කිරි සිහින


සහනි ගේ ත් රසික ගෙ ත් විවාහයට දැන් වසර  5කට ආසන්නය.විවාහ වූ මුල් දවස් වල නෑදෑ හිත මිතුරන්ගෙන් තව නැද්ද වෙනසක් නැද්ද යන ප්රශ්නයට ඔවුහු සිය දහස් වර උත්තර දුන්හ.වසරක් පමණ ගත වෙද්දී අර ඩොක්ටර් හොඳයි.මේ වෙද මහත්තයා ළඟට යන්න.අහවල් දේවාලෙට බාර වෙන්න මේ පූජාව කරන්න යන මන්ත්රයට වැඩි පුර මූණ දුන්නේ සහනි .මුල දී ගණන් නොගෙන සිටියාට පහු පහු වෙද්දී සියළු පිළියම් අනුගමනය කළහ.නමුත් ජීවිතයේ අන් සියළු සිහින සැබෑ කරගත් ඔවුන් මාපිය සිහිනය තව බොහෝ දුර බවකි.මේ වෙද්දී කටවල් තමන් වඳ ගැහැණියක් ලෙස හංවඩු ගසා ඇති බව සහනි දනියි.මේ හේතුව නිසා ඇය රැකියාවෙන් පවා අස් වන්නට කල්පනා කලාය.ඔයාට නම් මොන ප්රශ්න කාට ඔච්චර හම්බ කරනවද ආදී වචන පවා ඇගේ හදවතට දැනුනේ පිහි තුඩු මෙනි.
 "ඔයාට කන්න අඳින්න දෙන්න මට කිසි ප්රශ්නයක් නෙවේ.ඒත් ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ඉන්න ගියා ඕක හිතල ඔයා තවත් වැටෙයි".රසික කියන්නේ ඇත්තක් නිසා සහනි අදහස අත් හැරියාය. කාර්යාලයේ සහනි ගේ අල්ලපු මේසයේ සිටියේ සහනි ගේ දෙමව්පියන්ටත් වඩා ඇගේ ප්රශ්න ගැන වද වූ ගැන නිරන්තරයෙන් විමසූ විශ්රාම යාමට ආසන්න සිටි තැනැත්තියකි. ඇය විශ්රාම ගිය දා සහනි දුකකට වඩා දැනුනේ සතුටකි.
හිස් වූ මේසයට ආවේ කාර්යාලයට මාරුවක් ලබා පැමිණි ආශා .ඇය වැඩි කතාවක් බහක් නැතත් වැඩි කල් නොයා සගයෝ ඇගේ විස්තර ත් සොයා ගත්හ.
"ආශා පරක්කු වෙලා මැරි කරන්න ඇත්තෙ.බබාල පොඩියි තාම."
"බබාල තුන් දෙනා අතරෙ අවුරුද්දක වගේ පරතරයක් තියෙන්නෙ"
 "අපෝ එහෙම ළඟ ළඟ ලමයි හදන්න හොඳ නෑ.අම්මාටයි බබාලටයි දෙගොල්ලන්ට "
 "ආශා නම් කිසි අඩුවක් වෙලා නෑ.ඔය ඉන්නෙ ගිනි කිරිල්ලි වගේ"
 "හහ් පරිස්සන් වෙයන් ඕව කියද්දි.මහත්තයා ආමි එකේ ලු.උඹට හම්බ වෙයි"
 වැඩි කල් නොයා ආශා සහනි ගේ හොඳ මිතුරියක් වූවාය.ඇය සහනි ගේ දරු ප්රශ්නය ගැන හාරා හාරා නොඇසුවාය. ගැන අනෙක් අයගේ කතා වැඩි හිතවත් කමට ඇගේ කනේ නොතැබුවාය.කල යුතු පිළියම් ගැන නොකීවාය. රට රකිනා විරුවෙකුගේ පවුල රැක ගන්නා වීරවරිය වූ ආශා ඉතා උත්සාහවත් සියලු කටයුතු තනි කර ගත්තාය.ඇය දිනක් සහනි ඇමතුවාය.
