ශ්‍රද්ධා ධනං


රජමහා  විහාරය අසල තවත් වෑන් රථයක් නැවතුනේය.මල් කඩවල සිටි වෙළෙන්දෝ ලහි ලහියේ තම  බඩු මුට්ටු සුදානම් කර ගත්හ. කුඩා දරුවෝ මල් පොකුරු සමඟ පෙර මගට කඩිනමින් යැවුහ.
සුමනා තවත් නෙලුම් මලක් ගෙන පෙති දිග හැරියා .වෙනදාට නම් දුවගේ පොඩි කෙල්ල ඇයගේ උදව්වට සිටියත් අද සිට ඇයත් ශිෂ්යත්ව පන්තියකට යන බව කී නිසා සුමනා සිටියේ තනිවමය.ඇය පුරුද්දට මෙන් රථයෙන් බැස විහාරය දෙසට එන වන්දනා නඩය  දෙස බැලුවාය.බැලූ බැල්මට සියලු දෙනාම වයස 18-20 වයසේ කොලු කෙලි පිරිසකි.ගැහැණු පිරිමි වෙනසක් නැතිව සියලු දෙනාම කලිසම් ඇඳ  සිටින බව දුටු ඇය කෝපයට පත් විය.
දැන් ඉන්න  කෙල්ලන් ගේ  කිසි චාරයක් නැති හැටි.මේ වගේ සිද්ධස්තානයකට එන හැටි වත් දන්නේ නෑ.....දණහිසට මදක් උඩට වන්නට  දික් වන සේ ඇඳ සිටි සුදු හෝ ලා පැහැති ගණකම්,බුරුල්  සංවර blouse ගැන කිසිම අවදානයක් යොමු නොකරමින් ඇය තනියෙන් පුපුරා හැලුනාය.
මුන් ගේ නෙවේ මුන් ගේ මහ මිනිස්සුන් ගේ වැරදි.තැනකට යද්දී අඳින පළඳින හැටි කියා දීලා නෑ .ඇය එවර නොදන්නා දෙමවුපිය පිරිසකට දොස් නැගුවාය.
එක අතකට දෙමවුපියෝ මක් කරන්නද.දැන් හැදෙන එකියෝ අම්මලා තාත්තලා කියන දෙයක් අහනවද. මෙහෙම කොල්ලෝ එක්ක රස්තියාදුවේ යනවද හැදිච්ච කෙල්ලක්. කොහේ හරි හොර ගමනක් යන ජෝඩු ටිකක් කොහෙද. අපේ කාලේ එහෙම වුනා නම් කකුල් කඩලා. නැවතත් තම සිත සමග තනියෙන් තර්ක කලේ තමන්ගේ දුවලා දෙන්නා  සිහි කරමිනි.
මේ කිසිත් නොදත් පිරිස දෙපස මල් කඩ දෙස බලමින් ඉදිරියට ඇදුණහ. සුමනා අසල තිබූ කිහිලි කරුව දුටු එක දැරියක් "අපි මෙතනින් ගමු "ඇසුවාය.අනෙක් පිරිස නිතැතින් එතන නැවතුනහ.
"කීයද ආන්ටි මේ මල්"පිරිමි ළමයෙක් ඇසුවේය.
කෝපයෙන් දැවෙමින් සිටි සුමනා තමන්ට හැකි පමණින් ඔවුන්ගෙන් පලි ගන්නට සිතුවාය.
"100 4යි"
පිරිස මුහුණෙන් මුහුණ බැලුහ.සුමනා මඳ චකිතයක් ඇති වුනේ වැඩි මිලක් කියා ඔවුන් මල් මිල දී නොගනී දැයි සිතුන නිසාය.
"හරි 16ක් දෙන්න "මුලින් කතා කල පිරිමි ළමයා සියේ නෝට්ටු 4ක් දික් කළේය.
මල් පොකුර එකාට එක බැගින් බෙදා ගෙන විහාරය පැත්තට යන පිරිස දෙස බලන්නට ඇයට ඉඩක් නොවුයේ තවත් රථයකින් බැසගත් පිරිසක් එන බව දුටු නිසාවෙනි.
