“තමුසෙ කාටද අපේ හනිමූන් කතාව කිව්වෙ?”
කාර්යාලය ඇරී නිවසට ආ සැනින් මෙවන් පුපුරා හැලුනේය.අලුත් මනමාලි යන තනතුර ට තවමත් හිමිකම් කී සයුමි මෙතෙක් භාවිතා නොවූ අලුත් ම ආමන්ත්‍රණය ගැන ඇති වූ පුදුමයෙනුත් කේන්තියෙනුත් වහා ඔහු දෙස බැලුවාය.එහෙත් ඔහුගේ මුහුණේ තිබූ පෙනුම නිසා ඇය කොන්දේසි රහිතව නිහඬ වූවාය.
“මම කාටවත් කිව්වෙ නෑ”
“ එහෙනම් කොහොමද office එකේ උන් ඒ කතා දන්නෙ”
“ මේ ගේ අස්සට ම වෙලා ඉන්න මට ඕව කියන්න කවුද ඉන්නෙ?” සයුමි හැඬුම් බර ව කීවාය.
“ හොඳට මතක් කරන්න.අම්මාට, අක්කාට?” ඇගේ කඳුලින් කේන්ති නිවී ගිය මෙවන් ඇසුවේය.
“පිස්සුද අනේ.ඒවා අපේ පුද්ගලික දේවල් නෙ.”ඇය එවර නොරිස්සුමින් කීවාය.
මෙවන් ඉදිරියේ කුමක් කීවත් සයුමි තනිවම කල්පනා කලාය.කවුරුන් සමග වත් එවන් දෙයක් කිවූ බවක් ඇයට මතක නැත.අහ්....ඇයට හදිසියේ ම සිහි විය. එක ම saloon එකකින් මංගල දිනයේ අන්දවා ගත් කිහිප දෙනෙක් එක් ව facebook එකේ හදා ගත් group එකක honeymoon අත්දැකීම් බෙදා ගත් අවස්ථාවක තමන් ද සෑහෙන විස්තරයක් කල බව ඇයට සිහි විය. දෙය්යනේ,ඒකෙ කවුරුවත් fake ඉන්නවද?......නෑ නෑ වෙන්න බෑ.එයාලගෙ accounts මම බලල තියෙනවනෙ.සයුමි මුළු රැයම කැප කරමින් group සාමාජිකාවන් ගේ accounts හැකි තරම් ඈතට පරීක්ෂා කළාය. සැක කටයුතු කිසිවක් නැත.මෙයාල හබීල එක්ක එක ම account එක ම පාවිච්චි කරනව ද? එක්කො හබීත් පාස්වර්ඩ් දන්නවද? ඇයට තීරණයකට ඒමට නොහැකි විය.අවසානයේ ඇය facebook රචිකාවියක් ලෙස කලක් ප්‍රසිද්ධ ව සිටින හොඳ ම මිතුරිය ආන්යා හමු වීමට ගියාය.
“Facebook friends ලා මොන වගේ අය ද දැන ගන්නෙ කොහොමද?” වෙනත් කතා බහ අතරතුරේ ඇය නිකමට මෙන් ඇසුවාය.
“අම්මෝ අවුරුදු ගානක් ළඟ ම තියන් ආශ්‍රය කරන අය වත් මොක්කුද කියල හරියට අඳුර ගන්න බෑ.ඉතින් කොහොමද දැකල වත් නැති මිනිස්සු තේරුම් ගන්නෙ.......ඇයි දා ගත්තද මුකුත් ලෙඩක්?”.ආන්යා විමසුම් ඇසින් ප්‍රශ්න කලාය.
“මට නෙවේ අනේ.මෙවන්ගෙ office එකේ girl කෙනෙක් facebook යාළුවෙක් ට කිව්ව private details වගයක් දැන් මුළු office එක ම දන්නවා ලු. මගේත් account එක පරණ වුනා ට ළඟදි නෙ මම ඒකෙ actively වැඩ පටන් ගත්තෙ.ඉතින්....පරිස්සම හොඳයි නෙ.”
ආන්යා දෙතොල් තද කර ගත්තාය.”ඕක තමයි සමහර පිරිමි තමන්ගෙ wife ට girlfriend ට facebook යන්න නොදෙන්නෙ”
“ඉතින් facebook කියන්නෙ නරක දෙයක් ද?”
“දෙයක් හොඳ හෝ නරක වෙන්නෙ ඒක පාවිච්චි කරන විදියත් එක්ක.කල්පනාවෙන් වැඩ කරනවා නම් facebook වලින් හුඟක් ප්‍රයෝජන ගන්න පුළුවන්.කොහෙද සමහරු bed room එකෙන් එළියට ගන්න ඕන නැති දේවලුත් ළිඳ ළඟ සංගමේ වගේ එතන ලියනවා.හ්ම්.... ළිඳ ළඟ දි කියෙව්වොත් දැන ගන්නෙ ගමේ අහළ පහළ අය.වැඩි ම වුනොත් මාසයක් අවුරුද්දක් යද්දි අමතකත් වෙයි.facebook දැම්මා නම් ජාත්‍යන්තරය ත් ජය ගෙන සැරින් සැරේ අළුත් වෙවී එළියට එද්දි විඳවාපං කො.......”

Comments
Post a Comment