වෙස්


නන්දා ගුරුතුමිය වසර 35 සේවයෙන් පසු විශ්රාම ලබා වසරකට ආසන්න වුවත් තවමත් ඇගේ විශ්රාම වැටුප පිළිවෙලක් වී නැත.මේ ගැන සොයා බලන්නට කිහිප වරක් ගියත් සැම වර අසන්නට ලැබුනේ පුද්ගලික ලිපි ගොනුවේ අඩුපාඩු නිසා එය එහාට මෙහාට සංක්රමනය වන බවය.
දිනක් වෙළඳපොලේ දී හමු වූ ඇගේ ගෝලයෙක් ගේ මව ගෙන ආවේ සුබ ආරංචියකි.එනම් පුතා දැන් එහි ඉහල තනතුරක් දරන බව .මහත් ප්රීතියට පත් නන්දා පසුවදා පාන්දර ගියේ තමන් ගේ තැනකට යන තරම් විශ්වාසයෙනි.
"ප්රියන්ජන් මහත්තයා ඉන්නව ?"ඇය උදෑසන කටයුතු අරඹා සිටි පියන් තරුණයාගෙන් විමසුවාය.දිසාපති ලීලාවෙන් ප්රශ්න කරන කාන්තාව දෙස ඔහු හිසේ සිට දෙපතුලට බැලුවේය.
"ප්රියන්ජන් සේනාරත්න....මම එයාගෙ විද්යාව teacher"ඇය හිස කෙලින් තබා සාඩම්බර කීවාය.
"අද නම් සර් හම්බ වෙන්න බෑ.සර් ලොකු ඉන්ටවීව් බෝඩ් එකක ඉන්නෙ"
"මගෙ නම කිව්ව ගමන් එන්න කියයි. මගෙ හොඳ ගෝලයෙක්."ඇය ලේසියෙන් පසු නොබසියි.
"ඉඳගෙන ඉන්න එහෙනම්.ඉන්ටවීව් කලින් ඉවර වුනොත් සර් කියන්නම්."
නන්දා පසෙකින් ඉඳ ගත්තාය.ටිකෙන් ටික නුහුරට සාරි ඔසරි ඇඳ ගත් තරුණියෝ එක රැල්ලක් නොහිටින්නට මැද ඇති ෂර්ට් කලිසම් ඇඳ ගත් තරුණයෝ ෆයිල් කවර රැගෙන ඇවිත් අසල අසුන් ගත්හ.කලින් නන්දා සමග කතා කල පියන් තරුනයා කාමරයේ දොර අසල හිඳ නම් කතා කරයි.එවිට ඔවුන් එකිනෙකා නැගිට ඇතුලට යති.හැඟීම් සම්මිශ් මුහුණින් නැවත එළියට එති.එලියේ සිටින දන්නා හඳුනන අය ඔහු හෝ ඇය වට කරගෙන විස්තර අසති.නන්දා සාඩම්බර මේ සියල්ල බලා සිටියාය.ඇයට තම ගෝලයා ගැන මහා ආඩම්බරයක් දැනුනේය.උගන්වන ඕනෑ දෙයක් වහා ග්රහනය කර ගත්,  පිටු ගනන් සමීකරන සැනෙකින් පාඩම් කල සෑම විභාගයක මුල් තැන ගත් ඔහු මෙවන් තනතුරකට පත් වන බව පාසල් කාලයේ දී ගුරුවරු අනුමාන කලහ.
ඔරලෝසුවේ විනාඩි කටුව  සුපුරුදු චක්රයේ වට කීපයක් ඇදී ගියේය.
"ඉන්ටවීව් ලන්ච් වලට නවත්තනවා.තව පැය බාගෙකින් එන්න.දොරකඩින් හඬ නැගුනේය.කාමරයේ දොර සම්පූර්නයෙන් විවෘත වී නිලධාරීන් කීප දෙනෙක් එළියට ආහ.දැන් නන්දාගේ අවස්ථාවය.සෑහෙන කාලයකට පසු වුනත් ඇයට තම ගෝලයා ඇඳිනිය හැක.ඇය වහා නැගී සිටියාය.
"ප්රියන්ජන්....සර්" ඔවුන් ඇය පසු කර යද්දී ඇය කට හඬ අවදි කලාය.
