ව.ස බෝතලයක්

 

   නදීමා ඇඳේ ඉඳ ගත්තා නොවේ ඉන්දවුණාය.දුරකථනය ඉබේ ම අතින් ගිලිහී ඇඳට වැටුණේය.මොහොතකට පෙර අස්මල් තමන්ට බැ..ගෙන බැ..ගෙන ගිය අයුරු ඇගේ කන් වල තාමත් රැව් දෙයි.මොනවටද?කැනඩාවේ පදිංචිව සිටින අවුරුදු දෙකකට පසු ලංකාවට විත් හෙට නැවත විදෙස් ගත වන ලොකු අම්මාගේ එකම දුව තරිනි අක්කා බලන්න ගිය වැරැද්දටය.ඇය ලංකාවට ඇවිත් මාසයක් ම ගත වුවත් නදීමාට ඇය බලන්න යන්න අස්මල් තහංචි දමා තිබුණේය.නොයෙක් විදියේ  නිදහසට කරුණු කියා නදීමා ඒ ගෙදර නොයා සිටියාය.එහෙත් පුංචිම කාලේ පටන් තමන්ගෙම සහෝදරියක් වැනි වූ,රට ගිය පසු ආයේ කවදා එයිදැයි නොදන්නා අක්කා ව නොබලා ම සිටිය හැකිද.

තරිනි අක්කා ෆේස්බුක් එකේ ඇගේ පෙම්වතා මාක් සමග දමා තිබූ ඉතා ආදරණීය ෆොටෝ අස්මල්ට දිරෙව්වේ නැත.

"මොකාද ඒ හිපාටුවා......තම්බපු ඉස්සෙක් වගේ.බලනවකො ඒවයෙ ඉන්න කැ.තකම මහලොකු අක්කා. අහන්න දෙයක් නෑ  උන්දැගෙ චරිතේ. ඔහොම ඔක්කෝම එළියෙ දාන් ඉන්න එකෙන් ම එයා එහෙ හම්බ කරන හැටි හිතා ගන්න පුළුවන්. ලංකාවට ආව දවසක යන්නෙ හෙම නෑ හම්බ වෙන්නවත්"

ඔහු කියන කතා ඉතා අසා.ධාරණ බව දැන හිටියත් ඒවාට විරුද්ධ වෙන්න දැන් කල් ගියා වැඩිය.නදීමාට අස්මල් සමග යහළු වූ මුල් කාලය සිහි විය.

"කොටට අඳින්න එපා බබී ඔයා දන්නෙ නෑ කොල්ලො කියන කතා ඔහොම ඇඳන් යද්දි"දණිස්සට අඳින ඇඳුමක් පවා ඔහුට අනුව කොට වැඩි විය.

"පන්තියෙ කොල්ලො එක්කවත් ට්‍රිප් යන්න හොඳ නෑ බබා....මේ ඉන්න උන් නෙවේ ට්‍රිප් ගිහින් පොඩ්ඩක් කටේ ගා ගත්තම"

ඒවාට කීකරු වෙද්දී ඔහුගේ නීති තවත් තද විය.

"විකා.රද ලෙගින් අඳින්න හදන්නෙ?ඇඟ ඔක්කොම බේරිලා පෙන්නගෙන යන්නෙ තව කාව අල්ලගන්නද?...........මි.නී මස් කාලද කටේ හැටි.ඇඟිලි ටිකට ලේ බැහැලද?ඔහොම අඳින්නෙ මොක්කුද කියල දන්නෙ නැද්ද?"

ඔහු මේ නීති සියල්ල දැම්මේ තමාගේ  ආරක්ෂාවට බව ඇය ඇදහුවාය.ඉස්කෝලේ යන කාලේ සිට ආදරයෙන් එකතු කළ මේකප් සෙට්  සියල්ල ඇය යෙහෙළියන්ට බෙදා දුන්නාය.

"මේ මොකද නදී උඹ මේවා පණ වගේ නේ පරිස්සම් කළේ?"ඇගේ ආසම කියුටෙක්ස් එකක් ලැබූ මනීශා ඇසුවාය.

