දිට්ඨ ධම්ම


ලකීෂා අපේ ඉස්කෝලෙට ආවෙ A/L bio කරන්න.එයාගෙ ගම සෑහෙන්න දුරක වුන නිසා ලඟ බෝඩිමක නැවතුනා. සති අන්තෙ ලකීෂා අපිත් එක්ක ටියුෂන් class එකටත් ආවා.
 අපේ physics sir මයික් එකෙන් වුනත් ලමයි 3000කට විතර කථා කරල මහන්සි වුනා අයින්ස්ටයින් වත් හදා ගන්න බැරි විදියෙ ගානක් බෝඩ් එකේ දාලා විනාඩි 5-10 interval එකක් ගන්නවා.ඊට පස්සෙ ඇවිත් පියවර 4-5කින් අපි දන්න සූත්තර ඔක්කොම දාලත් හදා ගන්න බැරි වුන ගාන හදද්දි හරිම දුකයි.
කෝ ....මේක හරි කාගෙද?” අහද්දි හැමදාමත් අත ඉස්සුනේ පිටිපස්සෙ පේලි වල හිටිය අකිල, විශේන්, හසිත් වගේ පිරිමි ලමයින්ගෙ.ඒත් ඉතින් අපිත් පරාජය බාර ගන්නෙ නෑ.කවදාහරි try try trt one day you can fly හිතාගෙන වැඩ. එදත් එහෙම ගානක් දීල සර් එලියට ගියා.අම්මෝ ඒක නම් කොහෙත්ම හිතා ගන්නවත් බෑ.සර් ඇතුලට ඇවිත් පුරුදු විදියටම ගාන හැදුවා.කාගෙද හරි කියලා පන්තිය පුරා ඇස් යවද්දි අපිත් අංශක 90කටත් වඩා බෙල්ල කරකවල පිටිපස්ස බැලුවෙ සුපුරුදු දස්කමක් බලන්න. “කෝ ....කාගෙවත් හරි නැද්ද...?” සර් පුදුමයෙන් වගේ ඇහුවා.
අහ් එහෙනම් වැඩ්ඩන්ටත් බැරි ගනන් තියෙනවා. අපි ආයෙත් ඉස්සරහ හැරුනා.ඉස්සරහ පේලියකින් කෙට්ටු පුංචි අතක් එසවිලා.හෑ…….. කවුද ඒ…… ගෑණු ලමයෙක්! ඔව් අපේ ලකීෂා!! සර් stage එකෙන් පහලට බැහැලා ඇවිත් ලකීෂාගෙ පොත අතට ගත්තා.”ඔයා මටත් වඩා පියවරක් අඩුවෙන් හදලා නෙ. very good” එදා තමයි දවස.මුළු tution center එකේම මාතෘකාව ලකීෂා. class එකේ පුරුෂාධිපත්යය බිඳ දැමූ මහා වීරවරිය.!!!
ලකීෂාගෙ දක්ෂකම අනිත් පන්ති වලදිත් කැපී පෙනුනා.පලවෙනි වාර විභාගෙන් ඉඳන් එයා section එකේ පලවෙනියා වුනේ subjects 3ටම වැඩි ලකුනු අරන් ලොකු lead එකකුත් එක්ක.මේ අවුරුද්දෙ නම් අපිට island rank එකක් ලැබෙන බව හැමෝටම sure. පන්තියෙ කොල්ලො අතරෙ sports වලින් international tours පවා ගිය කොල්ලෙක් කිත්මල්. මිනිහා class ආවෙත් අවාරෙට.දවසක් අපි කට්ටියම ඉන්න තැනට කිත්මල් ආවා.
ලකීෂා .....මට කොහොම හරි first time S 3ක් වත් දා ගන්න ඕන.අකිලයි නවියායි chemistry physics කරල දෙන්නම් කිව්වා.ඔයාට පුලුවන් bio ටික ගොඩ දාල දෙන්න.” ඉල්ලීමෙ කිසි ඇදක් පලුද්දක් පෙනුනෙ නෑ.ඉගෙන ගන්න වගේ කෙනෙක් කියා දෙන්නත් ලකීෂා හරි දක්ෂයි.කිත්මල් පාඩම් කියා දෙන්න වුනායින් ලකීෂා අනිත් යෙහෙලියන්ගෙන් මග හැරුනා.class එකට කලින් එන්නත් පරක්කු වෙලා යන්නත් interval එක පවා කිත්මල් එක්ක ගත වෙන්නත් පටන් ගත්තා.ටික කාලයක් යද්දි bio වෙනුවට වෙන දේවල් දෙන්නා අතරෙ කතා වෙන බව හැමෝටම ඉව වැටුනත් ඒකෙ වරදක් කියන්න බැරි ලකීෂා ගෙ පුරුදු දක්ෂතා විදියම නිසා.
