දෙවි පිහිට


එලාම් එකක සද්දේ ඇහුනා.සනිත් තව ටිකක් තද කරලා ඇස් වහ ගත්තා.ඉස්කෝල නිවාඩු කාලේ පටන් ගත්තා විතරයි.
ඒත් අම්මා ඇවිත්"නැගිටින්න පරක්කු වෙනවා" කියල තට්ටු දාද්දි එයා අමාරුවෙන් ඇස් ඇරලා බැලුවේ මේ මොකද හිතා   ගන්න බැරුව. වෙනදා පුරුදු ඇඳ නෙවේ.සනිත් නිදිමතේ කල්පනා කළා.අහ් ඊයේ චූටි  මාමා ගේ වෑන් එකේ අම්මයි තාත්තයි එක්ක දේවාලේ යන්න ආවා.මෙච්චර උදෙන් යන්න ඕනද ඉතින් දේවාලේ .එයා ආයෙත් ඇස් පියා ගත්තා."කෝ නැගිටින්න, තාත්තා එලියට ආවා ම ඔයත්  ගිහින් නා ගන්න”
  "නාන්න... පාන්දර……..අනේ මට බෑ "සනිත් ගේ කට කජු ලෙල්ල වගේ දෙපැත්තට ඇදුනා
"හා..හා කට වරද්දා ගන්න එපා"
මේ ගමන එන්න ලෑස්ති වුන දවසේ ඉඳන් ආච්චියි,නැන්දලයි  ගෙදර වැඩට ඉන්න නන්දයි  ඔක්කොම කියන්නේ ඕක.ඊයේ එන්න පිටත් වුනාට පස්සේ අම්මයි තාත්තයි එයා අහන අහන දේට කිව්වෙත් ඕක.කට කොහොමද වරදින්නේ.ඉස්කෝලෙදි අකුරු, ඉලක්කම් නම් වරදිනවා.පාඩම් කරද්දී කවි ත් වරදිනවා.ඒත් කට??
සනිත් නාගෙන එලියට ඇවිත් අම්මා තියල තිබුන සුදු ඇඳුම ත් ඇඳන් අම්මා කැවිලි ත්  හෝදලා කපලා තිබුන පලතුරු ත් වට්ටියක අස් කරන විදිය බලන් හිටියා.
"අපරාදේ අක්කේ,එහෙ ඉඳන් මේවා අරන් ආවේ.අපිට මගින් ලාබෙට ගන්න තිබුණා" චූටි මාමා කියන්නේ සනිත් හිතුන දේමයි,
"අපෝ ඒවා අව්වේ මැලවිලා, බේත් ගහලා.මම මේ ටික යාලුවෙක් ලව්වා ගමෙන් ගෙන්න ගත්තේ. කැවිලි ත් බඩු  දීල හොඳට ම පිරිසිදු ව හැදෙව්වේ "
"කාටද අම්මේ ඕව"
"දේවාලේ පූජාවට නේ පුතේ"
"ඔක්කොම දෙවියන්ට "
"හා..හා කට" ආයෙත් පුරුදු වචනේ .
කට්ටිය  පයින් යන්න පිටත් වුනා."මාමේ දෙවියන්ට පලතුරු පූජා කරන ගාථාව මොකක්ද"සනිත් මාමගෙන් ඇහුවේ  අම්මගෙන් අර  වචන අහ ගන්න බැරි නිසා.
"ඒකට ගාථා  කියන්නේ නෑ පුතා." මාමා හිනා ගියා."ම්ම්...පලතුරු වට්ටිය තියලා වැඳලා අපි දෙවියන්ගෙන් මොනවා හරි ඉල්ලනවා"
"මොනවද"
"තමන්ට ඕන දෙයක්"
"ඉල්ලන ඕන දෙයක් දෙවියෝ දෙනවා ඉතින්"සනිත් ඇහුවේ පුදුමයෙන්
"ම්ම් හොඳ දෙයක් නම් දෙනවා"
සනිත් කල්පනා කළා.ඉල්ලන්න දෙයක් මතක් වෙන්නේ නෑ."මාමා මොනවද ඉල්ලන්නේ"
"මම ………මටයි , වාහනේටයි, මගේ වාහනේ යන අයටයි , පාරේ යන අයට යි කරදරයක් වෙන්න එපා කියල ඉල්ලන්නව"
සනිත් ආයේ කල්පනාවක.සනිත් ටත් වාහන මහා ගොඩක් තිබුනට එකක් වත් පාරේ යන්නෙ නෑ.සනිත් වත් ඒවා වල නැගලා යන්න ත් බෑ.හැබැයි තව පොඩි car එකක් තිබ්බොත් නම් හොදයි වගේ.
ලොකු අයගේ ඉක්මන් ගමන එක්ක යන්න දුවන ගානෙන් හිටිය සනිත් එක පාරම නතර වුනා.පුතා පරක්කු මොකද බලන්න හැරුන අම්මා දැක්කේ කොල්ල පාර අයිනේ විකුණන සෙල්ලම් බඩු තට්ටුවක් ගාව නතර වෙලා."අම්මේ අනේ......" සනිත් මොනවා හරි ඕන වුනා දාන අහිංසක පෙනුම දාගෙන කියනවා.