"අස්මල් කැමති නෑ අනේ ඕවා ගානවට."

මනීශා  පුදුමයෙන් ඇය දෙස බැලුවාය.

"ඒක හරි වැඩක්නෙ.එයාගෙ ඇඟේයැ ගාන්නෙ"

"එයා එහෙම තමා බං.ගෑණු ළමයෙක් වුණාම ඉන්න විදියක් තියෙනවානෙ.ඊට පිටින් යනවට එයා කැමති නෑ"

"ඌ උඹේ ලොකු තාත්තා ද ගෑණු ළමයෙක් ඉන්න ඕන විදිය ගැන උපදෙස් දෙන්න.නදියෝ ඕක නම් හරි යන වැඩක් නෙවේ."

"එහෙම තමා බං කොල්ලන්ගෙ ආදරේ. අපේ අක්කටත් අයියා රටේම තියෙන නීති දාල තියෙන්නෙ.මං නම් ආසයි ඒ විදියට මගෙත් හැම දෙයක්ම හොයල බලල ආරක්ෂාවට ඉන්න කොල්ලෙක්ට"තවත් යෙහෙළියක් එසේ කියූ නිසා නදීමාට සැනසිල්ලක් දැනුනේය.

"අරක කරපං,මෙහෙම හිටපං කිය කිය අණ දෙන මිනිහෙක් එක්ක ජීවිත කාලෙම ගත කරන්න...... බුදු අම්මෝ. ය.ක්ෂ ලව් එකක්නෙ ඒක.අනේ මං තනිකඩ ව නාකි වුණාවේ"මනීශා නැවත කීවාය.

අවුරුදු ගාණකට පසු එකට ඉස්කෝලෙ ගිය යෙහෙළියන් පිරිස පවත්වන ගෙට් එකට යන්න ද නදීමාට අවසර ලැබුණේ නැත.

"ඕකියො නටපු දහ අට වන්නම් අපේ කොල්ලො හොඳට දන්නවා.ත.මුසෙත් එතනට ගිහින් ඒ ගානට වැටෙන්නද හදන්නෙ?" අස්මල් නදීමාගේ ඇඟට කඩා පැන්නේය.

"උඹ ඔය අල්ලන් ඉන්නෙ ලව් එකක් නෙවේ ව.හ බෝතලයක්.දවසක උඹට ගෙදර මිනිස්සු එක්කත් කතා කරන්න එපා කිව්වත් පුදුමයක් නෙවෙයි"ගෙට් එකට නොආ හේතුව ලෙස නොයෙක් කතා කීවත් නියම හේතුව වටහා ගත් මනීශා කීවාය.

"අනේ නැහැ බං......පොඩ්ඩක් සැ.ර කළාට අස්මල්  මට හරි ආදරෙයි. බැ..ලා බැ..ලා පැයක් යද්දී  කතා කරල බැගෑපත් වෙවී සමාව ඉල්ලන්නෙ. ප.ව් අනේ"නදීමා නැවතත් ඔහු ව බේරා ගත්තාය.පිටින් බලන අයට එවන් සංසාරගත ආදරයක් තේරුම් ගත නොහැක.

                    කොන්ඩෙ පොඩ්ඩක් කපනවාට, යන්තම්වත් මේකප් කරනවාට දැක්වූ වි.රෝ.ධය අඳින ඇඳුමේ පාට,පළඳින මාල කරාබු වලට පවා නීති දාන තැනට එද්දී යෙහෙළියක් හමුවීමට යාම,ඔවුන් හා ට්‍රිප් එකක් යාම වළක්වා දැමූ සම්බාධක පවුලේ ළඟම නෑයෙක්ගේ ගෙදරට යාමට පවා විරුද්ධ වෙද්දී, යන හැම තැනකම ළඟ ඉන්න අය,මුණ ගැහුණ අය ගැන සියළු තොරතුරු එවෙලේම වාර්තා කරන්න සිදුවීමේදී මේ නම් ව.හ බෝතලයක් යයි නදීමාටත් සිතුණේය.

