ලතාවක් වී වෙලී උන්නට


මම නයනි.කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙ දි මල්සරා ගෙ ඊතලයට මාව ගොදුරු වුනේ අන්තිම අවුරුද්දෙ ඉඳුවර අයියා නිසා.ඉතින් කැම්පස් අවුට් වෙලා වැඩි කාලයක් යන්න කලින් මනමාලියෙකුත් වෙලා පිටරටක එන්න සිද්ද වුනේ රට හතර දිග් බාගෙ රැකියාවල් කීපයක් කරල අවසානෙදි මගේ මල් කුමාරයාට පිට රට රස්සාවක් ලැබිල තියෙද්දි එක පුත් රත්නය නොදන්න රට රාජ්ජවලින් සුද්දියෙක් කර ගහගෙන එයි කියන බයෙන් පෙලුන නැන්දම්මාට පින් සිද්ද වෙන්නමයි.
අළුත් අළුත් පරිසරයක අළුත් චරිත රඟ දක්වන්න වුනා අත්දුටු අභියෝග ඉමක් කොනක් නැහැ.ඒවටත් මුහුණ දෙමින් හෙමින් ජීවිතය ගොඩ නගා ගනිද්දි මුළු බැච් එක සහභාගි වුන සමීප යෙහළියන්ගේ විවාහ උත්සව එයාලාගෙ රැකියා විස්තර දැන ගත්තෙ ඩිජිටල් තිරයක් හරහා විතරයි.දුවයි පුතයි ලැබිලා ජීවිතය තව තවත් බිසි වෙද්දි ආරංචි ත් නොලැබී ගියා.විටින් විට ලංකාවට ඇවිත් ගියත් ලොකු කාලයක් ඉන්න ඉඩ ලැබුනේ නැහැ.ඒත් හදිසියේම මගෙ සර්ව බලධාරී නැන්දම්මා එයාලගෙ මහ පවුලෙ ඉඩ කඩම් වල නීති අවුල් ලිහලා ඒවා හරි විදියට බෙදා වෙන් කරන්න එක පුතා අණ දුන්න නිසා අපේ සමර් ප්ලෑන් ඔක්කොම අවලංගු කරල  මාස 3 නිවාඩුවකට අපි ලංකාවට ආවෙ රට ගිහින් හරියට අවුරුදු 10කට පස්සෙ.
පුතයි දුවයි බෙදා ගන්න සීයලා ආච්චිලා නැන්දලා පුංචි අම්මලා තරඟ කරද්දි හබියා ඉඩ කඩම් ප්රශ්න විසඳන්න රට පුරා දිව්වෙ පිස්සුවෙන් වගේ. අස්සෙ අපි රට යද්දි අම්මලා වෙච්ච බාරයක් ඔප්පු කරන්න කතරගමත් යන්න වෙච්චි.මහා මාර්ග දෙපාර්තමේන්තුවට වඩා පාරවල් ගැන දන්න සිරිල් අයියා school time traffic වළක්වගෙන කොළඹ යන්න කෙටි පාරක් හොයන් පුංචි පුංචි පාරවල් දිගේ වෑන් එක එලවනවා.
"අනේ පොඩ්ඩක් නවත්වන්නකො"
පාර අයිනෙ පහු වුන ඉස්කෝලයක් ගාව දි දැක්ක මූණක් දැකල මට කෑගැහුනා."රිවස් කරන්න කො.මගෙ යාළුවෙක් හිටියා."හදිසි break පාරින් වාහනේ අයගෙ මූන සමතලා වෙන්න ගිය වගත් අමතක කරල පිටි පස්ස බලන් මම කිව්වා.
" මේ එරංගි නේද?"
විස්මයෙන් දැල්වුන ඇස් දෙකක් මගෙ දිහාට එල්ල වෙලා මොහොතක් රැඳුනා.
"ආනේ.....නයනි.ලංකාවට ආවද " අවුරුදු ගානක් ගිහිල්ල මුන ගැහුන මගෙ රූමාට පොඩ්ඩො දෙන්නෙක් එක්ක  වාහනේට නගින්න හබියා දොර ඇරියා.
"උඹ කොහෙද බන් මෙහෙ"
"අකිල ගෙ ගම මෙහෙ නෙ" මූණ තිබුන පොඩ්ඩො දෙන්නා දිහා බලල මම පහු වුන ඉස්කෝලෙ දිහා බැලුව.
"මේ ඉස්කෝලෙ උඹ උගන්නන්නෙ?"
"උපාධියට ගැලපෙන සබ්ජෙක්ට්ස් හොයන්න නම් කිලෝමීටර් 50ක් වත් ඈත ඉස්කෝලෙකට යන්න ඕන.මේ දෙන්නා බලා ගන්න කවුද?"
"අකිල මොනවද කරන්නෙ?"
"එයා SLAS පාස් වුනා නෙ.දැන් නුවර එළියෙ.මාසෙකට සැරයක් වත් ඇවිත් යන්න විදියක් නෑ වැඩ.පොඩි දුරක් යැ"
"ඉතිං උඹ ලිව්වෙ නැද්ද exam ? Class එකකුත් තියන් ?"
"බැඳපු අලුත අපි දෙන්න එකට ක්ලාස් ගියත් එක්ක.ලොකු පුතා හම්බ වෙන්න ආවා නෙ.වමනෙ දදා මොන පාඩම් ?ඊළඟ සැරේ වෙද්දි පොඩි පුතා උපන් අළුත.ආයෙ හිතුවෙ නෑ ගැන.අකිල තේරුන එක මදැයි"
ඇය සිනා සී කිව්වත් මට ඇති වුනේ කියන්නට නොතේරෙන හැඟීමක්.අවුරුදු 10 විස්තර කියවගෙන යද්දී ඇය බහින තැනක් වත් අහන්නට අමතක විය.
"මාව ඉස්සරහ බෙහෙත් බඩු කඩේ ගාවින් දානව ? තාත්තගෙ කසාය ටික කිරාගෙන පොළටත් යන්න ඕන.යන්න කලින් එන්න ආයෙත්.මම අකිලටත් කියන්නම්"
ඇය බැස ගිය සැණින් මට කාන්තා විමුක්තිය ගැන හඬ නගන්නට ඕනෑ වුනත් ඉදිරිපස වීදුරුවෙන් පෙනෙන හබියාගේ තරවටු මුහුණ මට වාහනයේ ඉන්නේ අප පමණක් නොවන බව සිහි කළේය.
"අකිල කියන්නෙ ඔයාලගෙ බැච් එකේ කවුන්සිල් කෙරුව උස කළු එකා නේද?"
හබියා ගැන කට ඇරියේ නිවසට පසු .
"ඔව්....ඔයා මතක අකිල .එක එක පිස්සු නට නට හිටියෙ.එරංගි නැත්නම් ඩිග්රි එකවත් නෑ."
"නුවර එළියෙ අම්මලගෙ එස්ටේට් එකේ ප්රශ්නෙ බලන්න ගිය වෙලාවෙ බාප්පගෙ යාළුවෙක්  අඳුනන ලේඩි ලෝයර් කෙනෙක් මුණ ගැහෙන්න එක්ක ගියා එයාගෙ ගෙදරට......එයාගෙ හස්බන්ඩ් අපේ කැම්පස් කිව්වා.ඒත් මෑන් මාව මග ඇරියෙ ඇයි කියල දැන් තමා මට තේරෙන්නෙ."


Comments