වීරයා


“අම්මේ”
“ම්...... “
‘මගේ තාත්තා රණ විරුවෙක් නේද ?”
“හ්ම්......”
"ඇයි එහෙනම් නිපුන් ගෙ තාත්තාට වගේ මගේ තාත්තාට සම්මාන දුන්නෙ නැත්තෙ?"
මෙතෙක් කපමින් සිටි ඇඳුමේ සිහියෙන් හූමිටි දුන් යසිතා තිගැස්සී පුතා දෙස බැලුවාය.
“නිපුන් ගිය සතියෙ අම්මා එක්ක කොළඹ ගියාලු.එයාගෙ තාත්තා ලොකු උත්සවයක් තියල සම්මානයක් දුන්නලු. ගොඩක් අම්මලා ලමයි ඇවිත් හිටියලු."
අම්මාගේ අවධානය සම්පූර්ණයෙන් තමන් යොමු වූ බව වටහා ගත් සසිත කියවාගෙන ගියේය.
“යුද්ධෙන් ගොඩක් තාත්තලා නැති වුනා නෙ පුතේ..... ඔක්කොටම.එක සැරේ සම්මාන දෙන්න බෑනෙ.තාත්තාට දෙයි තව පහු වෙලා”
ඇය අමාරුවෙන් වචන ගැලපුවාය.
“එතකොට අපි යනවා නේද ඒක ගන්න?” සසිත උනන්දුවෙන් ඇසුවේය.
"හා....යමු කෝ...."
“යේ ....... “සසිත් නැවත ගොස් සෙල්ලම් කාරය අතට ගත්f;a.
සුසුමක් හෙලූ යසිතා කල්පනාවට වැටුණාය.
ඔව් තමන් රණවිරු බිරිඳකි.පුතා රණවිරුවෙකු ගේ දරුවෙකි.එහෙත් ඒවා ඔප්පු කිරීමට නීතියෙන් සාක්ෂියක් නැත. නිසා සමාජය ඉදිරියේ තමනුත් පුතාත් හංවඩු ගැසෙන්නේ වෙනත් අයුරකිනි.
උසස්පෙළ අංශයේ පිපුණ මල් අතර යසිතා කැපී පෙනුනත් වටා කැරකෙන්නට  සමනලයන් බඹරුන් තැත් නොකළේ මල පිපී තිබුන කටු ගාලෙන් තම ජීවිත පවා අහිමි විය හැකි බව දැන සිටි නිසා .සූරිය බණ්ඩාර පවුලේ ඔද තෙද එක ගමකට පමණක් සීමා වූවක් නොවීය.දෙමාපිය ආරයට යමින් අසල්වැසි ගැමියන් පයට පෑගෙන දූලි ගානට සැලකූ අක්කාටත් නංගීටත් මැදි ඊට සහමුලින් වෙනස් හැසිරීමක් තිබූ යසිතා කාලෙකින් පවුලේ පිපුණ සුව මලක් විය. සුවඳට අයිතිවාසිකම් කියන්නට තරම් එඩිතර වූයේ පාසලේ ප්රධාන ශිෂ් නායකයා අති දක්ෂ ක්රීඩකයෙක් වූ තිවංක .