                    එය වඩාත් තහවුරු වුණේ අනෙක් යෙහෙළියන්ට නෑදෑ සොයුරියන්ට මුණ ගැසී තිබුණු පෙම්වතුන් දකිද්දීය. අස්මල්ගේ හැසිරීමෙන් ආදරය නම් මෙයයි සිතා සිටියාට ඔවුන්ට ඒ පෙම්වතුන්ගෙන් එවන් බා.ධක වැටී තිබුණේ නැත.තමන් පමණක් හිරකාරියක් ව වරදක් නැතුවත් තිත්ත කතාවෙන් බැ.ණු.ම් අහද්දී අනෙක් පෙම්වතියන් සතුටින් නිදහසේ අඳින පළඳින ගමන් බිමන් යන එන හැටි ඇයට පෙනෙන්නේ දැන්ය.

                    ඔහුගේ ඇමතුමකට  එවෙලේම උත්තර නොදුන්නොත්, මැසේජ් එකක් එවෙලේම සීන් නොකළොත්, සීන් කළ සැණින් උත්තර නොදුන්නොත් නදීමාට බැ.ණු.ම් කෝටියකි.ඒ වෙලාවට අස්මල් බ.ණි.න්නේ රටේ සියලු පිරිමි ඇයට පාවා දෙමිනි.

අස්මල්ගෙන් වෙන් වීමට ඇය තීරණය කළාය.

"නව.ත්ත.න්න? මේක??.......උ.ඹ.ට මං යහතින් ඉන්න තියන්නෙ නෑ.වෙන එකෙක් එක්ක යන්න දෙන්නෙත් නෑ. .......... උ.ඹ.ත් ම.ර.ලා මමත් මැ.රෙ.න.වා."

පැය බාගයක් පමණ නොනවත්වා කළ බැ.ණු.මේ ඇයට හොඳටම මතක හිටියේ අවසන් වාක්‍යයයි.ඇගේ කන් අගුල් වැටී ඉන් එහා කිසිවක් නෑසී ගියේය, හීන් දාඩිය දැම්මේය.

අස්මල්ට එවන් දෙයක් කරන්න බැරි කමක් නැත.ඔහුට මැ.ර යහළුවන් කීප දෙනෙක් ද ඉන්නා බව නදීමා දනියි.

"මේක දිගටම කළත් මට  මැ.රි මැ.රී ජීවත් වෙන්න වෙන්නෙ.අයින් වුණොත් එක පාර ම ම..ල දායි.මං මොකද දෙයියනේ කරන්නෙ"

**************Shanika Tennakoon***************

අතීතාවර්ජනයෙන් වර්තමානයට ආ නදීමා කල්පනා කළාය.කල්පනා කළාය. කල්පනා කළාය.අන්තිමේ නොදැනීම ඇයට නින්ද ගියේය.ඇයට ඇහැරුණේ මනීශාත් සෙන්තුකීත් කාමරයට එබී බලා කෑ ගහද්දීය.

"කුමාරයාගෙන් අපිව බලන්න එන්න තහංචි නිසා ඕං අපි ආවා.රෑ තිස්සෙ මල් කඩලා මේ.කි තාම නිදි"

නදීමා අපහසුවෙන් දෑස් ඇරියාය. හොඳටම එළිය වැටිලාය. ඇය කලබලයෙන් ෆෝන් එක බැලුවාය.

අස්මල්ගේ ගුඩ් මෝනිං මැසේජ් එකට උත්තර නැත්නම් උදේම බැ.ණු.ම් කෝටියකි.මැසේජ් නැත. පුදුමයකි. කෝල් ඇත්තේත් නැත.මහා ම පුදුමයකි.නදීමා යෙහෙළියන් දෙදෙනා දෙසත් බලා අස්මල්ට ඇමතුමක් ගත්තාය.

"හෙලෝ...... කොහෙද ඉන්නේ?"

වෙනදා තමාගෙන් ප්‍රශ්න කරද්දී අස්මල්ගේ හඬේ ඇති ස්වරය ආයාසයෙන් රඳවාගෙන ඇය ඇසුවාය.

"මොකක්?......මට කිව්වෙ නෑනේ යන බවක්?........කවුරු එක්කද ගියේ?........"

