හිතුවක්කාරී


එරන්දි පාසලට පත් වී ආවේ අලුතිනි.ඇයට ඉගැන්වීමට බාර වූයේ 9-11 වසර වලට . ටික දිනක් ගත වෙද්දී 9 වසර එක පන්තියක් ඇයට එපාවට එපා වූයේ එක සිසුවියක් නිසාය. තමන් අලුත් නිසා මෙසේ අකීකරුව හැසිරෙනවා දැයි නොදත් ඇය මේ ගැන පන්තියට උගන්වන අනෙක් ගුරුවරියන් ගෙන ඇසුවාය.
"අපෝ නිතෙකා නේද.මගේ ජීවිතේට දැකලා නෑ වගේ හිතුවක්කාර කෙල්ලක්"
"එපා කියන දේමයි කරන්නේ. අපි මඩවන්න ඉස්කෝලේ එන්නේ "
"ඉගෙන ගන්න පුළුවන්. කිසි ඕනෑකමක් නෑ. තාත්තා රට ඉඳන් හොඳට සල්ලි එවනවා. අම්මා ටත් පොත් සාප්පුවක් තියෙනවා නේ
හැම දෙනෙක් ගෙන් නැගුනේ එවන් ප්රතිචාර.
9 වසර සඳහා අධ්යාපන චාරිකාවක් සංවිධානය වූයේ මේ අතරදී .සිසුවියන්ගේ එකම මාතෘකාව වුනේ පන්තියට එන හැම ගුරුවරියකගෙන් එයට සහබාගි වන නොවන බව ඇසීමය.
"කෝ යන අය අත උස්සන්න"එරන්දි කීවාය.නිතෙකා හැර අනෙක් සියලු දෙනා ගේම අත ඉහලට එසවින.
අම්මෝ මේ ළමයා නම් නොයන එක මයි හොඳ. එරන්දි මුලින් සිතට සිතුවිල්ල එය  වුවත්, පාසලෙන් යන චාරිකාවකට සහබාගි වීමට නොහැකි වී ඉන් පසු යෙහෙලියන් ගැන කියන විට හිතින් දුක් වන තරම ඇය අත්දැකීමෙන්  දනී.
සීනුව නාද වූ නිසා ඇය නැගිට්ටාය."නිතෙකා පොත් ටික එකතු කරන එන්න ස්ටාෆ් රූම් එකට."
"ට්රිප් එක ගැන අම්මා කිව්වා ?"ඇය පොත් ගොඩත් උස්සාගෙන තමන් පසුපස එන දැරිය ගෙන් ඇසුවාය.
"අහලා වැඩක් නෑ මිස්. ගිය පාර යන්න දුන්නෙත් නෑ" නොසැලකිලිමත් ලෙස උත්තර දුන්නත් ඇගේ හඬේ යටපත් වූ වේදනාවක් එරන්දි හැඟුනේය.
"ගිය පාර  බීච් ගිය නිසා  අම්මා එපා කියන්න ඇත්තේ. මේ සැරේ ඇලක් දොළක් ගාවට වත් යන්නේ නෑ නේ"
එරන්දි ඊට වඩා කියන්නට නොගියත් චාරිකාව දවසේ බසයේ පිටුපසින් සින්දු කියන කටහඬ වල් අතර ඇය නිතෙකා ගේ හඬ අඳුරා ගත්තාය.
පාසලකින් යන්නේ අධ්යාපන චාරිකාවක් මිස විනෝද චාරිකාවක් නොවන බව තරයේ විශ්වාස කල අංශ බාර ගුරුතුමිය ඔවුන් යන සියලු ස්ථාන වල අධ්යාපනික වටිනාකම පන්තියේ පරිදි විස්තර කරන්නට වූවාය. එරන්දි දහවල් වෙද්දී උදෑසන අවදි වූ  නිසා නිදිමතක් දැනිගෙන ආවේය.දෙවෙනි ඈනුම ත් ආයාසයෙන් යටපත් කල පිරිස මඟ හැර බසයට එන්නට ආවාය.ඇගේ ගමන නතර වූයේ පාර අයිනේ විකුණන වෙරළු අච්චාරුවක් දැකීමෙනි. පාසල් සමය මතක් වූ ඇය ඉන් ගොට්ටක්  මිල දී ගෙන වෙරළු ගෙඩියක් කටේ දමා ගත්තාය.
