my boss


මම ශෂී.වැඩ කරන්නේ private company එකක.ජොබ් එක තමා මට නිදහස ලැබුන හොඳම තැන,අලුත් බොසා එනකල්.එක පාරම බොසා ගැන මැවුන චිත්රේ නාකි මනමාලයෙක් නම් අනේ වහා ඒක මකලා දාන්න.අපේ අලුත් බොස් යන්ග්.මාර ස්මාර්ට් .මාර හැන්ඩියා. වගේමයි මිනිහා අඳින පළඳින විදිය.කෙල්ලෙක් ත් වඩා පිළිවෙලට, match කරලා,එක රැල්ලක් නොහිටින්න අයන් කරලා,මූන පේන ගානට සපත්තු පොලිෂ් කරලා.මිනිහ ගේ මේ නීට් කම වැඩ වලටත් ඕන වුන එක තමා කරුමේ හිටියේ.එක කොමාවක්,ෆුල්ස්ටොප් එකක් තියා වචන 2ක් අතරේ space එක double වැදුනත් මිනිහාට ඒවා මාර note.ඊට පස්සේ බනින්නේ අපිට මුලින් කී බෝර්ඩ් එක පෙන්නුව මනුස්සයාගේ ඉඳන් කට්ටිය මතක් කරලා. මිනිහා ඇවිල්ලා සතියක් යද්දී උන්දැ ගෙන් බැනුම් ඇහුවේ නැති එක කෙල්ලක් නැති වුනා අපේ සෙට් එකේ .එක document එකේ වැරදි පෙන්න පෙන්න 7-8 වතාවක් හදද්දී අපි හවස් වෙද්දී document කට පාඩමින් කියන්න මතකයි.අපි හැමදාම වැඩට යන්නේ අදවත් බැනුමක් නොලැබේවා කියල පතාගෙන.
හැබැයි ඉතින් මේ මොන බැනුම් ඇහුවත් මොන කරුමෙකටද මන්දා අපි මිනිහා එක්ක තරහක් නෑ.බොසා අඳින පළඳින,යන එන,අපි එක්ක නැති වුනාට මෑන් ගේ peers, superiors එක්ක හිනාවෙවී කතා කරන හැටියට අපි ඔක්කොම ඉතින් මාර ආසයි.කෙල්ලො නේ අනේ.මොනවා වුනත් මිනිහා තමා අපේ dream star.
දැන් ඇති බොසා ගැන.එමු වර්තමානයට.අද උදේ මම වැඩට යන්න පිටත් වෙද්දී අම්මා අහනවා"ඔයාගේ මේ මාසේ ෂෝර්ට් ලීව් එහෙම තියෙනවා නේද"
මම ඇස් ලොකු කරන් අම්මා දිහා බැලුවේ. එක ෂෝර්ට් ලීව් එකක් මාසේ මුල යාලුවෙක් ගේ බබෙක් බලන්න යන්න කැප කරන්න වුන නිසා මම අනිත් එක මැණිකක් රකිනා නා රජිදෙකු සේ රැකගෙන හිටියේ සැලරි අරන් අපි සෙට් එක පොඩි ෂොපින් පාරක් දාන්න.
"දීපා ආන්ටි ගේ ගෙදර බන  අද. ගෙදරට ඇවිත් කියල ගිය එක නොයා හොඳ නෑ නේ" මගෙන් ප්රතිචාරයක් නැති තැන අම්මා කිව්වා.
"අයියෝ ඒකට ඉතින් නිවාඩු දාන්න ඕනැයැ.මම ආවා යමු"
"බන පටන් ගනිද්දී ගිහින් බෑ ළමයෝ. කලින් ගිහින්  උදව් කරන්න ඕන.අපෙත් ඕන දේක අඬ  ගහපු ගමන් එන මනුස්සයනේ"
මදැයි,ඕක බෑ කිව්වොත් ලබන අවුරුද්දේ දීපා ආන්ටි ආයේ බණක් කියවනකල් මට අම්මගෙන් බන අහන්නයි වෙන්නේ.බැරි වෙලාවත් ලබන අවුරුද්දේ බණක් නැති වුනොත්..."හා...හා...එන්නම් කෝ"