 "නංගිලා මේ සති අන්තෙ මොනව හරි වැඩක් දා ගෙන ?"
".....නෑ අක්කා ඇයි?"
"අපේ දුව ගෙ කිරි දානෙ තියෙනවා.හස්බන්ඩ් ගෙ නිවාඩු අන්තිම මෙහොතෙ කැන්සල් වෙලා.....ඔයාල දෙන්නට පොඩ්ඩක් ඇවිත් උදව් කරන්න පුළුවන් වෙයි මට" සහනි බලා සිටියේ විස්මයෙනි.තමා උදේ දැකීමටවත් අකමැති කිසි සුබ දේකට තමන් එනවාට අකමැති මිනිසුන් අතරේ ඇය කිසි උත්සවයකට සහභාගි වීම නවතා බොහෝ කල් .
"මං මං ආවට....".ඇය ගොත ගැසුවාය.
 "අනේ ප්ලීස් නංගි. ලොකු උදව්වක් කරදර කරනවට සොරි. මට තුන් දෙනා බලාගෙන ඕක කර ගන්න අමාරුයි."
 "අනේ අපි එන්නම් අක්කේ.කිසි ප්රශ්නයක් නෑ ............."
පොඩි උන් තිදෙනා රසික සමග යහළු වුනේ බොහෝ කල් පටන් අඳුනන පරිදිය.කුස්සියේ රාජකාරි වලට උදව් කරන අතරේ සහනි ඉතා සතුටින් දෙස බලා සිටියාය.
 "ඔයා නම් හරි ලකී අක්කෙ."ඇයට නොදැනුවත් කියවිනි.
"ඔයාගෙ දුක මට තේරෙනවා නංගි.මමත් ඕක වින්දා අවුරුදු 6ක්."සහනි වහා ආශා දෙස බැලුවාය.
"අන්තිමට අපි දෙන්නා මේ ඔක්කොම විකුණලා පිට රටකට යන්නත් හිතුවා. රටක අළුත් තාක්ෂණයක පිහිට පතන්න වත්."
 "ඉතින් කොහොමද හරි ගියේ.?"සහනි මහත් බලාපොරොත්තුවෙන් ඇසුවාය. හස්බන්ඩ් ගෙ යාළුවෙක් ගෙ දානයක් දෙන්න අපි ළමා නිවාසෙකට ගියා.අපි දරුවෙක් නැතුව දිවා රෑ විඳවද්දි මල් වගේ පොඩි පැටව් අම්මා තාත්තා ගෙ ආදරයක් කවදාවත් නොලැබී හූල්ලනවා. තමන් කොහෙත්ම නොකල වරදකට දඬුවම් විඳිනවා. යාළුවා අපි දෙගොල්ලන්ට   විසඳුමක් දුන්නා. ඉල්ලුමට සැපයුම. දැන් අපි ඔක්කොම පුදුමාකාර තරම්සතුටින්." සහනි පුදුමයෙන් ඇය දෙස බලා සිටියාය.
 "නෑදෑයො මුකුත් කිව්වෙ නැද්ද. හස්බන්ඩ් කැමති වුනා ?"
 "නෑදෑයො කවදද අපි කරන දේ හරි කිව්වෙ. අනික පිට අය අපිට කන්න අඳින්න දෙන්නෙ. ලොකු පුතා ටිකක් ලොකු වෙද්දි අපි තවත් රෝස මලක් ගෙනාවා.ඊට පස්සෙ අනිත් දඟ මල්ල.මේ පාර හස්බන්ඩ් ආව අපි ආයෙ එහෙ යන්නයි ඉන්නෙ." සහනි ප්රීතියෙන් උතුරන ආශා ගේ මුහුණ දෙස බලා සිටියාය.මෙවන් සතුටක් ප්රතික්ෂේප කරන්නේ කවුරුන් ?
 "අක්කලා කොයි කාලෙ ආය යන්නේ.....අපි දෙන්නත් එනවා"

Comments