"අම්මෝ, මිසුත් පොඩි එකා වගේ"
පසුපසින් හඬක් අසුන නිසා එරන්දි වහා  හැරී  බැලුවාය.නිතෙකා සිනා සිසී ඇය දෙස බල හිඳියි."පැන්නා නේද හොරෙන්" එරන්දි ලැජ්ජාව වසා ගැනීමට බොරුවට සැර කළාය.
"අනේ දේශනාව ඉවරයක් නෑ අප්පා" නිතෙකා උත්තර දුන්නත් ඇගේ ඇස් රැඳී තිබුනේ එරන්දි ගේ අත දෙස .
"..."එරන්දි ඇයට වෙරළු ගොට්ට පෑවාය."එකක් අරන් මක් කරන්නද?"ඇය ඉන් බාගයක් නිතෙකා ගේ අතට හැලුවාය.
"ඉස්සර අම්මා එක්ක ඉස්කෝලේ ඇරිලා යද්දී පාර අයිනේ ඉන්නවා වෙරළු ආච්චියෙක්. කවදාවත් අරන් දෙන්නේ නෑ. ඕව ජරාව කියලා  කඩෙන් අඹ,ගස්ලබු අරන් යනවා. Town ගියා ලස්සන විදුරු පෙට්ටි වල දාල තියෙන බූන්දි ඉල්ලලා මම අඬනවා. අපෝ ඕවා කන්න හොඳ නෑ කියල මට චොක්ලට් අරන් දෙන්නේ"
නිතෙකා කී නෝක්කාඩුවට එරන්දි හිනා ගියේය."ඉතින් අම්මා නරකක් කරලා යැ"
"එහෙනම් ඒවා කාපු අනිත් ළමයි ලෙඩ වුනා යැ. තාත්තා නම් පොඩ්ඩක් කුරු කුරු ගෑව ම අරන් දෙනවා අම්මට හොරෙන් කන්න කියල.”
“තාත්තා වැඩ කරන්නේ දූලා ඕන විදියට තමා"
" එහෙනම් ඇයි තාත්තා පිටරට ජොබ් එකකට ගියේ."
"මිස් අර...."එරන්දි ඇයට පිළිතුරක් දීමට පෙර නිතෙකා පාර අසල සිටි බූන්දි වෙළෙන්දෙක් පෙන්නුවාය."මම ටක් ගාලා දුවල සල්ලි අරන් එන්නම්"
"දැන් ගියොත් හොරෙන් පැන්න කියල අහුවෙයි. ...මේකෙන් ගේන්න "එරන්දි බෑගයෙන් නෝට්ටුවක් ගෙන ඇයට දුන්නාය.
නිතෙකා බූන්දි මුල් දෙකක් මිලට ගෙන උඩ  පනින ගමනින් ආවාය."මිස් ගේ බබාලා නම් හරි ලකී.මිස් දන්නවා එයාල කැමති දේවල්"
"අපි කැමති හැම දේම අපිට හොඳට ගැලපෙන දේවල් නෙවේ "
" උනාට මිස් ඇයි අම්මලාට බැරි මගේ දෙයක් ගැන තීරණය කරද්දී මගෙනුත් පොඩ්ඩක් අහන්න. යාලුවෝ ටියුෂන් ගිහින් කරපු කෝලම් ගැන පන්ති වල ගුරුවරු කිව්ව විහිළු ගැන කියනවා. මට පැන්ෂන් ගිය වයසක මිස් ලා ගෙදරට ඇවිත් ටියුෂන් දෙන්නේ. එයාල විහිලු කරනවා තියා හරියට මූන බලලා හිනා වෙන්නේ වත් නෑ."
"තාත්තා ලඟදි එන්නේ නැද්ද"කතාව වෙනතකට හරවන්නට සිතා එරන්දි ඇසුවාය.
"මේ අවුරුද්දේ ඉවර වෙලා එන්න හිටියේ. මම අහගෙන අම්මා එක්ක කතා වෙනවා තව අවුරුදු 2 කට දික් කර ගන්නවා ලු. ඇයි මගෙනුත් පොඩ්ඩක් අහන්න බැරි. මම කැමති කියලා. මම එයාලගේ එකම දුව නෙවේ ද………..එයාලට හොඳ නම් එයාල ඕන විදියට වැඩ කරන්න මමත් කරන්නේ මට ඕන දේවල්"
එරන්දි පිළිතුරක් දෙන්නට කලින් මහා ඝෝෂාවක් අසුනේය.
