අලුත් දොරක්


විවේකා රැකියාවට එන අවසන් දවසය. කොන්ත්රාත් පදනම යටතේ සේවයට බැඳුන නිසා මෙසේ ඉවත් වන්නට සිදු වන බව දැන සිටියත් ඉතා කාර්යක්ෂම නොපිරිහෙලා කාටවත් කිසි ඇදක් කුදක් කීමට ඉඩක් නොතබා වැඩ කටයුතු කල ඇය ස්ථිර තනතුරක් ලැබෙනු ඇතැයි සියලු දෙනා බලාපොරොත්තු වූහ.ඇගේ වාසනාවකට මෙන් ආයතනයේ නිලධාරියෙක් විදේශ ගත වීමෙන් ඇයට ඉල්ලුම් කළ හැකි ඇබෑර්තුවක් ඇති වුවත් අවසන් මොහොතේ ඉහළ නිලධාරියෙක් වූ ජයන්ත ගේ හිතවතෙක් ඊට පත් වූ බව සැමට නොරහසකි.
"මිස් මම යන්නම් එහෙනම්"වෙනදා ගිහින් එන්නම් කී විවේකා එසේ කියද්දී ඇය සමග වැඩ කළ ගිහානි ඇතුළු පිරිසට දැනුනේ මහත් ශෝකයකි.
"අපි ආයෙ හම්බ වෙමු කෙල්ලෙ.ඔයා වරදින්නෙ නෑ කවදාවත්.good luck"
හිතේ දුක එසේ කීවත් පවුලේ වැඩ රාජකාරි වැඩ අතර හිර සිටි ඔවුන් කාටත් විවේකා ගැන සොයා බලන්නට ඉඩ ලැබුනේ නැත. නමුත් ඇය අයින් වී ගොස් වසර 4කට පසුත් අමාරු රාජකාරියක් යෙදුන විටක රෑ වන තුරු සේවය කරන්නට සිදු වුන දිනෙක නම් අනිවාර්යෙන් ඇය සිහි වුනේ විවේකා හිටියා නම් මේක පැයෙන් ඉවර කරලා,විවේකාට දුන්නා නම් මෙහෙම රෑ විඳවන්න ඕන නෑ ලෙසිනි.අළුතෙන් පත් වන කෙනෙක් අතින් සිදු වන කුඩා වරදක් හමුවේ වුවත් හහ් ලියුමක් හරියට හදා ගන්න බෑ තවම අන්න ඒකට විවේකා ....මාස ගණන් කුරුවල් වෙවී තිබුණ එකවුන්ට්ස් සතියෙන් clear කළේ...ලෙසින් ඇය ගැන සිහි කළහ.
ඉහළින් කඩා වැටෙන සාධාරණ අසාධාරණ නීති රීති අණ පනත් වලට මුහුණ දෙමින්  පහළින් නැගෙන පැමිණිලි අඳෝනා චෝදනා විසඳමින් වැහි නැති හෙණ නොගසන්නට රාජකාරිය ඉටු කරන අවංක විධායක නිලධාරියෙක් වූ ගිහානි ගේ සැමියා අමිතට තීරුබදු රහිත වාහන බලපත්රය හිමි විය. එවන්නකට කෙළ හලමින් බලා සිටින තැරැව්කරුවන්ගෙන් ගැලවී වාහනයක් ගන්නට උත්සාහ කරද්දී  යහළුවෙක් ළඟ පාත පිහිටි අළුතින් ඇරඹූ විශ්වාසදායී වාහන අලෙවිහළක් ගැන පුවතක් ගෙන ආවේය. වාහනයක් තේරීම සම්බන්ධයෙන් ගිහානි ගේ එක මැදිහත් වීම එහි වර්ණය ගැන පමණක් නිසා අමිතටත් ඔහුගේ යහළු සංජය ටත් අලෙවිසැලේ ඕනෑ දෙයක් කර ගන්නට දී ගිහානි  නේක වර්ණැති වාහන අත ගාමින් එහි සිරි නැරඹුවාය.
"ගිහානි මිස්......"