"එද්දී ගමු පුතා,දැන් පරක්කු වෙනවා"
සනිත් එතනින් කකුල එහාට ගන්න බෑ.මාමා බෑනා පොඩ්ඩ ගැන දුක හිතුනා. සනිත් තේරුව පොඩි රතු car එක අරන්  දුන්නා. දැන් සනිත් දෙවියෝ ගැන හොඳට විශ්වාසයි.දෙවියෝ ඉන්නේ අහසේ කියල අහල තිබුන නිසා සනිත් අහස දිහාට මූන හරවලා ලොකු හිනාවක් දැම්මා.ඉස්සරහ දත් දෙක නැති වුනාට දෙවියෝ තරහ වෙන එකක් නෑ නේ.
සනිත් අතේ තියෙන්නේ car එකක් නෙවේ මැණික් ගලක් වගේ හිතාගෙන ඒක  දිහා ඇසිපිය නොහෙලා  බලන් අම්මලා පස්සෙන් ඇදෙනවා.  ආයේ එයාගේ අවදානේ බිඳුනේ පාර අයිනේ ඉන්න හිඟන ගෑනු කෙනෙක් දැකලා.මේ වෙනකල් එහෙම අය ඕන තරම් පහු වුනත් එයාගේ විශේෂත්වේ එයා අතේ ඉන්නවා සනිත් ගේ හොඳම යාලුවා මලිඳු ගේ මල්ලි වගේ බබෙක්.
සනිත් අඩියක් ඉස්සරහට තියලා අම්මගේ අතින් ඇද්දා.
"මොකද පුතා.........මෙන්න මෙහෙ එන්න ළමයෝ.හොඳ ගමනක් යද්දී ඉන්නවා නේ මෙතන ඉස්සරහ ම"
අම්මා සනිත්  පෙන්නූ දිහාව බලලා ආයෙත් අඩිය ඉක්මන් කලේ තාත්තා පැත්තට හැරිලා ත් මොකක්දෝ තොල් මතුරමින්.සනිත් පිටිපස්ස බල බල අම්මලා පස්සෙන් ගියා.මලිඳු ගේ මල්ලි නම් දැන් ඇවිදින්න පුළුවන් ලු.ඒත් මේ බබා ගේ කකුල් දෙක කෝටු දෙකක් වගේ. බබා කන්න නැතුව ඇති කෙට්ටු. සනිත් වට පිට බැලුවා. ලොකු, පුංචි පූජා වට්ටි අරන් ගොඩක් අය අම්මයි පුතයි පහු කරන් අහක බලන් යනවා.මලිඳු ගේ මල්ලි ත් car වලට ආසයි.සනිත් ආපිට හැරුනා. දුවගෙන ගිහින් මෙතෙක් අතේ හිර කරන්  හිටිය එක පාරක් වත් බිම වත් තිබ්බේ නැති අලුත්ම car එක බබාගේ අතට දුන්නා. වේගෙන් ආපහු හැරිලා අම්මලා ගාවට දුවන් ආවා සෙනග ගොඩේ මග ඇරෙන බයට.
සනිත් මේ තරම් මලිඳු ගේ මල්ලි මතක් වෙන්නේ ඉස්කෝලේ නිවාඩුවට දවස් 2-3කට කලින් මලිඳු කිව්වා මල්ලි ලොකු අසනීපයක් හැදිලා ඉස්පිරිතාලේ ලු.එයාල දන්නේ නැද්ද දෙවියන්ගෙන් ඉල්ලුව නම්  ඕන දෙයක් කරලා දෙනවා  කියල.සනිත් කල්පනා කළා.ඒත් මෙහෙ එන්න කෙනෙක් නෑ නේ.මලිඳු ගේ අම්මා මල්ලි ගාව ලු. මල්ලි සනීප කර ගන්න ගොඩක් සල්ලි යන නිසා තාත්තා office ඇරිලා ඇවිත් කාගේද ත්රී වීල් එකක් එලවනවා ලු.මලිඳු ඉස්කෝලේ එන්නෙත් ආච්චි ගාව ඉඳන් කිව්වා නේ.
   මල්ලි මමත් ආදරෙයි,මම කිව්වොත් දෙවියෝ කරලා  දේවි . ඈතින් පේන දේවාලේ දැක්කම සනිත් ලොකු හිනාවක් ගියා.
------------------------------------------------------------------------------------------------------
නිවාඩුව ඉවර වුනා.සනිත් පුරුදු විදියට ඉස්කෝලේ ගියා.දවසක් සනිත් ගේ අම්මා තාත්තා ගෙදර එනකල් හරි නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.තාත්තා හරි මහන්සි පාටින් ගෙදරට ගොඩ වුනා.
"මොකද නඩුව?"
අම්මා සැනින්  තාත්තා ගාවට ගිහින් ඇහුවා.
තාත්තා සැටිය උඩට වැටුනා.අතේ තිබ්බ ලිපි ගොනුව ටීපෝ එක උඩට විසි කළා.
"පරාදයි"
අම්මා ගේ හුස්ම හිර වුනා වගේ.එයත් එහෙම සැටිය උඩට ඇදගෙන වැටුනා.
"අපි  බාර වුනත් එක්ක "ඇය කිව්වේ නෝක්කාඩුවෙන් වගේ.
school van එකේ හෝන් එක ඇහුනා.නන්දා දුවගෙන ගිහින් ගේට්ටුව ඇරියා.
"අම්මේ.........මලිඳු ගේ  මල්ලි හොඳට සනීප වෙලා ගෙදර එක්කගෙන ඇවිල්ලෝ ......!!"සනිත් ගේ සතුටින් පිරුන කටහඬ  ගේට්ටුව ගාව ඉඳන් කුස්සිය වෙනකල් ඇහෙන්න ඇති.
Image result for puja wattiya

Comments