"දෙශනේ ඉවර වෙලා මිස්. මම ගිහින් ශේප් එකේ එකතු වෙන්නම්."නිතෙකා පැන  දිව්වාය.
එරන්දි චාරිකාව අවසන් එනතුරු කල්පනා කලේ නිතෙකා අවසානයට පැවසු කතාව .
---------------------------------------------------------------------------------------------------------------------
අලුතෙන් ආව O/L Papers පොත් මොනවද"
එරන්දි වෙළඳ සහයිකාවගෙන් ඇසුවාය.
"මිස් උගන්වන්නේ කොන්වන්ට් එකේ නේද?" කවුන්ටරය අසල වාඩි වී සිටි කාන්තාව සිනා සී ඇය අසලට ආවාය.
"මම නිතෙකා ගේ අම්මා"
"අහ් ...ඇත්තද?...පේරන්ට්ස් මීටින් එකේ දී හම්බ වුනේ නෑ නේද?"
ඇය එරන්දි වෙලන්දසල ඇතුලේ කාමරයට රැගෙන ගියා .
"මම දැන් පේරන්ට්ස් මීටින් එන්න කැමති නෑ මිස්.හැමදාම අහන්න වෙන්නේ මේ ළමයාගේ මුරන්ඩුකම්,හිත්වක්කාරකම්...... මහත්තයා රට ගියේ දුවට උගන්වන්න ඕන නිසාමයි. ඒත් මේ ළමයා කරන දේවල් ...."ඇගේ හඬ හැඬුම් බරය.
"මහත්තයා ලඟදි එන්නේ නැද්ද?"
"මේ අවුරුද්දේ එන්න තමයි හිටියේ මිස්. වුනාට තව ටික කාලයක් ඉඳලා දුවට හයර් ස්ටඩීස් වලට සල්ලි ටිකක් එකතු කරගෙන එන්න තමා හිතන් ඉන්නේ."
"නිතෙකා කැමති තාත්තා තව කල් රට ඉන්නවට?"
"එයා දැන් පොඩි ළමයෙක් නෙවේ නේ මිස්. තේරුම් ගන්න ඕන නේ මගේ අනාගතේ වෙනුවෙන් මේ ඔක්කොම දේවල් කරන්නේ කියල"
"එහෙම අනාගතේ ගැන හිතල වැඩ කරන එක නම් හරි වැදගත් .ඒත්........මේ වයසේ ළමයෙක්  අනාගතේ ගන්න ඩිග්රි එකකට වඩා වටින්නේ වර්තමානයේ  අම්මා තාත්තා එක්ක ආදරෙන් ගත කරන එක දවසකට   නේද . නිතෙකා වෙන සහෝදර සහොදරියොත් නැති නිසා බැඳීම එයා පිටින් හොයන්න ගත්තොත්....."
"ඇයි මිස් එහෙම මුකුත් ප්රශ්නයක් වෙලාද?"  ඇගේ කටහඬේ පැහැදිලි බියක් රැඳී ඇත.
"නෑ ...එහෙම දෙයක් නෙවේ. එහෙම වෙන්න වුනත් පුළුවන් නේ ඉතින්"
සහයිකාව පොත් සොයා තිබූ බැවින් තමන්ට අවශ් පොත් තෝරා ගෙන එරන්දි ආපසු ගියාය.
දවස් කීපයක් ගත විය.නිතෙකා එරන්දි පන්තියට එන්නට පෙර පෙර මගට දුව ගියාය.
"මිස් තාත්තා මේ අවුරුද්දේ අන්තිමේ ජොබ් එකෙන් අයින් වෙලා ලංකාවට එනවා ලු."
"ෂා ...හොඳයි නේ ……දැන් එහෙනම් තක්කඩි වැඩ කරලා හමාරයි නේද?"
" දෙන්නා මම කැමති දේවල් දෙද්දී මමත් දෙන්න කැමති දේවල් කරනවා මිස්. ඔන්න බලන්නකෝ"."





Comments