අවුරුදු ඇවිත්


රැකියාව නිසා කොළඹට සීමා වෙන්නට සිදු වුවත් සුමල් හැම සිංහල අළුත් අවුරුද්දකට බිරිඳ ගගනි හා දිමල් පුතා සමග ගමට යාමට පුරුදු සිටියේය.නමුත් මේ වසරේ හදිසි රාජකාරි කටයුත්තකට අවුරුදු දින වල ඔහුට නිවසින් පිට සිටීමට සිදුව ඇත.ගගනි ටත් වඩා මේ ගැන දුර්මුඛ සිටින්නේ පුතා .මේ බව දැනගත් සුමල් ගේ අයියා සිය පවුල සමග නගරයේ අවුරුදු සැමරීමට එන්නට තීරණය කළේ .අවුරුද්දට දින දෙකකට පෙර කැවිලි පෙවිලි,අළුත් හාල්, පොල්, රතිඤ්ඤා රැගෙන පැමිණි මස්සිනාත් නෑනාත් දෙදරුවනුත් පිළිගැනීමට දුම්රියපොලට ගියේ ගගනිය.
"මේ අවට මිනිස්සු සිංහල නෙවේ නංගි"
අවට නිවෙස් දෙස පරීක්ෂාවෙන් බලමින් නෑනා ඇසුවාය.
"ඇයි අක්කේ"
"කෝ කිසි කලඑලියක් නෑනෙ ගෙවල් වල. කැවුමක සුවඳක් වත් නෑ."
" මේ ඉස්සරහ ගෙදර ඉන්නෙ අලුත බැඳපු ජෝඩුවක්.වෙනද නම් එයාලත් ගමේ යනවා.ටික දවසකට කලින් එයාලට නිවුන් බබාල හම්බ වුනා. නිසා යන එකක් නෑ.එහා ගෙදර අයගෙ අම්මා අසනීපෙන් එක් තැන් වෙලා.වැඩි කලබල එහෙම දරා ගන්නත් බැරිලු."
නිවසට ළඟා වෙද්දී උස් හඬින් ඇසුන බිරුම් හඬකින් මෙතෙක් සුව නින්දක පසු වූ අයියාගේ දියණිය ගැස්සී අවදි වූවාය.
"දුව බය වුනා .මේ පහල ගෙදර ඉන්නෙ වයසක ජෝඩුවක්.ලමයි ඔක්කොම බැඳලා පිටරට වල.මේ දෙන්නා බල්ලො ටිකක් හදනවා දරුවො වගේ.ලමයි ආව දවසට තමා ඔක්කොම අවුරුදු නත්තල්"
-----------------------------------------------------------------------------------------------------------------------------------------
 අළුත් අවුරුදු දිනයේ වත් නිවසේ සිටීමට තදබල ඕනෑකමක් තිබුන නිසා එදිනට යෙදුන වැඩ කොටසත් කලින් දා මධ්යම රාත්රිය වන තුරු කර අවසන් වූ සුමල් උදෑසනින් නිවසට යන බලාපොරොත්තුවෙන් ඇඳට වැටුනේය.මහන්සිය නිසා තද නින්දට වැටුන ඔහු අවදි වුනේ දුරකථනයේ නාදයෙනි. බිරිඳගෙන් වන්නට ඇතැයි සිතා ඔහු ඇස් පියාගෙන එය කනට තබා ගත්තේය.
"සුමල් අයියෙ කරදර කරනවා sorry.අපේ බබාල දෙන්නා මුළු රෑම ඇහැරලා.යන්තම් නිදි කරවල ඇඳෙන් තිබ්බා විතරයි ඔයාලගෙ පුතා රතිඤ්ඤා පත්තු කරන්න ගත්තා. දෙන්නම එක සීරුවට නැගිටල අඬනවා.අපි දෙන්නට නලව ගන්න බෑ.servant ත් නිවාඩු."
සුමල් ගේ නිදිමත කොහෙන් ගියා නැත.ඔහු දුරකථන තිරය දෙස බැලුවේය.නිවුන් දරුවන්ගේ පියා .
"අයියෙ පුතාට ඉස්සරහ ground එක පැත්තට වත් යන්න කියනව "
"මල්ලි මම දැන් ගෙදර නෙවේ ඉන්නෙ.අපේ land phone number එක දෙන්නම්......"