A/L විභාගය ආවා. මොකක්දෝ අඩුවක් තියෙන බව දැනුනත් ඒක හරියට තේරුනේ දවස් 3-4ක් යද්දි.ලකීෂා විභාගෙට ඇවිත් නෑ.....!!! මොනවා මොකද අසනීපයක් වෙන කරදරයක් එයා එක්ක නැවතිලා හිටිය අයත් දැනගෙන හිටියෙ සතියකට විතර කලින් එයා ඔක්කොම බඩු මුට්ටුත් අරන් ගෙදර ගියා කියන්න විතරයි.මේ ලමයට මොකක් වුනාද සමහර දක්ෂ ලමයින් වගේ අන්තිම මොහොතේ විභාග භීතිකාවක්වත් හැදුනද අපිට ආරංචියක් හොයා ගන්න කිසිම විදියක් තිබුනෙ නෑ.
කාලය ගත වුනා.results out වුනා.අපි කලින් හිතුව විදියට class එකේ bright පිරිමි ලමයි ටික තමයි හොඳ ranks වල.අනේ ඉතින් අපේ කෙල්ලත් ලිව්වා නම්..... A B අකුරු නැතත් අපිත් class එක පැත්තෙ ගියා results කියන්න.අලුත් ලමයින් පංති පටන් අරන්.rank ගත්ත ලමයි ලව්වා එයාලට දේශනයක්.මමයි දෙව්නි යි එලියට වෙලා සර් එනකල් බලා හිටියා.
අරූ ගෙන් අපි කොහේද ඉල්ලන්නෙ පාටිය.”අපි පිටුපාල හිටිය කීප දෙනෙක් කතා වෙනව. “Grand පාටියක් ඉල්ලමු. අකිලයා ගෙන් මට පොරොන්දු වුන ගාන ඉල්ල ගන්න ඕන.ඌට අරකිගෙන් තිබුන challenge එක නැති කරල දාන්න මම කොච්චර කට්ටක් කෑව .” කටහඬ කිත්මල් ගෙ.දෙව්නි මගේ  අතින් තද කරල අල්ලගෙන මාව ඇදගෙන පාරට ආවා.
මෙ ඔක්කොම උන්ගෙ plan එහෙනම්.......
කැම්පස් යන්න අදහසක් නොතිබුන නිසා මම නර්සින් ගියා. පලවෙනි පත්වීම අනුරාධපුරයෙත් ටිකක් ඈතකට.අඩු පහසුකම් වලින් උපරිම සේවය සලසන්න කැප වුනා නිවාඩු කියන්නෙ අපේ හෝඩියෙන් ගිලිහුන වචනයක් විතරක් වුනා.දුව ඉන්නෙ අනුරාධපුරේ කිව්වම ගමේ අය අටමස්ථානෙ දවස ගානෙ වඳිනවා ඇති හිතුවට මේ ගත වුන අවුරුදු 2 1/2 මම රුවන්වැලිසෑයට ගියෙ දෙපාරයි.වදෙන් පොරෙන් වරුවක නිවාඩුවක් අරන් තාත්තා වෙනුවෙන් බාරයක් වෙන්න දිනාලි ත් එක්ක මම මලුවට ආවා.
 සුමාලි අක්කේ……! “
මේ රජරට මට එහෙම කතා කරන්නෙ කවුද අහ්....මමත් එක්ක school van එකේ ගිය හිරුනි නංගි. “Preshoot එකට places බලන්න ආව ගමන් .මට නම් ඕන වුනේ නුවරඑලි පැත්තෙ ගන්න.මෙයාට නිවාඩු නෑනෙ. මෙයාගෙ යාළුවන්ට නම් හොඳ පල්ලම. ඔක්කොම පාටි වලට එන්නෙ මෙහෙ.” හිරුනි ගෙ මෙයා කවුද බැලුව මගේ ඇස් උඩ ගියා.
අකිල!!
