මනමාලි


               සෝමසිරි මහතා සමාජයේ වැදගත් යයි කියන පවුල් අතර මංගල යෝජනා සාර්ථක සිදු කරන්නට ප්රසිද්ධියක් බූවෙකිවෙනත් සමහරුන් මෙන් තමාගේ වාසිය තකා නැති ගුණ වැනීමක් හෝ ඇති වැරදි වැසීමක් නැති නිසා මගුලෙන් පසු වැහි නැති හෙණ ගහන කුලකයට ඔහු අයත් වූයේ නැත.අද ඔහු මේ යන්නේ කලක පටන් අඳුරන පාලිත මහතාගේ අක්කාගේ නිවසට .පාලිත මහතා පැවසූ අයුරිනුත් ඔහු  වටින් ගොඩින් සොයා බැලූ ලෙසිනුත් දෙමටවැව පවුල පලාතේ යමක් කමක් ඇති වැදගත් පවුලකි.මගුල් කපුකම සිදු කරන  පවුලේ බාල පුතා  පිළි ගත් රැකියාවක් කරන හොඳ දේපලක හිමිකම ඇති කියන්නට තරම් චරිතයේ  වරදක් නොමැත්තෙකි.එසේ තිබියදීත් ඔහු ගේ විවාහය ප්රමාද වීම අයහපත් කේන්ද්රයක බලපෑම වන්නට ඇතැයි සෝමසිරි මහතා නිගමනය කළේය.
               දෙමටවැව පවුලෙන් සෝමසිරි මහතා ඉහළ පිළිගැනීමක් ලැබුනේය.සතුටු සාමීචි ආගන්තුක සත්කාර වලින් පසු ඔහු කාරිය ඇරඹුවේය. "පාලිත මහත්තයා මම ගැන කියන්න ඇතිනේ...මම  නොගැළපෙන පවුල් බලෙන් ගලපන්නෙ නෑ.මේ මහත්තයා ගැළපෙන කීප දෙනෙක් මම තේරුවා.ම්ම්....මේක නුවර පැත්තේ පවුලේ බාල දුව, අයියලා දෙන්න ඉංජිනේරුවො.මේ දුවත් දොස්තර කෙනෙක්..."
" දොස්තරලා කියන්නෙ කොයි වෙලාවෙත් ලෙඩ්ඩු එක්කමයි. රැයක් දවාලක් නැති රස්සාව.අඩු ගානෙ සිංහල අවුරුද්දට වත් නිවාඩුවක් නෑනෙ.එහෙම කෙනෙක් අපේ පුතාට හරි යන්නෙ නෑ."මුල් වෙඩි මුරය පත්තු වුණේය.   
  "ඒක නම් එහෙම තමයි.එහෙනම් මේ යෝජනාව හොඳයි.මේ කිට්ටුව පාත. මනමාලි පෙරකදෝරුවෙක්. ටවුමෙ උසාවියෙ. හොඳ වැදගත් පවුලක්.දවල් දවස විතරයි වැඩ. හැමදාම උසාවි යන්න ඕනත් නෑ.කසාදෙන් පස්සෙ ඕන නම් ගෙදර office එකත් දා ගන්න බැරියැ" "ආපෝ........පෙරකදෝරුවො තමයි මිනිස්සුන්ට නැති ප්රශ්න ඇති කරන්නෙ.අපේ දුව බැන්ද පවුලෙත් බූදල් නඩුවක් තියෙනවා. පරම්පරා ගානක්.පෙරකදෝරුවො දෙන්නා කතා වෙලා කොහෙද නඩුව කල් දදා සල්ලි කනවා.අනිත් එක අපිටත් නීති කතා කරන්න එයි"
"එහෙනම් මේක බලමු.පවුලෙ එක දරුවා. ගොඩ මඩ දේපලත් හොඳට.ගෑණු ලමයාත් රූප රාජිණියක් වගේ" "රස්සාවක් කරනවද කපු මහත්තයා?"
"ඔව් ඔව් විශ්ව විද්යාල කථිකාචාර්යවරියක්. උපාධි තිබුනත් හැමෝට එහෙම තනතුරකට යන්න බෑ"  "අපේ නැන්දගෙ පුතා බැන්දෙත්  lecturer කෙනෙක්.international මට්ටමේ research කරන්නෙ.ගෙදර තුන් වේල කඩෙන් කාලා.කොස්සක් ඉදලක් අල්ලන්නෙවත් නෑ.PhD ඉවර වෙනකල් ළමයෙක් හදන්නත් බෑ කිව්වාලු."
               සෝමසිරි මහතාට සියුම් නොරිස්සුමක් නැග ආවේය." හරි එහෙනම්. කච්චේරියෙ වැඩ කරන දුවෙක් ඉන්නවා.කැමති තැනකට මාරු වෙන්නත් පුළුවන්.පරිපාලන සේවේ. පඩිත් හොඳයි.පහසුකම්, දීමනා,පිටරට ශිෂ්යත්ව හෙමත් තියෙනවා."
