ තමන්ගෙ චරිතය, දෙක අධ්‍යාපනය. ඔයාලා හොඳට මොළේ තියෙන නව යොවුන් තරුණියෝ නේ"

ඒ අළුත් නම්බු නාමයෙන් ඔවුන් කුල්මත් වූ බව පැහැදිලිව පෙනුනේය.

"අපි පටන් ගමු එහෙනම් අද පාඩම. අපේ හෝමෝන ගැන!"

සිසුවියෝ වෙනදාට වඩා සෑහෙන උනන්දුවෙන් පාඩමට සැරසුණහ.

මහා ඝෝෂාවක් නිසා ඉනෝකා කල්පනාවෙන් මිදුණාය.පාසල ඇරෙන්න තව කල් ඇත.

"මොකද මිස් කෑ ගැහිල්ල?"

"ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිල්ලානෙ.මේ පාර හොඳටම හොඳයි අපේ ළමයි ටික. හැම ස්කීම් එකකින්ම රෑන්ක් තියෙනවා"

ඒ ගුරුවරිය දිළිසෙන දෑසින් කීවාය.

ඉනෝකා ද උනන්දුවෙන් ගුරු කාමරයෙන් එළියට ආවාය.

"අපේ මිස් ඉන්නවෝ!!"හඬක් සමග දැරියන් රොත්තක් ඇය මැදි කර ගත්හ.

"අපි ඔක්කොම මිස්ට හම්බ වුණ නසරානි අටේ පන්තිය.හැමෝම විභාගෙ හොඳට පාස්.අයිලන්ඩ් රෑන්ක් එකයි. දිස්ත්‍රික් රෑන්ක් හයයි.හෝමෝන දැන් වෙනස් වෙලා මිස්" ඔවුන් ඇය බදා ගනිද්දී ඉනෝකාගේ දෑස් කඳුළු පටලයකින් වැසී ගියේය.

 

------------Shanika Tennakoon--------------

 

Comments

  1. මිස් බ්ලොග් එකේ නම මාරු කරලා, නැත්නම් මගේ වයර් මාරු වෙලා...........

    ReplyDelete
  2. අපූරු කතාවක්... ලස්සනයි ✍️🌹

    ReplyDelete

Post a Comment