සූරිය බණ්ඩාර පවුලට ගැලපෙන බෑණෙක් වන්නට තමාට මේ ආත්මයේ නම් නොහැකි බව වටහාගෙන උන් ඔහු උසස්පෙල ප්රතිඵල එන්නටත් පෙර හමුදාවට බැඳුනේ මේ සම්බන්ධය ආරංචි වී යසිතා ඇඳිවත පිටින් නිවසින් ඇද දමන්නට පෙර ඇය තමන් ගේ හෙවණකට කැන්දන් යන බලාපොරොත්තුවෙනි. නමුත් සියළු සිහින සීල් තැබූ ලී පෙට්ටියක සිර වී ගමට එද්දී යසිතා ගේ කුසේ ඔවුන්ගේ ආදරය පණ ගසමින් තිබුණේය.  මහප්පලා, අත්තලා තමන්ගේ අයගේ ලේ වලින් පවා පවුලේ ගරුත්වයට සිදු වන්නට ගිය කැළැල් මකා ගත් බව කණින් කොනින් අසා තිබූ යසිතා එක හිතින් තීරණයක් ගත්තාය.මහ පාන්දරක ගමේ සියලු දෙනා නිදා සිටිය දී නිවසින් පිටත් වූ ඇය අපැහැදිලි කොළ කැබැල්ලක ලිපිනයක් බලාගෙන වසර ගණනක් පවුලේ ආවතේව කර ටික කලකට ඉහත දී උපන් ගමට ගිය සෙදිනා ගේ ගමට සේන්දු වූයේ හොඳට හවස් වෙද්දීය.
තමන් සේවය කළ මුළු කාලය පුරාම තමන්ට  කරුණාවන්ත වූ එක හාම්පුතා එක හිතින් බාර ගත්තත් මලින් උපන් කුමාරිකාවක් වූ ඇයට සැප පහසුකම් දෙන්නට නොහැකි සෙදිනා විස්සෝප වූවාය. ඇය හෙට අනිද්දා කුසෙන් හෑල්ලු වීම සෙදිනා මහා බරක් වූයේ මේ හද්දා පිටිසර හදිසියක් වූවොත් සපයන්නට කිසිම පහසුවක් නැති හෙයිනි.
යසිතා සෙදිනා ගේ දුර නෑයෙක් වූ සෙදිනා මෙන් ඇයට සැබෑ අම්මෙක් වූ මාරි නැන්දාගේ බාරයට පත් වුනේ නිසා . එතැන් පටන් මේ වනතෙක් අවුරුදු 6ක් දරුවාද සමග ඇය වෙසෙන්නේ මේ සෙවණේය.
ගෙදරින් එද්දී තමන්ගේ තේ කෝප්පය පවා හදා ගන්නට දැන නොසිටි ඇඳුමකට අණ්ඩයක් දමන්නට වත් නොදත් යසිතා මාරි නැන්දාට පින් සිද්ධ වෙන්නට ගෙදර දොර වැඩ උගත්තාය.මාරි නැන්දා කුලියට ළඟ පාත ගාමන්ට් වල පොඩි ඇඳුම් කෑලි මසා දුන්නාය. යසිතා ඉතා ඉක්මනින් කර්මාන්තයට හුරු වූවාය.දරුවා යන්තම් දණ ගාන වයසට දා පටන් මාරි නැන්දා කියන්නේ එක කතාවකි. ඇයට විවාහයක් වන්නටය.
"මට මිනිස්සු ඕන නෑ නැන්දේ"
"එහෙම කියල හරි යන්නෙ නෑ කෙල්ලෙ.ඔයාල දෙන්නට ආරක්ෂාවක් තියෙන්න ඕන.නාකි ගෑණියෙක්ට වත් ගෙදර වත් ඉන්න නොදෙන මේ කාලෙ දුව මෙහෙමවත්  බේරිලා ඉන්නෙ මගේ කට නිසා...."
ඒක මම දන්නවා නැන්දෙ.සෙදිනා නැන්දයි නැන්දයි නොහිටින්න අපි දෙන්න ජීවතුන් අතර වත් නෑ."
"ඒත් කෙල්ලෙ මටත් හැමදාම හයිය හත්තිය නෑ.මිනිහෙක් ඕනවට නෙවේ ඔය දෙන්නගෙ ආරක්ෂාව ගැන හිතන්න ඕන"
" එතකොට මගේ කොලු පැටියා මාව බලා ගනී"
යසිතා විහිළුවෙන් කියා දැම්මාය.
"ඒක තමා අනිත් කාරණේ.දැන් අම්මේ අත්තම්මේ කියන් ඇඟේ එල්ලුනාට හෙට අනිද්දා මේ දරුවාගෙ කර දඬු උස් මහත් වෙද්දි අපිට ආම්බාම් වෙන්නෙ නෑ.අන්න එදාට ඌට හරි පාර පෙන්නන්න තාත්තෙක් ඕන."