ඉද්ද ගැසුවාක් මෙන් නැවතුන ඔහු ඇය දෙස බැලුවාය.
"අඳුනන්න පුළුවන් නේද?මම නන්දා මිස්.මම පැන්ෂන් ගත්තා නෙ.ඒත් තාම පැන්ෂන් එක..."
"සාගර...සාගර"ඔහු මහ හඬින් කෑ ගැසුවේය.පියන් තරුනයා දුව ආවේය.
"තමුන් හිතාගෙන ඉන්නෙ මම කවුරු කියල ?මේකට එන හැමෝගෙම ප්රශ්න මම ළඟට එව්ව මගේ රාජකාරිය කරන්නෙ තමුන් ?කෝ මේවා බාර මිනිස්සු" ප්රියන්ජන් ඔහුට කඩා පැන්නේය.
නන්දා දැනුනේ කන ළඟ අකුණක් පිපිරුන බව .
"අයියෝ මිස්,ඕකට සර් හම්බ වෙන්න හිටියෙ.මට කිව්වා නම් subject එක කරන මිස් ගාවට යවනවනෙ ".
සියල්ලෝ ඇය දෙස බලා සිටිති.මහ සෙනගක් මැද නිරුවත් වුනා වැනිය.ඇය බිම බලාගෙන ඉවතට ගියාය.
"සිලබස් එක බදා ගෙන ඉන්නවා මිසක් වෙන මුකුත් දන්නෙ නෑ. තමන්ගෙ personal file එක හදා ගන්නෙ  නෑ.අන්තිමට අපි තමා වැරදිකාරයෝ" කතාව නික්මුනේ කාගෙන්දැයි වත් ඇය නොබැලුවේ එවන් ඉඳිකටු තුඩකින් නොරිදෙන මහා තුවාලයකින් ලේ හැලෙන නිසාය.
"මිස් බස්ටෑන්ඩ් නේද?නගින්න."තමන් පාරට ඇවිත් ඇති බව ඇයට තේරුනේ ත්රීවීලයක් අසල නතර කර එහි රියදුරා ඇය අමතද්දීය.තව දුරටත් ඇඟේ ශක්තියක් නැති බව දැනුන නිසා ඇය නිහඬ එහි නැගුනාය.
"මිස් තාම ඉන්නෙ පන්සල ගාව ?"රියදුරා ඇගේ කල්පනාව බිඳ දමයි.
"අපේ ගෙදර දන්නව ?"
"මමත් මිස්ගෙන් ඉගෙන ගත්තා.එහෙ ගෙදරත් ඇවිත් තියෙනවා"
"එහෙම "ඇය කෙටියෙන් උත්තර බැන්දාය.
"විභාගෙ ගොඩ දා ගන්න බැරි වුනා.දැන් මේක තමා ජීවිතේ"ඔහු දිගට කියමින් වංගුවක් ගත්තේය.බස් නැවතුම පසු වුන බව දුටුවත් ඇය ඔහු වළක්වන්නට නොගියේ තරමට වත් ශක්තියක් නැතැයි හැඟුන නිසාය.
"අනේ මට මතක නෑනෙ.කොයි කාලෙ දරුවො?"
"ඒකට කමක් නෑ මිස්.කී දෙනෙක් මතක තියා ගන්නද?.අපි ඉතිං මතක තියා ගන්න තරම් චරිතත් නෙවේ."
ඇය ඔහු දෙස පැති කණ්ණාඩියෙන් බැලුවාය.එහි සරදම් ලීලාවක් නැත.
ත්රීවීලරය ගේට්ටුව අසල නැවතුනේය."ගේ හරි නේද මිස්?"
"..අනේ ඔව් දරුවො"ඇය බෑගය හැර පර්ස් එක අතට ගත්තාය."අයියෝ සල්ලි එපා මිස්.මිස් ලා අපේ ඇස් පාදපු නිසා මෙහෙම හරි ඉන්නෙ.යන්නම් මිස්..."ඔහු ත්රීවීලරය හරවා ගත්තේය.නන්දාගේ දෑස තවත් දරා ගත නොහැකි වාන් දමන්නට වූවේය.



Comments