මංගලම් ජය මංගලම්


අපේ අම්මාට ලස්සනට  මහන්න පුළුවන්.කොල්ලෝ දෙන්නෙක් පස්සේ කෙල්ලෙක් ඔව්, ඔව් මම තමයි උපන්න අම්මා හරි සන්තෝස වුනා ලු දැන්වත් මල් මහපු,රේන්ද    බොත්තම් අල්ලපු ලස්සන ගවුම් මහලා අන්දවන්න පුළුවන් නිසා.ඒත් අම්මගේ බලාපොරොත්තුව සිහිනයක් වුනේ ඉපදුන කෙල්ල ත් කොලු බාගයක් ම වුන නිසා. මට මතක තියෙන පුංචි කාලේ ඉඳන් මම ඇන්දේ ටී ෂර්ට්,කලිසම් විතරමයි.පුංචි කාලෙත් ගවුමක් ඇන්දුවොත් මම යටි ගිරියෙන් හූ කියල අඬනවා ලු.වටේ පිටේ අය අම්මට යි තාත්තාට යි විරුද්ධව පොලිසි යයි කියන බයට වගේ එයාල පස්සේ මට කැමති දෙයක්  අඳින්න දුන්නා.මම ගවුමක් ඇන්දේ ඉස්කෝලේ විතරයි.මට මතකයි මම හොඳට අඬනවා මාවත් අය්යලා යන ඉස්කෝලෙට දාන්න.කලිසම් ඇඳන් ඉස්කෝලේ යන්න.
ලොකු අයියා සාන්ත දාන්ත නිවිච්ච ළමයෙක්.පොතක් බලාගෙන පාඩුවේ ඉන්න ආච්චිගේ හොඳ ළමයා. දඟ ටිකත් අරන්  පොඩි අයිය යි මමයි හරි හරියට චන්ඩිකම් කළා.ගස් නැග්ගා,අහල පහල කොල්ලෝ එක්ක ක්රිකට් ගැහුවා,පොඩ්ඩ බැරි උනාම රණ්ඩු වලටත් ගියා.මොන දේ ඉවසුවත් අපේ ආච්චිට ඉවසන්න බැරි වුණේ  මගේ ගස් නැගිල්ල තමයි.ආච්චි කොච්චර කෑ ගැහුවත් බැන්නත් වත්තේ ගස් වල ගෙඩි හැදෙන්නේ අනේ නැගලා අපි කඩා ගන්නකො කියන්න වගේ.ටික ටික ලොකු වෙද්දී කොල්ලෝ එක්ක සෙල්ලම් නම් අඩු වුනාට ගස් නැගිල්ල ඒකට ත් එක්ක වැඩි වුනා. දවසක් "ඔහොම ගස් නගින්න දීල කෙල්ල දීගෙක යන්න බැරි වුනා උඹලට තේරෙයි" කියල ආච්චි අම්මට යි තාත්තා යි බනිනවා මම අහගෙන.
කිව්ව එකේ තේරුම දන්නේ නැති වුනාට මහා බරපතල දෙයක් වෙන්නැති වගේ මට හිතුනේ කවදාවත් මගේ කිසි දඟ වැඩකට තහංචි දැම්මේ නැති තාත්තා මට ගස් නගින්න එපා කිව්වා .
ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි.මම සාරි අඳින්න ඕන වෙන්නේ නැති කලිසම් ඇඳන් යන්න පුළුවන් ජොබ් එකකුත් හොයා ගත්තා. ඔන්න මාව දකින නෑදෑයන්ට අසල්වාසීන්ට  මගුල් විසේ ගහලා ගෙදරට අරන් එනවා එක එක යෝජනා. හරියට මම ඉන්නේ එයාලගේ ඔලුව උඩ වහාම කොහාට හරි දීල දාන ඕන වගේ. ඉරිසියාව, මම යහතින් නිදහසේ ඉන්නවා . අපේ ගෙදර හැමෝම කිරලා මැනලා හොඳයි කියල තීරණය කරපු යෝජනා 2-3 මම එක සැරෙන් නොකවුට් කරලා දැම්මේ  කොල්ලා කෙට්ටු වැඩි, ගෑනු පාටයි, රිටක් වගේ අරව මේවා කියමින්.අනික දෙය්යනේ හරි සිහියක් තියෙන කොල්ලෙක් කැමති වෙයි මම වගේ කෙල්ලක් .මම දන්න අඳුරන ඔක්කොම  කොල්ලෝ හෙව්වේ කනට ඇහෙන්න කතා නැති,පොලවට නොදැනෙන්න ඇවිදින, දනිස්සට දිග රැලි කොන්ඩෙයි බටර් පාට හමයි බ්ලා ..බ්ලා කෙල්ලෝ.
ප්රෝපොසල් වලින් බඳිනකොට හොරෙන් ඇවිත් ගමේ අයගෙන් අහල විස්තර හොයන්  යනවා කියල මට කිව්වේ proposal එකකින් බැන්ද නිලානි. කියන්නේ මට බය වෙන්න දෙයක් ඇත්තේ නෑ.මේ පැත්තේ ඇවිත් මම ගැන හොයන කෙනෙක්   රේස් පදින වේගෙන් මොනවා හරි ගේන්න බයිසිකලෙන් කඩේට යන මාව හම්බවෙන්න තියෙන ඉඩ හොඳට වැඩි. ඕන නම් මට උන්දැ bus stand එකට ලිෆ්ට් එකක් දෙන්නත් පුළුවන්.
අස්සේ ලොකු අය්යත් පටන් අරන්."යාලුවෙක් ගේ මල්ලි ඕස්ට්රේලියාවේ ඉඳන් ඇවිල්ල. මෙයා ගැන ඇහුවා ".හික්….. අනේ පව් අය්යා ගේ සාන්ත දාන්ත විලාසය දැකලා නංගි ඊටත් වඩා හොඳයි හිතන් ඇති.
 එදා නිවාඩු දවසක්.තාත්තා පන්සලේ.අම්මා කුස්සියේ.ලොකු අයියා පොතක් වත් බලනවා ඇති.පොඩි අයියා ගෙදර නෑ.දවස් ගානක් තිස්සේ මම ඔත්තු බලමින් හිටි මහා මෙහෙයුම.ඉස්සරහ පේර ගහේ ගෙඩි ටික.මම වට පිට බලලා ගහට නැග්ගා. කාලෙකින් නැග්ග නිසා වෙනදට වඩා මගේ ටැලන්ට් බැහැලා.ඒත් අවුලක් නෑ. බාගයක් දුර නැගලා පේර කකා කඩ කඩා සාක්කු වල පුරවන ගමන් උඩ  බලද්දී හෑ ලොකු ඉදුණ ගෙඩියක් ගහ මුදුනේ .මම හෙමින් සැරේ බඩ ගාගෙන වගේ ගහ දිගේ මුදුනට ඇදුනා.ඔව් තව ටිකයි,තව ටිකයි...හරි කඩා ගත්තා.පේර ගහ මුදුනට ගියාම පාරේ දෙකොනේ ඉඳන් ඔක්කොම වටපිටාව පේනවා.තාත්තා වත් හන්දියෙන් මතු වෙනවදෝ බලන්න මම තව ටිකක් බෙල්ල දික් කර කර බැලුවා.
හෑ ...මොකාද මේ මෝටර් සයිකලයක් නවත්තන් ඉන්නේ අපේ ගේ ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ. මදිවට අපේ ගේ දිහත් බලාගෙන.අහ්....මුන් දෙන්න බලන්නේ ගේ දිහා නෙවේ ගහ උඩ  ඉන්න මම දිහා නේ.මොකද මැජික් .කෙල්ලෝ ගස් යනවා දැකලා නැද්ද. හිතෙන් කියන ගමන් කඩා ගත්ත පේර ගෙඩියත් කටින් අල්ලාගෙන මම දඩි බිඩි ගාල ගහෙන් බැස්සේ උන් දෙන්න කනේ ඇඟිලි ගහ ගන්න කියන්න වචන මතක් කරන්.