"ඒකට ගත්තා අයියෙ රතිඤ්ඤා සද්දෙ නිසා වෙන්න ඇති ආන්සර් කලේ නෑ."
සුමල් ඇඳේ ඉඳ ගත්තේය."හරි මල්ලි මම කියන්නම්.very sorry"
ඔහු වහා ගගනි ගේ දුරකථනය ඇමතුවාය.පිළිතුරු නැත.නිවසේ අංකය ඇමතුවේය.අය්යා ගේ අංකය ඇමතුවේය.කිසිවකින් ප්රතිචාර නැත.දුරකථනය තබන්නාත් සමග නැවත එය නාද විය.නොදන්නා අංකයකි."mr කරුනාසේන නේද මේ.මම mrs ජයසුමන.අපේ අම්මා අසනීපෙන් bedrest. Doctor කියල තියෙන්නෙ වැඩි සද්ද බද්ද ඇහෙන්න තියෙන්න එපා කියල.අපි සද්දෙන් ගෙදර කතා කරන්නෙවත් නෑ.ඔයාලා රතිඤ්ඤා පත්තු කරනවා නම් ...." ඇයගෙන් සමාව ඉල්ලා වහාම පියවරක් ගන්නට පොරොන්දු වූ සුමල් කඩිමුඩියේ  නාන කාමරයට රිංගා ගත්තේය.විනාඩි 2-3න් එලියට එද්දී දුරකථනය නැවත නාද වෙයි.
"අයියෝ සුමල් අයියෙ මට ලබන සතියෙ final exam.පාඩම් කරන්න පාන්දර ඇහැරුනේ"නොදන්නා කටහඬකින් කරන්නේ එක චෝදනාවය.
ඔහු වහ වහා රථයට නැගුණේය.පාර වල වැඩි සෙනගක් නොවූ නිසා වැඩි වෙලාවක් නොයා නිවස අසලට සේන්දු වුනේය.රතිඤ්ඤා සංග්රාමයක නටබුන් පාර පුරා විසිර ඇත.නිවස තුලත් අවට ත් අසාමාන් නිහැඬියාවකි.ඔහු කුතුහලයෙන් නිවසට ඇතුල් වුනේය.බිරිඳ පමණක් කුස්සියේය.
"මොකද වුනේ.කෝ ලමයි?"
"බියුලා ආන්ටි ගෙදරට ඇවිත් ටිකක් කෑ ගහල ගියා."
" මොකද?"
"මෙයාල රතිඤ්ඤා පත්තු කරන සද්දෙට බය වෙලා එහෙ බල්ලො දෙන්නා ගෙදරින් ගිහින් ලු.එයා දරුවෙක් වගේ අතේ තියන් ඉන්න අර බූල් බලු පැටියට සද්දෙ සිහි නැති වෙලා මොකක් වෙලා vet ගාවට ගෙනියනවා ලු දැන්"
දිගු සුසුමක් හෙලූ සුමල් පුතා සොයා ගියේය.වරද කරුවෝ කඳුළු පිරුන දෙනෙතින් යුතු බයෙන් ඔහු දෙස බැලූහ.
"අපි වෙනදාටත් පත්තු කරනවා නෙ තාත්තෙ"
දිමල් කනට ඇහෙන නෑහෙන ගානට කීවේය.
" ගමේ නෙ පුතේ. ගමෙයි නගරෙයි එක  විදියට ජීවත් වෙන්න අමාරුයි.ගමේ ගෙවල් ඈතයි.ඉඩ වැඩියි.රතිඤ්ඤා සද්දයක් කියන්නෙ ලොකු දෙයක් නෙවේ.මෙහෙ ඉඩම් පොඩි. ගෙවල් එකට යා වෙලා.....අසල්වැසියො තරහ කර ගන්න බෑ.බුලත් අතක් අරන් කැවිලි පිඟානකුත් එක්ක හැම ගෙදරකට ගිහින් ඔයාල සමාව ගන්න. හැමෝටම අපි කරදර කරන්න ඇති.අවුරුද්ද කියන්නෙ තරහ නැති වෙන යාළුකම් වැඩි වෙන දෙයක් මිසක් අළුත් තරහ කාරයෝ හදා ගන්න එක නෙවේ".
Image result for sinhala new year modern

Comments