"ආනේ විවේකා......ඔයා මෙහෙද වැඩ දැන්?"
විවේකා ඇය ලොබියට රැගෙන ගියාය.
"අනේ කෙල්ලෙ වැඩත් එක්ක ඔයා ගැන හොයල බලන්නවත් වුනේ නෑ.දැන් කොහෙද ඉන්නෙ?ඔයාගෙ නම්බර් එකත් නැති වුනා නෙ මගෙ සිම් එක මාරු කලායින්"
සුපුරුදු බොරුවක් හමුවේ සිනා සී විවේකා බිම බලා ගත්තාය.
"එහෙන් අයින් වෙලා මම ජොබ් කීපෙකටම දැම්මා.ඒත් වෙද්දි අම්මා ලෙඩ වෙලා.නංගි කැම්පස් පටන් ගත්තා විතරයි.ඉතින් මට දුර ජොබ් වලට යන්න බෑ අම්මව දාලා."
ගිහානි මහා හුස්මක් ඇදුනේය. ඇබෑර්තුව ඇයට දුන්නා නම්....
"ඔයාට කරපුවට මිස්ට ජයන්ත දඬුවම් ලැබුනා.හදිසියේ ඔඩිට් පැනල මිනිහගෙ ගැහිලි ඔක්කොම අහු වුණා.මිනිහ තමන්ගෙ කෙනෙක් ජොබ් එකට දා ගන්න ඇත්තෙත් ඒවා යට ගහන්න බලාගෙන තමයි......ඔයාට ගෙදරට කිට්ටු මෙතන?"
"මෙතන එහා පැත්තෙ ගරාජ් එක අපේ නෑදෑ අයිය කෙනෙක් ගෙ.එයත් අනුන්ගෙ තැන් වල ඉඳල ඉඳල තමන්ගෙ දෙයක් පටන් ගත්තා විතරයි.ගරාජ් එකේ ගනුදෙනු අයවැය ගැන බලන්න කෙනෙක් නැති නිසා මට කතා කළා....ඉඳහිට වාහන ගන්න විකුණන බිස්නසුත් ආවා.ඒක දුර ගිහින් තමා....."
"මැඩම් අර ජපන් ඕඩර් එක නැවට දැම්මා කියල මේල් එක ආවා"
මෙතෙක් ඔවුන් අසලට වී ඉඩක් ලැබෙන තුරු බලා සිටි සේවකයෙක්  සැනින් කීවේය.
"..හරි නාමල් බෑන්ක් එකට කෝල් කරල යන්න වාහනයක් රෙඩි කරන්න.මම එන්නම්"
"මේක ඔයාලගෙ බිස්නස් එකක් විවේකා?" ගිහානි මහත් විස්මයෙන් ඇසුවාය.
"එදා මට ජොබ් එක නොලැබුණ එක හොඳයි මිස්.නැත්නම් මම අද මෙතන නෑ...මම දැන් බැංකුවට යන්න ඕන මිස්ල වාහනේ තෝරන්නකෝ.අනිත් අයට දෙනවට වඩා ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්.ලබන මාසෙ අපි ලර්නර්ස් එකකුත් පටන් ගන්නවා. driving for ladies.මිසුත් එන්න.ඒක ඔක්කොම handle කරන්නෙ ගෑණු අය.මහත්තයා ගෙ වාහනේ අරන්."
ගිහානි පුදුමයෙන් බලා සිටියාය.
"අනිවාර්යෙන් මහ එනවා.මම විතරක් නෙවේ අපි සෙට් එක .ඔයා ගැන කියන්න වචන නෑ මට"
විවේකා යන්තම් සිනාසුණාය.
"ඔයා කලින් ඉඳල තියෙන්නෙ මහ හොර ගුහාවක නෙ ඕයි.ජයන්ත කියල එකෙක් ඉන්නවා අවුරුදු ගාණක් නියමෙට යටිමඩි ගහලා.අහු වුනේ නැද්ද කාලෙ"
උපාධිය අවසන් විගණන ආයතනයක සේවය කරන නංගී පැවසූ දෙය ඇයට සිහිවිය.


Comments