එහෙන් මෙහෙන් කතා කරල අපි වෙන් වෙලා ආවා.අපි අනුන්ගෙ දෙමාපියෝ සුවපත් කරද්දි අපේ දෙමව්පියන්ට දෙවියන්ගේ පිහිටයි කියන එක තව දුරටත් ඇත්ත නොවී තාත්තාට හොඳටම අමාරු වෙලා.කොහොමින් හරි නිවාඩු දවස් 3ක් හොයාගෙන මම ගෙදර දිව්වෙ ඔලුව ගිනි අරන්.අඳුනන අය කීප දෙනෙක් hospital හිටිය නිසා උදව් ත් අරන් තාත්තාට යන්තම් සනීප වුනා මම ආයෙත් එන්න පිටත් වුනා. දවස් ටිකේ තියෙනවද වත් නොබලපු ෆෝන් එක on කරද්දි missed calls ගොඩක්.5ක් හිරුනි ගෙන්.අනිත් අතට call කලත් උත්තරයක් නෑ.
මගෙ නවාතැනේ කඩුල්ල ගාවදි පාල මුන ගැහුනා. “මිසී මේ එන ගමන් ?මෙ දවස් ටිකේ මෙහෙ හරි ජංජාල.” දෙන්නෙක් අතරේ උස් හඬින් කතාවක් ගියත් පාලට ජංජාලයක්. “මහත්තුරු දෙන්නෙක් මහ රෑ හොඳටම බීලා මෝටර් සයිකලේ ගහක හප්පගෙන ඉස්පිරිතාලෙට ගෙනාවා.වාහනේ කුඩේ කුඩු.දොස්තර මහත්තයෙකුත් වෙලා මේ හැටියට බීල තියෙන්නෙ.” මගෙ ඇස් ලොකු වුනා.මම එහෙම hospital එකට දිව්වා.
“ඒ දොස්තර එවෙලෙ අපේ සර් ගෙ වාහනෙන් අනුරාධපුරේ ගෙනිච්චා.එහෙනුත් කොළඹ යැව්වාලු.අනිත් කෙනාටත් සෑහෙන්න අමාරුයි.”
  අනිත් කෙනා දැක්ක මගෙ ඇස් ලොවි ගෙඩි තරම් වෙන්න ඇති. කිත්මල්!! ක්රිකට්, ෆුට්බෝල්, වොලිබෝල්, බැඩ්මින්ටන් ඔක්කොම කෙරුව සුපිරි ක්රීඩකයා අද නැගිට ගන්න බැරුව ඇඳක.එයා ගැන තිබුන ඔක්කොම තරහවල් අමතක වෙලා අමාරු ලෙඩෙක් ගැන ඉපදෙන අනුකම්පාව මතු වුනා.තියෙන සීමිත පහසුකම් උපරිමෙන් යොදාගෙන අපි එයා වෙනුවෙන් සෑහෙන මහන්සියක් ගත්තා.
කිත්මල් ගෙ ගෙදර අයට එයා ගෙනියන්න ඕන වුනත් මේ තත්වෙන් එයා හොල්ලන එකත් භයානකයි ලු.
ඔන්න බේත් වලින් කරන්න පුළුවන් උපරිමේ කලා.දැන් තියෙන්නෙ physiotherapist කෙනෙක් ගෙ වැඩ ටික.”
 මේ ඉස්පිරිතාලෙට කවදාවත් නොලැබුන තවත් සම්පතක් .
එක අතකට මේ ලෙඩා හරි වාසනාවන්තයි.”
 මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මොකක්ද වාසනාව කියල අපි පුදුමයෙන් doctor දිහා බැලුවා.
අනිද්දා මගේ junior කෙනෙක් එයාගෙ wife එක්ක මෙහෙ වැඩ බාර ගන්නවා. wife තමා මෙහෙ මුල් physiotherapist වෙන්නෙ.”
කිත්මල් දෙපයින් හිටවන දේවතාවි පිලි ගන්න අපි ලෑස්ති වුනා. දෙන්නා වාහනෙන් බැහැලා එද්දි මම ආයෙත් පුදුමයෙන් ගල් ගැහුනා.
දෙයියනේ..... ලකීෂා...... මට physics class එකේ උගන්වපු තියරියක්  ආයෙත් මතක් වුනා. සෑම ක්රියාවකට සමාන වූත් ප්රතිවිරුද්ධ වූත් ප්රතික්රියාවක් ඇත.

Comments