රන් වන් රන්

ත්රීවීලරය පන්සලේ රථ ගාලේ නැවතුනේය. ඉන් බැස ගත් ජගත් වටපිට බැලුවේය.
"මල්ලි ඔහොම ඉන්න.මම වැඳලා එන්නම්."රියදුරාගේ උරයට අත ගසා කිව් ඔහු තරමක චකිතයෙන් පඩිපෙල දිගේ ඉහලට නැංගේය.පොහොය දිනයක් නිසා පන්සලේ සෑහෙන සෙනගකි.ඔහු වටපිට හොඳින් නිරීක්ෂණය කලේය.
ෂෙහ් අද නැතුව වත් ද? ඔහු තමාටම කියා ගත්තේය.
විදෙස් රැකියාවක් කල ජගත් මවුබිමට පය තබා තවමත් ගත ව ඇත්තේ සති 2කි.ඒ කාලය තුල ඔහු ව බලන්නට ආ බොහෝ දෙනා අතරින් හොඳම ආරංචිය ගෙනාවේ පාසල් මිතුරෙකු වූ ධම්මික ය
"උඹේ පරන කෑල්ල දැන් සිල් ගන්නවා කන්දෙ පන්සලේ"
"ඇහ්.... ලක්මාලි?"
"ඔව් ඔව් බං ගිය පෝයට අපේ ගෙදර අය ගියා එහෙ බණක් තිබිලා"
" උඹට හොඳටම ෂුවර් ද?"
"නැතුව බං.මට අඳුනන්න බැරි ද.ඒකි මගෙ පන්තියෙ නේ"
"හහ්....මට සල්ලි නැති නිසා නෙ දාලා ගියෙ. කෝටිපතියෙක් හොයා ගන්න බැරි වෙන්න ඇති.දැන් සසර කලකිරිලා පන්සල අල්ලගෙන.ලැජ්ජා ඇති ගමේ පන්සලේ සිල් ගන්න."ජගත් තනිවම සිතුවේය.
රැකියාවක් සොයා ගන්නටවත් ව්යාපාරයක් ආරම්භ කිරීමටවත් කිසි ම උනන්දුවක් නැති ව දවස තිස්සේ ම යහළුවන් සමග රස්තියාදුවේ යාම ජීවන චරියාව කර ගත් ඒ ගැන මතක් කරන හැම විට ම තමන් හා රණ්ඩුවට පැටලී ප්රශ්නයෙන් මග හැර ගිය ජගත් හා පැවතුන ප්රේම සම්බන්ධය ලක්මාලි අවසන් කලේ අනාගතයක් ගැන කිසි ම අදහසක් නැත්තෙක් හා විවාහ වීමෙන් තමන්ගේ ජීවිතය ද විනාශ කර ගැනීමට බැරි නිසා ය.එහෙත් ජගත් සිතුවේ ම ඇයට ලොකු සල්ලිකාරයෙක් ඕනෑ වී ඇති බවය.ඔහු රට රැකියාවකට ගියේ ද ඇයට රිද්දවන්නටය.දැන් එළඹ ඇත්තේ ඊට සුදුසු ම අවස්ථාවය.බෝ මළුවේ සිටින
සිල් ගත් උවැසියන් කීප දෙනෙක් අතර ඔහු සෙවූ මුහුණ දුටුවේය.ජගත් බිමට ම නැවී පාවහන් ගැලවූයේ කරේ පැළඳි පවුම් ගණනාවක දම්වැල එළියට එන ලෙස ය.අත් දිග ටීෂර්ටය තරමක් ඉහලට ඇද වමතේ අලුත් ම ඔරලෝසුවටත් දකුණතේ පටියක් වැනි ඝණකම් බ්රේස්ලටයටත් පන්සල දකින ඉඩ ලබා දුන්නේය.
ඔහු ඇය නුදුටුවාක් මෙන් ඇය ඉදිරියෙන් ම ගොස් මග දී මිලට ගත් මල් හඳුන් කූරු පූජා කර දෑත නළලට ම ගෙන සාදුකාර දුන්නේය. ඇස් කොනෙන් බලමින් ඇයට පෙනෙන මානයට ආවේය.flight mode දමා තිබූ සුපිරි ජංගමයා කනේ තබා ගත්තේය.
"ආ මල්ලි...උඹ බැලුවද වාහනේ.........ඔව් ඔව් මගෙ ගාන නම් 25.ඒ ගානට කැමති කර ගන්න බලපං.............නෑ නෑ ඒ ගානට එනවා නම් මම රෙඩි කෑෂ් දෙන්නෙ............ඔව් බං එක සැරේ ම ලොකු වාහනේකට ගියා නම් හරි.ඒ වුනාට තාත්තට තේ කෑල්ලක් අරන් දුන්නා.අක්කර 5ක් විතර.ඒවා යුතුකම් නෙ. ඉතින් සල්ලි පොඩ්ඩක් හිර වෙලා.අනික ගේ හදන්න ගත්තා"
මොහොතකින් තවත් ඇමතුමකි.
"හායි සුදූ මොකද කරන්නෙ.......අහ්...කවදද යාළුවගෙ වෙඩින් එක?නෑ නෑ කලින් ඇන්ද ඒවා අඳින්න ඕන නෑ.අලුත් එකක් ගන්න.ගාන ප්රශ්නයක් නෑ.නැත්නම් මටත් ලැජ්ජයි....... අනේ මට එන්න වෙන්නෙ නෑ පැටියෝ.ඔයා දන්නවනෙ මම නොහිටියොත් බාස් ලා හොර කරනවා.යාළුවට හොඳ තෑග්ගක් ගන්න"
ජගත් හැරී බැලුවේය.ලක්මාලි පෙනෙන්නට නැත.අහන් ඉන්නම බැරි ඇති.ඔහු බොහෝ සතුටින් රථ ගාලට ආවේය.
ත්රීවීලරය ඇත.රියදුරා නැත.ඔහු වටපිට බැලුවේය.තරමක් ඈත සුපිරි වාහනයක් අසල සිටින තරුණයෙක් හා කතා කරමින් සිටි රියදුරා දුවවිත් රථය පණ ගන්වා ගත්තේය.
"තරුමාලි ජුවෙලරි එකේ තාරක මහත්තයා. මේ පාර මෙහෙ කඨිනෙ කරන්නෙත් එහෙන්.අම්මයි නෝනයි මෙහෙ සිල් අරන් ලු"
රියදුරා ආරාධනයකින් තොරව විස්තර කියාගෙන යයි.
ජගත් රථයෙන් ඔළුව එලියට දමා මේ විශේෂිතයා දෙස බැලුවේය.වයසක කතකගේ අතින් අල්ලා ගත් ලක්මාලි ඒ වාහනයට ගොඩවනු ඔහුට පෙනුනේය.
Image result for gold jewellery

Comments