මගේ මේසේ ගාවට එද්දී පියන් කොලුවා අලි ෆයිල් මිටියක් උස්සන් එනවා."මිස් මේක සර් පුළුවන් ඉක්මනට චෙක් කරලා හරි ගස්සලා ගේන්න කිව්වා.ගෙදර ගියොත් අඹු නසී,මග හිටියොත් තෝ නසී කියන්නේ මේවට තමා. මේ වැඩේ නූලට ඉවර කරන කල් අද යනවා බොරු. වෙලාවට ගෙදර නොගියොත් අම්මගෙන් විසුමක් වෙන්නෙත් නෑ. මම ලන්ච් එකට වත් නැගිටින්නේ නැතුව හරි පරිස්සමින් කල්පනාවෙන් එක අකුරක් ගානේ චෙක් කර කර recheck ත් කරලා යන්තම් 2.25 වෙද්දී ඉවර කරලා මම ඒකත් අරන් බොස් ගේ රූම් එක ගාවට ගියේ ඕන බැනුමක් අහගෙන කොහොම හරි ගෙදර යන්න බලන්. මිනිහා නෑ සීට් එකේ.
"සර්,වරුවෙන් ගියා මිස්.හදිසි වැඩක් කියල".මදැයි.මම ෆයිල් එක මේසේ උඩින් තියල දඩ බඩ ගාලා දුවන් ආවා.උදේ ආව ගමන් අපේ ලීව් බාර මිස් ෂෝර්ට් ලීව් යන බව කියල තිබුන එක හොඳට ගියා.
මම හති දාගෙන ගෙදර එද්දී අම්මා ඉන්නවා මෙන්න ගෙදරට අඳින එකකුත් ඇඳන්.
"කෝ......අම්මා තාම ඇඳගෙන වත් නෑ නේ" මම මග ඉඳන් නහයෙන් අඬා ගත්තා.
"මට දිනේ වැරදුනා නේ.14 නෙවේ 24." "අයියෝ...."මම බෙරිහන් දුන්නා.
"දැන් කමක් නෑ .මම වෙන වැඩක් දා ගත්තා.ගෙට ගිහින් වොෂ් එකක් දාලා මම ඇඳුමක් තියල ඇති ඇඳ  ගන්නකො"
මම ගෙට ගියේ අම්ම දිහා හොරෙන් බලමින්.තියල තියෙන්නේ රැලි ත් හදපු සාරියක් බව  දැක්කම මගේ ඇස් විතරක් නෙවේ.කටත් බාගෙට ඇරුනා.කලින් දෙසැරයක් මාව බලන්න මනමාලයෙක් එනවා කිව්වා ෆෝන් ත් ඕෆ් කරන අම්මා දන්න නැති යාලුවෙක් ගේ ගෙදරට අතුරුදහන් වුන මාව අල්ලන්න මදැයි  අම්මා ගහල තියෙන ගැටේ."අම්මා යන්න තිබ්බේ හමුදාවට.යුද සැලසුම් හදන්න"
"දුව මේ, අපිටත් මේවයින් නිදහසක්  තියෙන්න ඕන.අර මාලනී ගේ දුව..."
"හරි හරි.ඉතින්" අම්මගේ යාලුවන්ගේ  මටත් වඩා බාල දූලා දීග දීලා අම්මලා දුවලා දැන් පුදුම නිදහසකින් ඉන්න හැටි ගැන කියන්න ගන්න කලින් මම කිව්වා.
හ්ම්....සාරියත් ඇඳන් මම කාමරේට වෙලා කපු රාල ඇද බාන බේගල් අහගෙන ඉන්නවා. අම්මා තේ හදලා ලේසියෙන් එලියට ගන්නේ නැති පෝසිලෙන් කෝප්ප සෙට් එකකටත් දාලා ට්රේ එක මට ගෙනත් දුන්නා.මමත් රූකඩේ වගේ ඒක අරන් බිම බලාගෙන සාලේට ගියා.මනමාලයට ට්රේ එක අරන් ලං වෙද්දී මට මිනිහගේ සපත්තු  දෙකෙන් මගේ මූණේ චායාව පේනවා. ගානට පොලිෂ් කරන සපත්තු මේ පළාතේ තියෙන්න පුළුවන් එක කෙනෙකුට විතරයි.
අහ් ....අන්න මේ පාර නම් ඔයාලගේ අනුමානය හරි.හදිසි වැඩක් කියල නිවාඩු දාල අපේ බොසා ඇවිත් තියෙන්නේ මේ නිතර දෙවේලේ දකින මාව බලන්න තමා.
ඉතින් මොකද හිතෙන්නේ.සිහින තරුව දෙපා මුලට ආව නිසා මම එක පයින් හා කියලා දැන් අපි දෙන්න බැඳලා සුකිරි කන්දක් මුදුනේ මී පැණි ගංගාවක පීන පීනා ඉන්නවා කියලද.පිස්සු අනේ....මම හේතුවක් නැතිව බැහ් ...කිව්වා.කියන්න හේතුවකුත් නෑ තමයි.
සතියට දවස් 5ක් දවසට පැය 6-7ක් බැනුමක් අහමින් හරි කොයි වෙලේ බැනුම් අහන්න වෙයිදෝ කියල බයෙන් හරි ඉන්න එක මුළු ජිවිතේ දික් කර ගන්න මට පිස්සු යැ. දැන් ඉතින් මට දැනමුතුකම් කියාගෙන එන්න එපා.සමහර සිහින තියෙනවා ඒවා ලස්සන හැබෑ නොවී තියෙන කල් විතරයි.හැබෑ වෙන්න ගත්තොත් ඒවා වල කිසි අගයක් නෑ.
සියල්ල මනඃකල්පිතයි.

Comments

Post a Comment