"පුතා ගැන තමා මට බය නැන්දෙ.පිට මිනිහෙක් අතින් මේ දරුවට වෙනස්කමක් වුනොත් මට දරා ගන්න බෑ"
"හැම මිනිහ එහෙම නෑ.අපි බලමුකෝ" කීප වරක් යසිතා සුදුසු තැනැත්තන් යෝජනා කර එක වදනින් ප්රතික්ෂේප වුවත්   මාරි නැන්දා උත්සාහය අත් හරින්නේ නැත.
"අර ගාමන්ට් එකේ ඇඳුම් දාන සාප්පුවේ අයිතිකාර මහත්තයා හොඳට ගේ දොර යාන වාහන තියෙනවා.හරි ගුණ යහපත්.කලින් කසාදයක් බැඳලා.දරුවො නෑලු.මහත්තයගෙලු වරද. නිසා නෝනට දික්කසාදෙ දීල කැමති කෙනෙක් බඳින්න කියල"
මෙතෙක් කිසි වුවමනාවකින් සවන් නොදුන් යසිතා අවධානයෙන් බැලුවාය. නම් තරමක් අසාමාන් සිද්ධියකි.
"දැන් මහත්තයා හොයන්නෙ දරුවො ඉන්න ගෑණු කෙනෙක්.තමන්ගෙ දරුවෙක් කරන් සලකන්න."
යසිතා කල්පනාව වැටුණාය.
"මමත් මේ  ගෙන්දගම් පොළවෙ හොඳට තෙම්පරාදුයි. එහෙම නරක කෙනෙක් හැරෙද්දි කියන්න බැරියැ මට" යසිතාගේ නිහඬතාවය එකඟ වීමකැයි වටහා ගත් මාරි නැන්දා එළඹුන දිනෙක ඔහුට ගෙදරට එන්නට ආරාධනා කළේය.කතාබහින් නම් රසික ගේ කියන්නට තරම් නරකක් යසිතා පෙනුනෙ නැත. මොන්ටිසෝරිය නිම වී සසිත සමග ඔහු ඉතා ඉක්මනින් කුළුපග වූයේය.ජීවිතයේ පළමු වරට වැඩිහිටි පිරිමියෙක් සමග ගැටෙන පුතා නොනවත්වා කතා කරන සිනාසෙන  අයුරු යසිතා විමසිල්ලෙන් බලා සිටියාය. රසික ඔහු ගේ වයසට සම වෙමින් සෙල්ලම් කරයි.කතා වලට හූමිටි තබයි. විවාහයක් ගැන ඇගේ හිතේ තිබූ දෙගිඩියාව මඳක් පහ ගියාක් වැනි හැඟීමක් දැනුනේය.
මාමා හොඳ  පුතේ ?" රසික පිටත් ගිය ඇසිල්ලේ මාරි නැන්දා සසිත ගෙන් ඇසුවේ මගුල් තුලාව ඉක්මන් කරන අදහසිනි.
 "හරි හොඳයි අත්තම්මේ" පොඩි එකා දිළිසෙන දෑසින් කියයි.
 " වුණා එයා මගෙ තාත්තා තරම් හොඳ නෑ"
ගැහැණු දෙදෙන විදුලියක් වැදුන සෙයින් ඔහු දෙස බැලූහ.
 "මගේ තාත්තා වීරයෙක් නෙ"
යසිතා යටි තොල හපා ගත්තාය.මහා වරදකාරී හැඟීමක් ඇයට දැනුනේය.ඇසට කඳුළු ගලා ආවේ නොසිතාමය.
ඔව් පුතාගෙ තාත්තා වීරයෙක්. වගේ වෙන කවුරුවත් නෑ" ඇය ස්ථිර ලෙස  කිව්වාය.

Comments