කොහෙන්ද ගත්තේ


දිනේෂා ගේ කාර්යාලයේ අයගෙන් ලස්සනට ඇඳුම් අඳින්නේ ටානියා .එහෙත්  කවුරුන් හෝ "හරි ලස්සනයි, කොහෙන්ද අනේ ගත්තේ මේක" ඇහුවොත් හැමදාමත් ඇය ඔමරි පපා "අනේ මගේ කසින්  ෆ්රාන්ස් වලින් එව්වේ" කියයි.මේ කසින් එක්කෝ ආන්ටි, granny හෝ වෙනත් නෑදෑයෙක් වීමට ත් රට ඉටලි, ඉංග්ලන්ඩ්, USA ආදී ලෙස වෙනස් වීමටත් හැකිය.
"ටානියා ගේ නෑයෝ ඔක්කොම වැඩ කරන්නේ  පිටරට වල   රෙදි සාප්පු වල කොහෙද. නැත්නම් මෙහෙම හරියට ගැලපෙන ඇඳුම් එවන්නේ කොහොමද" ඇය අසලක නැති වේලාවන් වලදී අනෙක් අය කතා වූහ.නමුත් ඔවුහු තමන් යනෙන කඩ සාප්පු වල ඇය අඳින වර්ගයේ ඇඳුම් සොයන එක නොනවත්වා කරගෙන ගියහ.
"ඔයා දන්න තැනක් නැද්ද සාරි blouse නීට් එකට මහන?"
කාර්යාලයට අලුතින් අසෙනි දිනක් දිනේෂා ගෙන් ඇසුවාය.
"අපේ පහල ගෙදර අක්කා වෙඩින් වලට එහෙම මහ ගන්න තැනක් නම් තියෙනවා, හැබැයි ගාන නම් වැඩියි"
"මටත් වෙඩින් එකකට අඳින්න තමයි.නීට් එකට අලුත් පැටන් එකකට මහනවා නම් ගාන ටිකක් වැඩි වුනත් කමක් නෑ. Blouse එක අප්සෙට් ගියොත් සාරියේ ලස්සන වත් පේන්නේ නෑ"
"හරි අසෙනි,මම එයාගෙන් අහලා ඔයාට number එක දෙන්නම්"
සාරි blouse මහන තැන ගැන සිහි වී දිනේෂා මතකයක් සිහියට ආවේය.ලොකු අක්කා විවාහ වී ගෙදරින් පිට වූ පසු දිනේශා  ගේ shopping mate පහල ගෙදර සෙව්වන්දි . පසුගිය ඉරිදා ඇය දිනේෂා සමග ඇය  මහන්නට දුන් සාරි හැට්ට 2ක් ගේන්නට ගියාය.බසයෙන් බැස අතුරු පාරක ටික දුරක් ගොස් මහා කන්දක් තරණය කර මහන ස්ථානයට යා යුතු විය.
"හම්මෝ,කොහෙන්ද බන් අක්කේ මෙතන හොයා ගත්තේ?" දිනේෂා කන්ද බාගයක් නගිද්දී හති දාන්නට විය.
"මෙතන වැඩිය කවුරුත් දන්නේ නෑ.හැබැයි නියමෙට මහනවා"
කුඩා කඩ කාමරයක් වූ එහි මසා අවසන් කල ඇඳුම් ගනුදෙනුකරුවන් එනතුරු hangers වල එල්ලා  පොලිතින් කවර වල දමා බිත්තියේ එල්ලා ඇත.සෙව්වන්දි හැට්ට ෆිට් ඔන් කර ගනුදෙනු පියවන තෙක් දිනේෂා ඒවායේ හැඩ බැලුවාය. අද ටානියා කොමල කරමින් ඇඳගෙන යන්නේ ඇඳුමක් බව මතක් වූ දිනේෂා තනියෙන් සිනහ ගියේය."මෙහෙයි මෙයාගේ නෑයෝ ඉන්නේ එහෙනම්"
දිනේෂා ලොකු සිතුවිල්ලක පැටලුනාය.කරන්නට දෙයක් නැති නිසා සාප්පු වලින් අරන් ඇන්දාට ඇඳුම් එක්කෝ ලොකු .පොඩි .කොට  . දිග .එක්කෝ ඇත්තේ අකමැති පාට වලිනි.සමහර ඇඳුම් වලට ගෙවන ගාන හොඳට වැඩිය. ඔක්කොටම වඩා සමහර විට හිතට අල්ලන ඇඳුමක් මුළු දවසම ඇවිද්දත් සොයා ගත නොහැක. මේ නිසා හොඳ තැනකට දී තමන් කැමති පාට වලින් ඇඟේ ගානට හරි යන්නට මස්සවා ගන්නට දිනේෂා සිතුවේ වරක් දෙවරක් නොවේ.නමුත් සෙව්වන්දි සාරි හැට්ට දෙකට ගෙවූ ගණන දුටු දිනේෂා ගේ ඇස් උඩ ගියේය.සාරි හැට්ට වලට එහෙම නම් අනෙක් ඇඳුම් වලට ගන්න ගාන සිතා ගත හැක.
"ගන්නෙත් නැතුව මස්ස්වන්නේ ත් නැතුව වෙන විදියක් නැද්ද"
"ඉතින් මහ ගන්නවකො"දිනේශා ගේ සිත ඇතුලෙන් හඬක් නැගුනේය.