ඔවුන් දෙස බැලූ  ඇයගේ කෝපය සම්පුර්ණයෙන් නිවී ගියේය.නඩයේ සියලු දෙනා ඇඳ සිටියේ බිම ගෑවෙන තරමේ සුදු දිගු සායවල් .මැදිවියේ කීපදෙනෙක්  ඔසරි ඇඳ සිටියහ.
හරි වැදගත් කට්ටියක් වගේ.වන්දනාවක් යනවා වෙන්න ඕන.ඇය පහන් සිතින් බලා සිටියාය.
විහාරය දක්වා වැටී ඇති මාර්ගයේ ටික දුරක් පැමිණි එක් කාන්තාවක් බිමට නැවී පාවහන් ජෝඩුව අතට ගත්තාය.එකිනෙක ගසා තැවරී තිබුන වැලි පිස දා එය ෂොපින් කවරයක දවටා බෑගයේ  දමා ගත්තාය."නිකන් මොකටද පිට මිනිස්සුන් සල්ලි දෙන්නේ සෙරෙප්පු දෙකට ත්."ඇය තමන්ගේ ක්රියාව සාධාරණීකරණය කරද්දී තවත් කීප දෙනෙක් ඇය අනුගමනය කළහ. සුමනා ගේ කිරි සුදු පහන් සිතුවිලි යන්තම් පලුදු විය.
දෙපස බලමින් ඔවුන් ගෙන් කෙනෙක්  සුමනා අසල  අනෙක් මල් කඩය ඉදිරිපස නතර වූහ.
"කීයද මේවා"
"100 5යි නෝනා"
"හපෝ ගාන වැඩියි නේ."
"ඔය මල් ගන්න ඕන නෑ.මම ඊයේ හවස පන්සලෙන් කඩා ගත්තා.මේ ඇති අපි ඔක්කොටම"මැදිවියේ කතක් බෑගයෙන් සිලි සිලි මල්ලක් අදිමින් කීවාය. තුල වතුරෙන් පෙඟී තැලී පොඩි වුන මල් දහ  පහළොවක් සුමනා දැක්කාය.
වචන ඇසූ  සියලු දෙනා නැවත පාර ආහ.
"නිකන් පිපෙන මල ත් ගිනි ගණන්. හරියට තෙල් පෝර දාලා වවනවා වගේ
නික්ම යන ඔවුන් ගෙන් කෙනෙක් ගේ හඬක් සුමනාට යන්තමින් ඇසුණේය.
"හහ් .....නිකන් වැවෙන මල් උඩින් ඇවිත් අපේ අතට වැටෙනවා කියල දන්නේ නෑ  හිතන් ඉන්නේ.කිඹුලෝ එක්ක ඔට්ටු වෙවී වැව මැද අපි කරන යුද්ධය කවුරුවත් දන්නේ නෑ."පාන්දර අහිමි වූ වෙළඳාම ගැන කෝපයට පත් වී සගයා කියනු ඇසුනේය.
පැය බාගයකට පමණ පෙර ගිය තරුණ නඩය ආපසු එමින් සිටියහ.
"චමෝදි ගේ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියල විතරමයි මම නම් ප්රාර්ථනා කලේ"
"අනේ ..අපි ත් එහෙමයි."
පිරිස පාවහන් ගලවා තැබූ තැන නැවතුනහ."100ක් විතර දීලා ඔක්කොම ගමු"
"නෑ ...නෑ   කීය කීය හරි දෙන්ඩ ලා.මේ මිනිස්සු ත් ජිවත් වෙන්න එපැයි" නඩයේ  තරුණයෙක් සැමදෙනා ගෙන් මුදල් එකතු කළේය.
සුමනා එවර තරහක් දැනුනේ තමන් ගේ සිතුවිලි සමගය.
 ඇය දෙනෙත් විහිදා විහාරයට සමීප ඈත යන සංවර වන්දනා නඩය දෙස බැලුවාය.
නැගෙනහිරෙන්  පායාගෙන ඉර එලිය ඔවුන් ගේ දිග සායවල් පසා කරමින් පොලව සිප ගත්තේ සායවල් අතරින් නිරුවත් වූ  දෙපා ප්රදර්ශනය කරමිනි.

Image result for flower sellers temple sri lanka

Comments