සරස්....බරස්...සරාස්.....කලබලේ බහින්න ගිහින් අත්තක් නැති තැනකට අඩිය තියපු මාව අතු කොළ රූට ගෙන බිම.පේර ගෙඩිය විසි වෙලා කටින් මහා විලාපයක් නැගුනේ හන්දියේ දිස්පැන්සරිය ඇහෙන්න.
හ්ම්....වැඩි දෙයක් නෑ.දකුණු කකුල උලුක් වෙලා.වම් කකුලේ දනිස්ස ලෙලි ගිහින්. කකුල්  දෙකෙයි අත් දෙකෙයි සීරුම් තුවාල .සතියක් ගෙදර. අම්මගෙයි ආච්චිගේ යි බැනුම්, අයියලාගේ නෝන්ඩි.තාත්තා වත්තේ ඔක්කොම පලතුරු ගස් කපන්න ලෑස්තිය.මම ගහෙන් වැටුන දා වඩා හයියෙන් කෑ  ගහල ඇඩුවා.ආයේ ගස් නගින්නේ නෑ නෑ මයි කියල පොරොන්දු වෙලා  තමා නවත්ත ගත්තේ.
මම ඔක්කොම තරහ පිට කර ගත්තේ එදා ගේ ඉස්සරහ මෝටර් බයික් එක නවත්තන් හිටිය රිලව් දෙන්නට හිතින් බනිමින්.හැම නරකක හොඳකුත් තියෙනවා වගේ මේ අස්සේ මනමාල කතා ටික දවසකට නැවතුනා.”කපුවෙක් ට වත් එන්න කියන්න පුළුවනැයි.මේ තුවාල පිටින් මෙයාව පෙන්නන්නේ කොහොමද. මොනවා වෙලා ඇහුවොත් කියන්නේ මොනවද "
යන්තම් මට සනීප වෙද්දී අයියා කියපි නැතැයි අර කට්ටිය ඉරිදා එනවා කියල. මදැයි.....මම වහා නිලානි contact කළා.
"එදාට මොනවද වෙන්නේ.මම මොකද කරන්න ඕන"
" කට්ටිය එනවා,අම්මලා පිලි අරන් කතාකරයි. උඹව ගිහින් ඉන්දවයි එතනින්. ටිකකින් ඔයාල දෙන්න කතා කර ගන්න දීල එයාල එහෙ මෙහෙ වෙයි"
"මම මොනවද බන් ත් එක්ක කතා කරන්නේ"
"උඹ පැනල දෙන්න එපා. කොල්ලා අහයි...ම්ම් මගෙන් නම් මහත්තයා ඇහුවේ ඉස්කෝලේ කොහෙද, කන්න ආස දේවල්. විනෝදාංශ එහෙම තමා"
අහ්…. අහපන්කෝ  මම ආස දේවල්. දෙන්නම් උඹට. ආයේ අපේ ගෙවල් පැත්තේ හැරිලා නොබලන්න.
-----------------------------------------------------------------------------------------------------------------------------------
හපොයි මේ සාරිය කියන්නේ මේ තරම් දුකක් .කොහොමද අප්පේ උදේට ගෑනු අය මේක ඇඳන් බස් එකට දුවන්නේ.මට අඩියක් උස්සලා තව අඩියක් තියා ගන්න බෑ නේ. එහෙන් මෙහෙන් හැම තැනින් හිර වෙලා.කලිසමක් බැරි නම්  ගවුමක් වත් අඳින්න මගේ idea තිබුනට කකුල් දෙකේ තුවාල කැළැල් තාම අලුත් පාටයි.