"මහන්න මේ මං"ඇය තමන්ට සිනාසුණාය.
"ඇයි සාප්පු වල තියෙන්නේ කවුරු හරි මවලා .මහන අය කරන්නේ මැජික් ?" ආයෙත් මුල් හඬ අසයි.
සමහර ඇඳුම් වලට ගෙවූ ගැන ගැන සිහිපත් වෙද්දී දිනේශා මහන්නට සිතුන වාර අනනතය.එහෙත් මැහුම් පාඨමාලවකට වැය  කරන්නට ඇයට කාලය නැත. ඊටත් ඒවා වල කියාදෙන පරිදි නිදන ඇඳුම් මෝස්තර 5 සිට made up කැන්ඩියන් දක්වා ඉගෙන ගන්නට ඇයට ඕනා නැත.
ඇයට මහන්නට ඉගෙන ගන්නට සිතුනේ කාර්යාලයේ නත්තල් සාදය දා .එදා ටානියා ඇඳන් ගවුම පුදුම ලස්සනකි. දිනේෂා දන්නා තැනින් වත් ගවුම නම් මැහුවා විය නොහැක."අනේ...හරි ලස්සනයි,ටානියා."දිනේෂා කීවේ අවංකව . "මගේ කසින් ඉටලි වලින් specially design කරලා එව්වේ මේක.මෙහෙ කොහේද මේ වගේ ඒවා ගන්න තියෙන්නේ"සියලු දෙනා ගේ වර්ණනා වලින් එදා වෙනදා ටත් වඩා පිම්බි සිටි ටානියා මොනරියක මෙන් අඟර දඟර කරමින් හිස ගස්සාගෙන යන්නට ගියාය.
හැමදා පිළිසරණ මෙන් මෙවර ගූගල්  දෙයියන්ගේ පිහිට පතන්නට දිනේෂා සිතුවාය. ඇය සිතුවා නිවැරදිය.මුල් පියවරේ සිට මහන හැටි මහන මැෂිමක් හසුරවන හැටි ගැන සරල වීඩියෝ ගණනාවකි.වෙනදාට සින්දු හා චිත්රපට download කල ඩේටා වලින් ඇය සරල සාය මෝස්තර කීපයක් හා blouse මෝස්තර කීපයක් මහන අයුරු මුල සිට කියා දෙන වීඩියෝ මහන මැෂිමක වැඩ කරන අයුරු කියාදෙන වීඩියෝ කීපයක් download කලා .
තත්පරයක් ගානේ රිවයින් කරමින් නැවත නැවත නැරඹුවාය. අක්කා කලින් ඇඳ අයින් කල කපු සාරි 2-3ක් ගෙන වැඩ ඇරී පසු වැඩට බැස්සාය.
මිමි ගැනීම වැරදුණේය.රෙද්දේ ඇන්ද ඉරි වැරදුණේය.නුහුරට කැපුනේය. ඉඳිකටු කීපයක් කැඩුනේය.මැෂිමේ පටිය කැඩුනේය. නූල් ගුලි ගැසුණේය.මහන මැහුම් නයා ගියේය. ඒත් එදා ටානියා ගේ ආඩම්බර මුහුණ මතක් වෙද්දී දිනේෂා නවත්තන්නට සිතුනේ නැත.මාස කීපයක් ගත වෙද්දී යන්තම එලියට අඳින්නට පුළුවන් මට්ටමේ සායක්  මසා ගැනීමට ඇයට හැකි විය.එය ඇන්ද දවසේ ඇයට දැනුනේ හොඳම නිළිය සම්මානය ගත්තාක් වැනි හැඟීමකි. සතුටෙන් දිරිය ගෙන සාප්පුවකට ගොස් අලුත් රෙදි ගෙනත් එක් එක් මැහුම් පාරක් දිගේ අල්පෙනෙති ගහමින්,බොරු නූල් අදිමින් කාර්යාලයට අඳින ඇඳුමක් මසා ගත්තාය.එය ඇඳන් ගිය දවසේ කිසි කෙනෙක් අනේ හරි ලස්සනයි කිවේ නැතත් දිනේෂා හැඟුනේ මුළු ලොව තමන් දෙස බලා සිටින්නාක් ලෙසය.මෙලෙස කිසිවෙකුට නොදන්වා ඇය තමන් ගේ ඇඳුම් තමන් මසන්නට පටන් ගත්තාය.කාගේවත් වර්ණනාවකට ලක් නොවුනාට වෙනදා ඇඳුම් වලට වැය කල මුදලින් බොහෝ ප්රමාණයක ඉතිරියක් ඇති බව ඇයට තේරුනාය.
"අනේ හරි ලස්සනයි..."මෙවර ඇගයීම ටානියා ගේ නත්තල් සාදයේ ඇඳුමට නොවේ.
 "කොහෙන්ද දිනේෂා ගත්තේ"
"මගෙත් කසින් කෙනෙක් රට යැව්වා  මෙයා"දිනේෂා ටානියා  රඟ පා කීවාය.
"ගූගල් දෙය්යෝ ළමයිනේ, ගූගල්   දෙය්යෝ."ඇය නැවතත් සිනා සී කීවාය.

Comments