ගුරුකම


"කාට අම්මෙ මේ දෙහි?"
රැකියාවත් සති අන්ත පාඨමාලාවත් නිසා මාස ගානකින් ගෙදර එන අංජුල ගෙ ඇහැ මුලින් ගියේ මේසෙ උඩ තියෙන දෙහි ගොඩට.
"හා හා ඕක කහ වතුරෙන් හෝදලා තියෙන්නෙ.අල්ලන්න එපා.ශීලා නැන්දට ඕනකමකට"
"අපේ සනුකය ගෙ අම්මට.......ඇයි මොනව වෙලා ?"
"සනුක ගෙ අයියා මිනුක හෝටලයක් දැම්මෙ කච්චේරිය පාරෙ.මුලදි සූ ගාලා සෙනග. කොල්ලා ගේත් හදන්න පටන් ගත්තා.ළඟ ඉඳන් කිසි වගතුවක් නෑ ලු.කාගෙ හරි ඇස් වහක් කට වහක් කියල කිව්ව ලු ගුරුන්නාන්සේ.දෙහි ටිකක් කපල බලනව ලු. ඒකත් හරි නොගියොත් ලොකු සෙත් සාන්තියක් කරන්න වෙයි කිව්වලු. මේ මිනිස්සුන්ගෙත් ඉරිසියාව.මිනිහෙක් දියුණු වෙනවා පේන්න බෑ"
අංජුල කල්පනාවට වැටුනේය.අහළ පහළ කිසි කඩයක් නැති පාරේ හෝටලයක් දමන කෙනෙකුට බිස්නස් වලින් අඩුවක් විය නොහැක."කාලෙකින් මිනුකයා හම්බ වුනෙත් නෑ.හෙට උප්පැන්න සහතිකේ කොපිය ගන්න ගියා කඩේට ත් ඔළුව දාල බලන්න ඕන." ඔහු තනිව කියා ගත්තේය.