 ඔක්කොමත් හරි. මෙයාල ගේ අවවාද.
"අස්ස කුලප්පුවෙන් වගේ දුවන්නේ හෙම නෑ මිනිස්සුන්ට පේන්න"
මොන කුලප්පු  .මට අඩියක් තියා ගන්න බැරි කොට
"වෙනද පුරුද්දට ගිහින් මනමාලයාගේ කරේ අත  දාගෙන හලෝ මචන් කියනවා හෙම නෙවේ"
හලෝ කියවන්නම්  මම.
ආච්චි බුලත් හෙප්පුවක් සුදු රෙද්දකින් වහලා මොකක්ද එකක් අටවල තිබ්බට මම සාරිය ත් ඇඳන් ඇවිදපු ලස්සන දැකල මුකුත් නැතුව අම්මා මාව අතින් අල්ලන් ගිහින් වාඩි කෙරෙව්වා.මමත් හරි හොඳ ළමයා වගේ බිම බලන් ඉන්නවා.නිලානි කිව්වා වගේ කට්ටිය අර ගෝතයා  ත් එක්ක  මාව තියලා වාෂ්ප වුනා.මමත් දැන් කට කහමින් බලන් ඉන්නවා .මිනිහා ප්රශ්න අහන කල්.ඔස්ට්රේලියාවට දුවන්න දෙන්න.
"එදා කඩපු පේර ඔක්කොම කෑවද?"
හෑ...මොකක්.මම වහා ඔලුව උස්සලා බැලුවා. මූ ඉන්නවා නේද පල් හිනාවක් දාගෙන.අප්පට සිරි.මේ අර එදා මගේ දිහා කන්න වගේ බලන් හිටිය එකා නේද. මටත්    බකස් ගාල හිනා ගියා.
---------------------------------------------------------------------------------------------------------------------
එදායින් පස්සේ මම සාරියක් අඳින දෙවෙනි දවස.ඔව් මගේ මගුල් දවස.මිතිල අයියා එදා යාලුවෙක් එක්ක ලොකු අයියා හම්බ වෙන විදියට අපේ ගෙදර ඇවිත් තියෙන්නේ මගේ නියම හැටි බලා ගන්න.කලින් එයා බලන්න ගිහින් කැමති වුන මනමාලියෙක් බලන්න ආයේ දවසක යද්දී කලින් දවසේ කනට වත් ඇහෙන්නේ නැතුව කතා කෙරුව කෙල්ල කාටද බනිනවා ඇහුන ලු පාරට .ගෙදරට එන්න කලින් මගේ හැටි දැන  ගත්ත නිසා දෙන්න එහෙම හැරිලා ගියාලු.එයා අම්මල එක්ක  ඇවිත් තියෙන්නේ මට කැමති වෙලා.හරි සිම්පල්,සාම්ප්රදායික නැති කොල්ලෙක් බව තේරුණ නිසා මමත් කැමති වුනා. අද සාරිය ඇඳන් ඉන්න වෙලාව ටිකක් හරි අඩු කර ගන්න හිතාගෙන මම going away අඳින්න ඕන කිව්වා එයා එකහෙලා බෑ කියපි.හොටෙල් එකෙන් කොල්ලෝ දෙන්නෙක් හනිමූන් රූම් එකකට ගන්න එකක් නෑ ලු. මදැයි ඉතින්.
 එයත් එක්ක මමත් රට යන නිසා සමහර විට ආයේ සාරි අඳින්න ඕන නැති වෙයි. ඒකටත් වඩා මට සන්තෝස එයාගේ ගෙදර වත්තේ තියෙනවා ලු ඇපල් ගස් දෙකකුයි,චෙරි ගහකුයි.මම ආයේ ගස් නගින්නේ නෑ කියල වුන පොරොන්දුව වලංගු ලංකාවට විතරනේ.
Image result for sri lankan bride


Comments