පිළියම

කොලඹ රැකියාව කල සුගත් ට රැකියා කටයුත්තක් සඳහා මාසයක කාලයක් තරමක දුරබැහැර ට යන්නට සිදු ව ඇත.හඳුනන කෙනෙකුත් නැතිව මාසයක් නවතින්නට තැනක් සොයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් විය.ඔහුට පිහිටට ආවේ කාර්යාලයේ ම මිතුරෙක් වූ කමල් ය.
"මචං අපේ මාමලා ගෙ ගෙවල් ඒ පැත්තෙ. ලමයි බැඳලා රට පුරා ගියාට පස්සෙ ඒ දෙන්නා විතරයි ඉන්නෙ.පහසුකම් නම් ටිකක් අඩුපාඩු වෙයි.උඹ කැමති නම් මම අහල බලන්නම්"
"අනේ ලොකු උදව්වක් මචං,පහසුකම් නම් මොනවද? රෑට නිදා ගන්න ටිකට"
කමල් කිවූ මග සලකුනු අනුව සුගත් නිවසට එන විට ගොම්මන් අඳුර වැටී තිබුනි.මාමාත් නැන්දාත් ඔහු ව සාදරයෙන් පිලිගෙන සූදානම් කර තිබූ කාමරය පෙන්වූයේය.තෙහෙට්ටුව නිසා සුගත් ට එකවිට ම නින්ද ගියේය.ඔහු තිගැස්සී අවදි වුනේ එක වර ම ඇසුණ මහ ශබ්දයකිනි.
"අයියෝ තවත් ශීට් එකක් ඉවරයි නේද මහත්තයා.මේක දැන් රෑටත් තියා ගත්තනෙ"
සුගත්ට තමන් ඉන්නේ කොහෙදැයි සිතා ගැනීම ට ටික වේලාවක් ගත විය.ඒ ශබ්දය මෙන් ම නැන්දා ගේ අවලාදය ද ප්‍රහේලිකාවක් වූයෙන් සුගත් වහා කාමරයෙන් එලියට ආවේය.
"මොකක්ද අන්කල් ඒ වුනේ"
"ආ පුතාටත් ඇහුනද?මොනව කරන්නද පුතා අඹ වාරෙ නෙ මේ."
නිවුනු තැන්පත් බවක් පල කල මාමා සුසුමක් හෙලමින් කීවේය.
"ඒ කියන්නෙ අංකල්"
සුගත් ඒ හතර බීරි කතාවේ අගමුල නොතේරී ඇසුවේය.
"අල්ලපු ඉඩමෙ  අඹ ගස් 2-3ක්  තියෙනවා.කොල ගානට ගෙඩි.අඹ වාරෙට මේ පැත්තෙ කොල්ලො කුරුට්ටන්ගෙ වැඩේ  ඒකට ගල්, පොලු කෑලි ගහනවා.ගෙඩි ටික උන් ට.ගල්, පොලු ඔක්කොම අපේ වහලෙයි මිදුලෙයි"නැන්දා ආවේගයෙන් කීවාය.
"ඒ ගෙදර අයට ප්‍රශ්නයක් නැද්ද?"
"ඒක රජයේ ඉඩමක්.තාප්ප ගහල බෝඩ් ගහල වෙන් කරල තිබුනට කිසි කෙනෙක් එනව යනව දැකල නෑ.මේකෙ උන්ට රජ මගුල් ඉතිං"
"ඒ ලමයි ට කිව්වෙ නැද්ද මේ ගැන"
"කොච්චර කිව්වද පුතා.අහල පහල මිනිස්සුන්ගෙම ලමයි නිසා රණ්ඩු කරගෙනත් බෑ.අපි දෙන්නට හදිසියකට වත් ඉන්නෙ ඒ මිනිස්සු නෙ.අඹ වාරෙ ඉවර වෙනකල් ඉඳලා මම ඒ ඔක්කොම හදවලා දානවා"
සන්සුන් ව පැවසුවත් ඒ හඬ යට ඇත්තේ වේදනාවකි.
මේ ප්‍රහාරයෙන් සිදු ව ඇති විනාශයේ තරම සුගත් හරියටම දැක්කේ පසුවදා ය.ඒ පැත්තේ ජනෙල් වල ඇති ලී පියන් පවා තැන තැන පලුදු ව ඇත.වහලය හැමතැනම පුපුරා හිල් සෑදී ඇත.පොලු කෑල්ලක් 2ක් මිදුලේ ද ඇත.නිවැසියෙකුගේ අත පයක මේවා වැදුනොත්නිවසට වූ හානියට වඩා අනතුරුදායකය.මෙවන් දඟකම් තමනුත් පොඩි කාලේ කර ඇතුවාට ඉන් කිසිවෙකුට හානි සිදු කර නැත.
_____________________________________
මාසය අවසන් ව සුගත් නැවත කාර්යාලයට ආවේ නෑදෑ නොවූ නෑදෑ දෙපලකුත් ඇති කර ගනිමිනි.
දින කීපයකින් කමල් ඔහු සොයා ආවේය.
"අර නැන්දා ලියුමක් එවල මචං.මුළු ලියුමෙ ම තියෙන්නෙ උඹ ගැන වර්ණනාව.උඹ මොනවද කලේ අර කොල්ලො ගල් ගහන සීන් එකට.දැන් කිසි ම කරදරයක් නෑලු. කොල්ලෙක් පේන්නවත් නෑලු."
සුගත් කිසිත් නොකියා සිනාසුනේය.
"අනේ කියපං කො බං.අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා ඔහොම අසමජ්ජාතියො ටිකක්."
"ඒක පොඩි ගුරුකමක්"
"ඇහ්...උඹ ඒවත් දන්නවද?අනේ මටත් කියපංකො"
ඔහුගෙන් ගැලවීම පහසු නැත.
"මාසයක් ඉඳුම් හිටුම් කෑම බීම දීලත් මම ම හිතල ගෙදරට මොනව හරි ගෙනාවොත් ඇර එයා ල මගෙන් සල්ලි ගත්තෙත් නෑ.එහෙම මොනව හරි අරන් ගියත් බලෙන් ම දෙන්න වුනේ.ඔහොමවත් දෙයක් කරල දෙන්න ඕන නෙ."
"උඹ මොනවද කලේ කියපං කො"
"මම වැඩ ට ගිහින් එද්දි නෝට් කලා ඔය කොල්ලො සෙට් එක.ළඟ ම ගෙදරක එකෙකුත් හිටියා.මම පොඩි ෂේප් එකක් දාලා ඌ ව කතාවට අල්ල ගත්තා.මගෙ ෆෝන් එකේ පොඩි ගේම් 2-3ක් එහෙම පෙන්නලා කොල්ල මගෙ පැත්තට ගත්තා.අන්තිමේ දි උන් මම වැඩ ඇරිල එනකල් බලන් හිටියා මගෙ ෆෝන් එක ගන්න.වෙනද වගේ ක්‍රිකට් ගැහිලි,අඹ කැඩිලි මුකුත් නෑ.එහෙන් එද්දි පොඩි චයිනීස් සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් අරන් දීල ආවෙ.මාව දෙයියො වගේ උන්ට"
කමල් මොහොතක් ඔහු දෙස බලා සිටියේය.
"පේනවද ෆෝන් එකක් කරන දෙයක්!"
Image result for mango tree

Comments