එක වරක් ඔබට මා...


කඩිමුඩියෙන් බස් නැවතුමට තරුලිගෙ කට ඇද ගියේ එහි සිටි මහා සෙනඟ දැකීමෙනි.අතින් කටින් මලු එල්ලාගෙන සාරියත් ඇඳගෙන සෙනග පිරුන බසයක පැයක් පමණ එල්ලී යන්නට සිදු වූවොත් විඳින්නට වන හිරිහැර අමුතුවෙන් කිව යුතු නැත.ඊයේ යන්නට තිබූ ගමනක් අද යන වේගයෙන් එන බස් නවත්වන්නට නිශ්චිත තැනක් නොවූ නිසා නැවතුමේ සිට මීටර ගනනාවක් දෙපසට විසිරී සිටිති .තරුලි පාර අයිනට වී බෙල්ල දිගු කරමින් බලා සිටින්නට වූවාය.
පිඹගෙන බසය සියලු දෙනා පසු කර තරුලි ලඟ නතර වුනේ පරණ පිනක් පළ දෙමිනි.ලද අවසරයෙන් ඇය වහා ඊට ගොඩ වූයේ ඇය වත් පෙරලාගෙන ෆුට්බෝඩ් එකට ගොඩ වූ හැඩි දැඩි පිරිමි කීප දෙනෙක් සමග තරඟ කරමිනි.වාසනාවකට මෙන් එක හිස් අසුනක් දුටු ඇය වහා එහි හිඳ ගත්තාය.එක.හුස්මට අතින් කටින් එල්ලාගෙන සියල්ල පිලිවෙලකට තබාගෙන සාරියත් එහෙන් මෙහෙන් නොපෙනෙන්නට නොපෑගෙන්නට ඇඟ වටා ඔතා ගෙන හරි බරි ගැසුනාය.තම අසුනේ ඉතිරි කොටසේ ඉඳ සිටින්නේ කුමන ප්රානියෙක් දැයි බැලූ ඇය හිටිවන ගල් ගැසුනාය. සිටින්නේ කඳුළු වැස්සකින් අවසන් කල ආදර ථාවේ හිමිකරු සසිත් .ඇය වහා වටපිට බැලුවේ වෙනත් අසුනක් හොයන්නට .එහෙත් විනාඩි ගණනට බසය පොල් පැටෙව්වාක් මෙන් පිරී හමාරය.බසයෙන් බසින්නට පවා සිතුණත් ඊළඟ බසය කීයට වෙයිදැයි කිව නොහැක.තරුලි නිහඬ ඉදිරිය බලා ගත්තාය.
“නංගි……” ඇය ගැස්සී ගියාය.
මට සමා වෙන්න.” ඇගේ දෑස නොදැනුවත් දෙසට හැරුනේ කවදාවත් නොඇසුණ වචනය නිසා .
අම්මා අකමැති වුනේ ඔයාට නෙවේ...”.සසිත් ඇගේ අත දෙස හොරැහින් බලමින් කීවේය.
තරුලි සුසුමක් හෙලා ඉදිරිය බලා ගත්තාය.ඇයට තිත්ත අතීතය සිහි විය.සාදයක දී හඳුනාගත් තරුලිගේත් සසිත් ගේත් ප්රේමයට වසරක් ගත වෙද්දී දෙදෙනා එය නිවෙස් වලට දැනුම් දුන්හ.ඉනුත් මාසයක පසු සසිත් ගේ නිවැසියෝ තරුලිගේ නිවෙසට ආහ.මෙතෙක් සුමට ගලා ගිය ආදර ගංගාවට ගල් පර්වත මුණ ගැහුනේ එතැන් සිටය.පවුලේ එක පිරිමි දරුවා බැවින් විවාහයෙන් පසු සසිත් ගේ මහ ගෙදර පදිංචි වන්නට සිදු වන බව තරුලි දැනුවත් සිටියාය.
නමුත් සසිත් ගේ අම්මාට අනුව කොන්ඩය ලේයර් කරන ඇහිබැම ගලවන තරුලි ගමට සංකර වැඩිය.අක්කර ගණනක වතුපිටි හිමියන් වන ඔවුන්ගේ නෑයන් තරුලි ගේ පර්චස් 15 නිවසට ගෙන්විය නොහැක. සියල්ලට වඩා තරුලි ගේ පියා සසිත් ගේ සීයාගේ නංගිගේ පුතෙක්  ඉහල තනතුරක් දරන ආයතන පද්ධතියක වෙනත් ශාඛාවක සුළු සේවකයෙකි.තරුලිට ඉවසන්නට නොහැකි වූයේ මේ අවසන් කථාවය.මේ කතා වලට එරෙහිව සසිත් පලිහක් මෙන් නැගී  සිටියේය.එහෙත් තරුලිගේ පැත්තට නොවේ.
තාත්තාත් නැතුව අපි ලොකු මහත් කරන්න මේ තරම් දුක් වින්ද අම්මා උඩින් යන්නෙ නෑ මම” ඔහුගේ අවසන් තීරණය දිය කරන්නට තරුලිගේ තර්ක විතර්ක කඳුළු අසමත් විය.
අම්මා අකමැති වුනේ නංගිලා 3 දෙනෙක් ගෙදර ඉන්දැද්දි මම කසාද බඳිනවට………පොඩි නංගිටත් ළඟදි මඟුලක් තීන්දු වුනා.” ඇය අතීතය සිහි කරන අතර සසිත් මහා හෑල්ලක් කියවා අවසන් කර  තිබුණි.
මම ඔයා හෙව්වා සෑහෙන දවසක්.මට ඔයා තරම් ගැලපෙන කෙනෙක් නැති බව අම්මත් පිලි ගන්නවා.”සසිත් දෙගිඩියාවෙන් කීවේය.
තරුලි මුළු මුහුණ හරවා සසිත් දෙස බැලුවාය. මුහුණේ තරහක් කේන්තියක් නැත.
මටත් ඔයා වගේ කෙනෙක් කවදාවත් හම්බ වෙලා නෑ…..”සසිත් ගේ මුහුණ හිරු දහසක් පෑයූ කලක මෙන් එළිය වැටුනේය.
“ප්රශ්නයක් ආවා දෙන්නා එක්ක ඒක විසඳ ගන්නෙ නැතුව කෙල්ලව දාලා පැනල යන කොල්ලෙක් ගැන මම නවල් එකක වත් කියවලා නෑ.එහෙම කෙනෙක් කසාද බඳින්න නෙවේ ඇස් දෙකට දකින්න වත් මට ඕන නෑ.”බහින්නට තවත් දුර ඉතිරි තිබියදීත් ඇය නැගිට ඉදිරියට ගියේ සජීවී නාට්යයේ ප්රේක්ෂක ප්රතිචාර ඔහුට තනි විඳින්නට සලස්වමිනි.


Comments