එහා පැත්තෙන් ඇහෙන උත්තර නොදනිතත් නදීමා සැ.රෙන් ප්‍රශ්න අහන හැටියට යෙහෙළියෝ දෙන්නා පුදුමයෙන් බලා සිටියහ.

"........මට මුකුත් වෙලා නෑ.මං කරන කියන හැම දෙයක්මත් මං ඔයාට කියනවා. කොහොමද ඔයා මට නොකියා තැන් තැන් වල යන්නෙ? ..............නෑ නෑ මට විශ්වාස නෑ......දැන් ම මේ දැන් ම මට වීඩියෝ කෝල් එකක් ගන්න ඕන....... නැත්නම්? නැත්නම් මං ලියුමක් ලියල තියල මෙතනම... මෙතනම ගි.නි තියා ගන්නවා......."ඇය කියාගෙන කියාගෙන ගියාය.

විනාඩි දෙක තුනක් ගත විය.පුදුමයකි. වීඩියෝ කෝල් එක ආවේය.

"මොකක්ද ඔය ඇඳගෙන ඉන්නෙ? දන්නෙ නැද්ද බොඩි ෆිට් ඇන්දම ඔයාට හරි කැතයි කියල.කොහෙන්ද ඕක හොයා ගත්තෙ. මොකක්ද ඒකෙ තියෙන  කැ.ත ඩිසයින් එක.කවුද දැන් ඔය ළඟ ඉන්නෙ....... කමක් නෑ ඇහුණදෙන්........ මොනවද  මේසෙ උඩ තියෙන්නෙ. බෝතලයක් නේද?.........බොරු කියන්න එපා......කෝ හරවන්න කැමරාව ඒකට........."

"මොකද මේ පැණි වරකාවට හෙ.ණ ගහලා....අපි වැරදි වෙලාවක ද ආවෙ." කෝල් එක අවසන් වූ පසු සෙන්තුකී ත්‍රස්ත ව ඇසුවාය.

නදීමා සාමාන්‍ය තත්ත්වයට පැමිණ හිනා වූවාය.

"අනේ නෑ......ඔයාලා ආවෙ හරිම වෙලාවට.මෙච්චර කල් අස්මල් මට ඔයිටත් වඩා ද.රු.ණු විදියට කතා කරද්දි මං වහ.ලෙ.ක් වගේ බය වෙලා ඇකිලිලා එයාට ඕන විදියට හිටියා.අද ඉඳන් මමත් එහෙම ඉන්න හදන්නෙ"

"උඹටත් එහෙනම් පෝඩ්ඩක් මොළේ තියෙනවා වගේ.....හැබැයි පුතෝ පරිස්සමෙන්"

මනීශා අන.තුරු ඇඟෙව්වාය.

"මං සෑහෙන්න හිතුවා බං.වරදක් ඇතත් නැතත් කොයි වෙලාවෙ  බැ.ණු.මක් අහන්න වෙයිද බ.යෙ.න් වෙව්ල වෙව්ල කොටියෙක් ගාව ඉන්න හාවෙක් වගේ මං ඉන්නෙ.කපල් එකක් කියන්නෙ ඒක නෙවේ.ඒ සම්බන්ධය ඇතුළෙ දෙන්නටම සමාන අයිතීන් වගකීම් යුතුකම් තියෙන්න ඕන.එක්කො අස්මල් එයා මගෙන් ඔහොම ප්‍රශ්න කරද්දි මට තියෙන පීඩනේ තේරුම් අරන් වෙනස් වේවි.නැත්නම් මං මොන කරදරයක් ද කියල වෙන අතක් බලා ගනීවි"

"ඈ.........උඹ ඇත්තටම ද උඹේ ඔය සර්ව ලෝක ප්‍රේම භෘංගයා වෙන අතක් බලා ගනීවි කියන්නෙ"

නදීමා හුස්මක්  ගෙන ඔවුන් දෙස බැලුවාය.

"මං අස්මල්ට ආදරේ තමා.ඒත් ඊට වඩා මං මටම ආදරෙයි"

 


 

Comments

Post a Comment