ගොනු පසු පස එන ගැල සේ


ඉසිනි ගේ සැමියා සේවය කරන්නේ වාහන අලෙවි ප්රදර්ශනාගාරයක අලෙවි සහායකයෙක් ලෙසය.වෙනදා ඔහුට  දිවා ආහාරය  උදේ සකසා දෙන මුත් අද උදෑසන විදුලිය විසන්ධි වී තිබුන නිසා දවල් වී උයාගත් බත් පාර්සලයත් රැගෙන ඇය ඔහුගේ සේවා ස්ථානයට ආවාය.ආරක්ෂක නිලධාරියෙක් සැමියා තමන් පැමිණි බව පවසන මෙන් දන්වා ඇය වටේ නවතා ඇති විවිධ වර්ගයේ වාහන  දෙස බලමින් සිටියාය.එක වර ගොඩනැගිල්ල තුලින් ගැහැණු මූණක් ඇය දුටුවාය.
හ්ම්..ගෑනු ත් වැඩ කරනවා මෙතන.ඔව් ඉතින් ඔහොම සිරික්කිය දාල මුකුළු කළා වාහන බලන්න එන මිනිස්සු ත් වාහනේ අරන් යනවා ඇති.ඕක තම මේ මනුස්සය ත් වැඩ වැඩ කියන් දුවන්නේ කොයි වෙලෙත්.ඇය නොපහන් සිතින් සිතුවාය.
"කොහෙද බලන් ඉන්නේ"ඇය පියවි සිහියට ආවේ සැමියාගේ හඬින්.
"අරය ත් වැඩ කරන්නේ මෙහෙ "ඇය නොපහන් සිතින්ම ඇසුවාය.
ඇය පෙන්වූ දෙස බලු සැමියා ඇය පසෙකට ඇදගෙන ආවේය."කට කට... අපේ බොස් ගේ wife"
"මොකක්"
"ඔව්, දෙන්න ඉස්කෝලේ යන කාලේ මයි යාලු වෙලා තියෙන්නේ,කව්රු හරි affair  එක ගැන ඉස්කෝලේ කේලම් කියල මැඩම් ඉස්කෝලෙන් අස් කරලා.මැඩම් වහ බොන්න ගිහින්,මානසික ලෙඩෙක් වෙලා හරි අමාරුවෙන් ගොඩ අරන් තියෙන්නේ. කේලම කිව්ව කෙල්ල නම් හොඳට විදවන්න ඕන."ඔහු දිගට කියවාගෙන යයි.කොහොමත් බොහෝ පිරිමින්   තම  බිරිඳ වඩා අනුන්ගේ  බිරින්දෑවරු ගැන හදවත උණු වෙයි.
"මේ..... මෙන්න බත් එක.උයන්න මුකුත් නෑ .අද නම් එළවලු ගෙන්න වෙනවා"
"හ්ම්...ණය පොත ත් පිරිලා ඇති නේද"
"ඔව්,මම අදත් පිට පාරෙන් ආවේ.අද වත් ටිකක් කලින් එන්න බලන්න.මාරි අක්කා ඒවි ගෙවල් කුලී ඉල්ලගෙන.දන්නවා නේ කටේ සැර" 
"හා..හා...බලමුකෝ"
ඉසිනි ගේට්ටුවෙන් එලියට ආවාය.ඇස් දෙක අරින්නට බැරි තරම් අව්ව සැර .බස් පාරට තරමක් දුරක් ඇත. මේ අවුවේ දුර පයින් යාම දඬුවමකි.තමන් එනු දැක ත්රීවීල් පාර්ක් එකේ රියදුරෙක් රියදුරු අසුනේ හරි බරි ගැහුනත් ඇය කුඩය ඉහලාගෙන බිම බලාගෙන ඔහු පසු කලාය.පර්ස් එකේ ඇත්තේ බස් ගාස්තුව හැර මාරු කාසි කීපයක් පමණි.
ඉසිනි බස් නැවතුමට ආවේ ඉහින් කනින් දාඩිය වැගිරෙද්දිය.හිස් වූ බස් නැවතුම බස් රියක් මේ දැන් දැන් ගිහින් ඇති බවට සාක්ෂිය.මීළඟට එන බස්, හන්දියේ දී school traffic වලට කොටු වන බව මතක් වූ ඇයට ඉබේ කෙඳිරි ගෑවින.අවුවෙන් බේරීමට බස් නැවතුම තුලට ගියත් ටකරම් වහලය රත් වීමෙන් දැනෙන්නේ පෝරණුවක් තුල සිටින වැනි හැඟීමකි.ඇය ලේන්සුවෙන් පවන් සලමින් හිත රවට්ටා ගත්තාය.
" කේලම කිව්ව කෙල්ල නම් හොඳට විදවන්න ඕන"ඇයට තම සැමියා ගේ වචන සිහි විය.

Comments