ගිය වැඩේ අවසන් ගේට්ටුවෙන් එළියට අංජුල වටපිට බැලුවේය.
මාර ගහ යටමිනුක හෝටලය” බෝඩ් එක අඳුනා ගැනීම අපහසු නැත.මුලින් පාළුවට ගොස් තිබූ මේ පාරේ වෙළඳසලක් ඇරඹුවේ මිනුකය.දැන් එය කුඩා කඩ මණ්ඩියක් වැනිය.අංජුල හෙමින් හෝටලය වෙත පිය නැගුවේය.
"මොනවද සර් ඕන" සැනෙකින් ඔහු වෙත ආවෙක් ඇසීය.
"...... ටී එකක් ගේන්න.....මේ.....මිනුක මහත්තයා ඉන්නවද?"
අංජුල දෙස කුතුහලයෙන් බැලූ සේවකයා "මහත්තයා කවුද?"ඇසුවේය.
"....මම මිනුක මහත්තයගෙ මල්ලි ගෙ යාළුවෙක්.අංජු ඇවිත් ඉන්නවා කියන්න"
"අහ්.....අංජුවා...සොරි මල්ලි මම දැන් වැඩිය එළියෙ ඉන්නෙ නෑ.උඹට  කිව්ව මොකද මාස දෙකකින් ලීසිං එක ගෙව්වෙ නෑ"
"අර මොකද අයියේ"අංජුල කිසිත් නොදන්නා ලෙසින් ඇසුවේය.
"අනේ මන්දා බං බිස්නස් අන්තිම සවුත්තුයි. සමහර දවසට රුපියල් 1000 බිස්නස් නෑ.මේක වහල දාන්න වෙන ලයින් එකක් තියෙන්නෙ."
"හ්ම්....එහෙම ?හේතුවක් හොයල බැලුවෙ නැද්ද?"
"හේතුවක් නෑ බං.අම්මලා නම් කියන්නෙ ඇස් වහ කට වහ ලු.ඔන්න මොකද්ද සෙත් සාන්තියක් කරන්න හදනවා.ඒවත් ඇත්ත වෙන්නැති බං"
"ඇස් වහ කට වහ නම් මම දන්නෙ නෑ.හැබැයි අයියෙ මම පොඩි උපදෙසක් දෙන්න ?"
"ඕන දෙයක් මල්ලි"   මිනුක ඉන්නේ පිදුරු ගහේ එල්ලෙන්නට බලාගෙන .
"මේ පාරෙ රජයේ ඔෆිස් කීයක් තියෙනව ? ඒවා වලින් වැඩ කරගන්න කොච්චර මිනිස්සු එනවද දවසකට. අය වතුර එකක් බොන්න වත් තැනක් තිබුනෙ නෑ ඔයා මෙතන කඩේ පටන් ගනිද්දි. මිනිස්සු ඔක්කොම මේ කඩේට ආවා.හැබැයි දැන් මෙතන කඩ මණ්ඩියක් වෙලා.තව කෑම කඩ දෙකක් තියෙනවා.ඉස්සර මේකට ආව අය දැන් ඒවටත් යනවා. කොතනින් බිව්වත් කෑවත්ටී,  ප්ලේන් ටී, බත්, ෂෝට්ඊට්ස් ඔක්කොම එකයි."
"හ්ම්........ඇත්ත නේන්නම්"
" කඩ දෙක කුඩු කරල දාන එක නෙවේ උත්තරේ.තව තව තරඟකාරයෝ ඇති වේවි. තරඟෙන් දිනන්න නම් එයාල වඩා ඔයා වෙනස් වෙන්න ඕන.එයාල ළඟ නැති මිනිස්සු අද්දවා ගන්න පුළුවන් දෙයක් ඔයා ගාව තියෙන්න ඕන"
"උඹ කියන කල් මට ඔහොම එකක් හිතුනෙ නෑ නෙ මල්ලි."
"එහෙම තමා අයියෙ.පෙරහැරේ අඩුපාඩු පේන්නෙ පෙරහැරේ යන මිනිහට නෙවේ පිට ඉඳන් බලන අයට.උඹ හොඳ විදියක් හිතපන් කෝ...."
 නැවත රාජකාරියට වාර්තා කල අංජුල මේ සියල්ලක් අමතක විය.දිනක් නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබිණ.
"අංජු මල්ලි මම මිනුක අයියා..."
"....කියන්න අයියෙ"
"උඹ ස්තූති කරන්න කතා කළේ.උඹේ උපදෙස හරියට හරි.දැන් මගෙ කඩේ තේ, කෝපි, ෂෝට්ඊට්ස්, බත් නෑ.fresh fruit juice & fruit salad විතරයි.අනිත් කඩ දෙකෙන් බත් කන මිනිස්සුත් මගෙ කඩේ එනවා ඩෙසට් කන්න.ඔෆිස් වලට වැඩක් කර ගන්න එන අය විතරක් නෙවේ ඒවා වල වැඩ කරන අයත් මෙහෙට එන්නෙ.ජූස් එකක් බීලා යන්න.උඹ කවදද ගෙදර එන්නෙ.මම එනවා ලොකු තෑග්ගක් අරන්"
ඔහු සතුටින් කියවා ගෙන යයි.
"අනේ මොන තෑගි බං.මම දුන්නෙ අදහසක් විතරයි.දැන් ඕකටත් තරඟකාරයො එයි.එතකොට කරන දේවලුත් කල්පනා කරපන් අයියෙ"
"අනිවා මල්ලි.මම දැනටත් ගැන කල්පනාවෙන් තමා.උඹේ මොළේ තමා

"කාට අම්මෙ මේ දෙහි සැරේ"
නැවත ගෙදර ගිය දිනෙක අංජුල ඇසුවේය.
"අපිට අපිට.අර ගුරුන්නාන්සේ ගෙ සෙත් සාන්තියෙන් පස්සෙ ශීලා නැන්දලා හොඳට හොඳයි. ලොකු අක්කලාගෙත් බිස්නස් හරි නෑ මේ දවස් වල."

"හ්ම් ගිහින් එන්න ඕන පැත්තෙත්"


Comments

  1. Excellent post, is there any way i can share your stories in my FB (with your name, of course), because your stories have profound meaning other than beauty.

    ReplyDelete

Post a Comment