"මගේ යාළුවො කීප දෙනෙක් බැඳලා ඉන්නෙ ඔහොම executive level officers ලා.අවුරුද්දේ වැඩි හරියක් මීටින්, සෙමිනා, වර්ක්ෂොප් කිය කිය රට පුරා යනව.හිටි හැටියෙ මාසෙ හමාර රට යනව.කවුරු එක්කද යන්නෙ, එන්නෙ, මොනවද කරන්නෙ දන්නෙ නෑ.ඊළඟ promotion එක යන්න එකක් ඉවර වෙන්න එකක් ඩිප්ලෝමා, උපාධි කරනවා...අරුන් ගොන්නු වගේ උයා පිහාගෙන ලමයි බලාගෙන....." මනමාලයා හඬ අවදි කළේය.
එවර නම් සෝමසිරි මහතාට  දැනුනේ පුදුමයකි.පැරණි පරම්පරාව මොනවා කීවත් මනමාලයා දරන්නේ එවන් හණමිටි අදහස් නම්...... ඔහුට කතා කරන්නට වචන සොයා ගැනීමද අසීරු විය.
"ගෑණු ලමයි ලොකු ලොකු රස්සා වලට ගියා තමන් ගෙ මතේට වැඩ. කාටවත් කීකරු නෑ.ගෙදර දොරක වැඩක් පලක් කරන්නෙ නෑ.රස්සාව තමා ඔක්කොම. එහෙම සංකීර්න ජීවිත අපිට හරි යන්නෙ නෑ...... සෝමසිරි මහතාගේ නිශ්ශබ්දතාවයෙන් ප්රයෝජන ගෙන ඔවුහු කියාගෙන ගියහ .......අපි හොයන්නෙ බොහොම සරල සතියෙ දවස් 5 විතරක් උදේ ගිහින් හවස එන රස්සාවක් කරන මේ ගෙවල් දොරවල් බලා කියාගෙන උයා පිහාගෙන අපිට කීකරුව ඉන්න ගෑණු ළමයෙක්"
"පාලිත මහත්තයා කිව්ව විස්තර එක්ක මම අරන් ආවෙ මේ වගේ යෝජනා.ඔය කියන විදියේ යෝජනා හොයාගෙන එන්නම් ආයෙත්" යන්තම් වචන හොයා ගත් සෝමසිරි මහතා තුටු පඬුරු පසු ගන්නට තබා වත්තෙන් පිට වුනේ නැවත ගැන කතා කරන්නට වත්තට අඩියක් නොතියන අධිෂ්ඨානයෙනි.
ඉන්පසු කීප වරක් පාලිත මහතා මුණ ගැසෙන අවස්ථා මග හැර දුරකථනයට වත් පිළිතුරු නොදී හිටියත් කිට්ටු හිතවතෙක් ගේ ගෙදරකදී දෙදෙනා නැවත හමු වූහ. ගිය කතා අතරතුර දෙමටවැව පවුල ගැන කතාවක් ඇදුනේය.
" පුතාට කෙනෙක් හරි ගියා මහත්තයා"
"ඔය බැන්දෙ....." වචන වල එතරම් ප්රසන්නබවක් නොතිබිණ. "හොයල හොයල  සතියට දවස් 5යි දවසට පැය 8යි වැඩ කරන කෙනෙක් බැඳ ගත්තා. ළමයා උදේ ඉඳන් හැඩ වැඩ වෙලා තොරොම්බල් කරත්තෙ වගේ දණිහෙනුත් වියතක් උඩට ඇඳන් වැඩට යනවා.හවස වෙලාවෙ ඉඳන් මහන්සි කිය කිය එක්කො ටීවී බලනවා.නැත්නම් කනේ ඉයර්ෆෝන් ගහන් ෆෝන් එකේ වැඩ.සති අන්තෙට දවල් වෙනකල් නිදි. මදිවට තොරතෝංචියක් නෑ රණ්ඩු"
" මොකද රණ්ඩු?"
"නොගැලපීම නොගැලපීම.....පුතා ගෙ යාළුවො හිතවත්තු ඔක්කොම ලොකු ජොබ් වල බැඳලා ඉන්නෙත් එහෙම අය.මේ කෙල්ලට තමන් මදි වගේ.පුතා කවුරු හරි එක්ක කතාබහ කළොත් හිනා වුනොත්කෙල්ලට සැකේ."
"හ්ම් ඒකත් එහෙම "
"දැන් දෙතුන් පාරක් රණ්ඩු වෙලා සබ්බ සකලමනාව උස්සන් ගෙදර ගියා ලු.පුතා ගිහින් එක්ක ඇවිත් ලෝක ලැජ්ජාවට ඉවසන් ඉන්නවා.දැන් දුක් වෙනවා පවුල ලොකු රස්සාවක් කරන කෙල්ලෙක් ගෙ නම් ගෑස් බැලුවත් කමක් නෑ ලු"
Image result for couple ring hands

"ටොක්කක් කෑවත් රත්තරන් මුද්දක් දාපු අතකින් කන්න ඕන කියන්නෙ ඕවට තමා"

Comments