පිනට ලැබුණ


නිවසේ තිබූ රූපවාහිනිය කඩයට ගෙන ඒමෙන් තමන් කළේ නුවණැති දෙයකැයි කරුණෙ මුදලාලි කල්පනා කළේය.වෙනදා තේ බොන්නට කඩයට කෙනා ටීවී එකට වහ වැටී තවත් පැයක් පමණ රැඳෙද්දී නැවත තේ බොන්නට හෝ බත් කන්නට පෙළඹේ. ටීවී බලන්නට එන කෙනාට ගන්නට දෙයක් හෝ මතක් වෙයි.
බොහෝ දෙනා එන්නේ දවසේ පුවත් දැන ගැනීමටත් ගැන විශ්ලේෂණය කර  තම මත පළ කිරීමටත් .
රූපවාහිනියෙන් යම් වෘත්තිකයන් පිරිසකගේ උද්ඝෝෂණයක් ගැන විකාශය වේ.
"කාලකණ්ණි....!!රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙනගෙන මදිවට වැඩ වර්ජන,උද්ඝෝෂණ."
කඩයේ සිටියෙක් තරමක හඬින් කීවේය.
"රජයෙන් නොමිලේ පොත් දෙනවා නිල ඇඳුම් දෙනවා කිව්වට ඒවට වියදම් වෙන්නෙ අපේ හාල් කිලෝ එකටයි සබන් කැටේටයි ගහන බදු සල්ලි"
තව කෙනෙක් ඊට එකතු කළේය.
"අර ඇමතිගෙ ප්රතිපාදන මේ ඇමති ගෙ අනුග්රහය කිය කිය මහ උත්සව තියලා ඉස්කෝල වලට ගොඩනැගිලි කොම්පියුටර් එහෙම දෙන්නෙත් මොකද මිනිස්සුන් ගෙ පුද්ගලික සල්ලියක් ?ඒවට යන්නෙත් අපේ දුප්පත් සල්ලි තමා."
"හැබෑමයි.වෙන එකක් තියා ඉස්කෝලෙ උගන්වන ගුරුවරුන් ප්රින්සිපල් ලා ආණ්ඩුව පඩි ගෙවන්නෙත් එදා වේල අමාරුවෙන් හොයා ගන්න අපේ සල්ලි වලින්. ඒකනෙ ආණ්ඩුව පඩි වැඩි කෙරුව ගමන් බඩු මිල අහස උසට නගින්නෙ."
"ඇත්ත තමයි.ලංකාවෙ තමා මේ ඔක්කොම නිකං දෙන්නෙ.ඉස්කෝලෙ මදිවට තව උපාධියත්..... පිට රට වල ඔය කොයිකත් සල්ලි වලට."ළඟ දී පිටරට සිට පැමිණි ලකුණු පෙන්වන කෙනෙක් කීවේය.
"වැඩක් කර ගන්න ආණ්ඩුවෙ තැනකට ගියොත් මිනිස්සු නෑ ස්ට්රයික්.ඉස්පිරිතාලෙන් බේතක් ගන්න විදියක් නෑ.කවුරු හරි ස්ට්රයික්......අපෙන් කාලා මුන් අපිටම කොකා පෙන්නනවා..."
කඩය ඇතුළේ මහා ගාලගෝට්ටියක් වැනිය. එක වර කඩය ඉදිරියේ පොලිස් ජීප් රථයක් නැවතුනි.කරුණෙ අයියා වහා අසලට ගියේය.රථයේ නිලධාරියෙක් කුමක් හෝ අසද්දී කරුණෙ අයියා අත දිගු කර යමක් විස්තර කළේය.
කඩය තුළ මීයට පිම්බාක් වැනි විය.
"මොකද අයියා අවුල?"
රථය නොපෙනී ගියාට පසු කෙනෙක් ඔහු කිට්ටු කළේය.
"පියදාස ගෙ ගෙදර අහනවා....අර කොල්ලා ආයෙ වැඩකට මාට්ටු වෙලා වගේ.මෙහෙමත් කරුමක්කාරයෝ"
"පියදාස කිව්වෙ අර වෙල ගාව ?ඇයි මොකද වෙලා තියෙන්නෙ"
එතෙර සිට බව පෙනුන කෙනා ඇසුවේය.
"පියදාස මාමා ගෙ පුතා මට පන්ති 2-3ක් පහල පන්තියෙ හිටියෙ.3 වසරෙදි පන්ති භාර මිස් ගෙ බෑග් එකෙන් සල්ලි හොරකම් කරල අහුවෙලා ප්රින්සිපල් ගෙන් ගුටි කාලා ඉස්කෝලෙන් පැන්නා මයි ආයෙ පැත්තෙ වත් ආවෙ නෑ.දැන් ඉතිං මාල කඩනවා පොකට් ගහනවා....පව් අර මහ මිනිස්සු දෙන්නා."
"ගිය සතියෙ ටවුන් ගිය වෙලාවෙ ඕකා අර කප්පන් සුමනෙත් එක්ක කයිය ගගහ ඉන්නවා දැක්කා මම."
කරුණෙ අයියා කීවේය.
"එහෙනම් ඕකා ගෙ ගන්න දෙයක් නැතුව ඇති."
"අන්න නියම ජනතා පුත්රයෙක්...."
කඩයේ කොනකින් නැගුන මහ හඬ දෙස හැමෝම හැරී බැලූහ.
තරමක නුහුගුණේ යයි කවුරුන් විසිනුත් සලකන තිලකේ .
"අපේ පොල් ගෙඩියෙයි ළූනු බිකෙයි බදු සල්ලි වලින් 11 වසරට යනකල් නොමිලේ පොත් දුන්නට, 13 වසර වෙනකල් නිල ඇඳුම් දුන්නට, විශ්ව විද්යාලෙට යනකල් පුස්තකාල, විද්යාගාර හදල දුන්නට  ළමයා ඒවා නාස්ති කරල නෑ.තමන් ඕන තරම විතරක් යන්තම් ඩිංගක් අරගෙන දැන් දෑතේ කර්මාන්තයක් කරනවා.ස්ට්රයික් නෑ.උද්ඝෝෂණ නෑ. පෙළපාලි නෑ.හොඳ මානව හිතවාදියෙක්!!.
සියලු දෙනා නිහඬ ඔහු දෙස බලා සිටිති.
නුහුගුණේ ඇත්තේ කාටදැයි කරුණෙ  අයියා කල්පනා කළේය.

Comments