පෝසත්තු


තුන වසර මිස්ගෙ අළුත් කණ්ඩායම් බෙදිල්ල නිසා සමින් ඉඳ ගන්න සිද්ධ වුනේ සහස් ගාව.අවුරුදු 2ක් දුකට සැපට ළඟ හිටිය යාළුවා දුරස් වුන එක ගැන සමින් සෑහෙන්න දුක් වුනත් පළාතෙ හිටිය ලොකු පොහොසතෙක් ගෙ පුතා තමන් ගෙ පුතාගෙ යාළුවෙක් වුන එක ගැන සමින් ගෙ අම්මා මයුරි නම් හිටියෙ හරි සන්තෝසෙන්.ටික දවසක් යද්දි යාළුවා වගේ මේ යාළුවාත් හොඳ වෙලා සහස් ගෙ ගෙදර ඇවිත් යන්න ආරාධනාවකුත් සමින් ලැබුණේය.සහස් ගෙ ගෙදර ගිහින් මොහොතේ පටන් මයුරි කියන්න කතා සාගරයකි.
 "අම්මෝ ගෙයක් නෙවේ ඒක මාළිගයක්.අපේ මුළු ගෙදර හදන්න ගියාට වඩා සල්ලි යන්න ඇති එක කාමරයකට" "බිස්නස් කාරයන්ට බැරි යැ ගෙවල් හදන්න ඕන ඕන හැටියට" සැමියා කට කොනින් සිනාසුනේය.
"මිදුල ඊට එහා.තරු පහේ හෝටලයකට හොඳයි.ස්විමින් පූල් එකකුත් තියෙනවා"
 "අම්මලා එහෙ ගියා වගෙ නෙවේ එයාලත් මෙහෙ එන්න හිටියොත්" ලොකු දුව  කීවාය.
මයුරි ගැස්සී ඇය දෙස බැලුවාය. "ඉතිං මොකක් වෙනවද? අපි වගේ මිනිස්සු එයාලගෙන් බඩු ගත්තෙ නැත්නම් හදයි එහෙම ගෙවල්"
මයුරි එතරම් බය වුණ දිනය උදා වුණේ අළුත් යාළුවාට තමන්ගේ ගෙදරත් පෙන්වන්නට සමින් තීරණය කළ නිසා .මයුරි සෑහෙන වෙහෙසක් වී නිවස අස් පස් කළාය. පරිස්සමට තැබූ පිඟන් සෙට්, මේස රෙදි එළියට ගත්තාය. කිලෝමීටර් ගණනක් දුර ගොස් අක්කලා ගේ ගෙදරින් අළුත් තිර රෙදි ඉල්ලාගෙන ආවාය. සහස්ට වඩා ඇයට ප්රශ්නය තවම දැක නැති ඔහුගේ මව ඉන්දිරාට ආගන්තුක සත්කාර කිරීම .එදා එහි ගිය දවසේ ඇයට මොකක්දෝ රැස්වීමකි. ඇය සමින්ගේ වෙනත් යහළුවන්ගේ මවක නොවේ. සුප්රසිද්ධ ව්යාපාරිකයෙකුගේ බිරිඳකි. තමන්ට වඩා බොහෝ ඉහල සමාජයකය.
 "අනේ හරියට මහන්සි වෙලා" ඉන්දිරා මඟුල් මේසයක් පැරදවූ කෑම මේසයට ඉඳ ගත්තාය.
" මොන මහන්සියක් ගෙදරට එන කෙනෙක් කෑම ටිකක් දෙන එක" රෙසිපි පොත් පෙරළමින් දවස් ගානක් ඇඹුල් තියල්, බටු මෝජු ඒදමින් ඊයේ රෑ සිට සිදු වුන මහන්සිය අමතක කරමින් මයුරි කීවාය.ඉන්දිරා මේසය මැද වැජඹුන කහ බත අමතක කර එයට තනියට මෙන් තැබූ රතු කැකුළු බතින් හැන්දක් බෙදා ගෙන සහස් වෙනුවෙන් උයා තැබූ අල කිරි හොද්දට අත යවනු දුටු මයුරි කලබල මේසය අසලට ඇදුනාය.
"නිකංම නෙ කන්නෙ.මේ අච්චාරුවෙන් ටිකක් බෙදා ගන්නකො"
"මුකුත් හිතන්න නම් එපා.මහත්තයටයි මටයි තෙල්,මිරිස්,සීනි හොඳ නෑ.මහත්තයා නම් බේතුත් බොනවා.මම මේ කෑමෙන් පරිස්සම් වෙලා අඩු කර ගන්න බලන්නෙ"
මෙපමණ මහන්සියෙන් ඉවූ බොහෝ කෑම බීම වාරණය යටතේ කැපී යන බව දැනීමෙන් මයුරිගේ කට ඇද ගියේය. අල්ලපු ගෙදර අක්කා ලවා සාදවා ගත් වටලප්පම ටත් වෙලාව එනතුරු ශීතකරනයේ කල් බලන අය්ස්ක්රීම් බඳුනටත් අත් වන ඉරණම දුටු ලොකු දුව වත්තේ ගස්ලබු ගස් ගැන හිතමින් එළියට බැස්සාය.
"මේ පුතා විතර ඉන්නෙ?" ඕපාදූප අප්රිය කරන සැමියා පරිසරයේ තත්වය සමනය කරන්නට සිතා ඇසුවේය. "නෑ ලොකු පුතා කොළඹ ඉස්කෝලෙ යන්නෙ. හොස්ටල් නවත්තලා.මෙයාවත් දා ගන්න බලන්න ඕන.............හුඟක් වෙලා ඉන්න බැරි එකට සොරි.මෙයාව ස්විමින් ක්ලාස් එක දාලා මට දහම් පාසලක තෑගි බෙදා දීමකට යන්න ඕන.ආරාධනේ නම් මහත්තයට.එයාට පැය 24ත් මදි බිස්නස් කරන්න ගියා .මම තමා ඔක්කොටම දුවන්නෙ"
මවත් පුතාත් පිටත් යන හැටි බලා සිටි මයුරි ආපසු හැරුණේ වාහනයේ බැබළීමෙනුත් ඉන්දිරා ගේ ඇඳුම් පැළඳුම් කන කර වල උජාරුවෙනුත් ගිනි කණ වැටීගෙන .
 "සහස් ලා හරි පව් නේද අම්මෙ" යහළුවා යන තුරු අත වනමින් සිටි සමින් ඇසුවේය.
"...."
 "ලොකූ ගෙයක් තියෙනවා.කාටවත් ඒකෙ ඉන්න වෙලාවක් නෑ.රස රස කෑම කන්න ඕන තරම් සල්ලි තියෙනවා. වුනාට කන්න හොඳ නෑ.සහස් කිව්වා එයාල 4 දෙනා එකට පන්සල් වත් ගිහින් නෑලු"
මයුරි සමින් දෙස බැලුවාය.තමන් කොපමණ පෝසත් දැයි සිතුවාය.

Comments