ගිය දුරක්


කලාතුරකින් කියන්නට ප්රස්තාව පිරුළක් දිය යුතු නම් වඩාත් ගැලපෙන්නේ සුවන්යා ගෙදරින් එළියට බහින්නාක් මෙන් කීමය.ඕනෑ කරන හැම දෙයක් අතට පය ගෙන දෙන සැමියෙක් ලබන්නට සුවන්යා කෙතරම් වාසනාවන්ත දැයි හූල්ලන්නෝ වූහ. නමුත් මේ නම් ඇයට එළියට  යන්නට සිදු ඇති දෙයකි.පුංචි අම්මාගේ දුව ගේ මගුල ඊළඟ සතියේය.එයට සාරියක් ඇඳිය යුතු යයි අම්මා බල කරයි. වෙනදා නම් ඕනෑ උත්සවයකට ඇය ඇන්දේ ගවුමය.ඒවා ගෙන ආවේ තමන්ට වඩා හොඳ ඇහැක් ඇති සැමියාය. එක්කෝ ඔන්ලයින් ගෙන්වා ගනී. මේ සාරිය ඔහු ලව්වා ගෙන්වා ගත්තත් හැට්ටය මහන්නට තමන් ඕනෑය. දිනක් එනිත් සමග ගොස් මිමි දී ආවාය.ෆිට් ඔන් බලන්නට එන මෙන් ඊයේ කතා කර කීවේය.එනිත් අද යා යුතු වැඩක් තිබූ නිසා ඇය පියසිරි සමග වාහනයෙන් ආවාය. මැහුම් සාප්පුව ඇත්තේ ෂොපින් මෝල් එකේ උඩ තට්ටුවේය.පාරේ ට්රැෆික් ගැන මෙලෝ කල්පනාවක් නැතිව ආවෙන් පැයක් පමන ප්රමාද වී සාප්පුව ලඟට එද්දී එය කෑමට වසලා ."මදැයි....විනාඩි 45ක් තව" තමන් කියා ගත් ඇය එළියේ පුටුවක ඉඳගෙන යන එන අය දෙසත් පහල තට්ටු වල සිදු වන දේ ගැනත් ඔහේ බලා සිටියාය.
එක වර දුටු දෙයින් ඇය වැහි නැති බරපතල අකුණක් වැදුනේය.පහළ තට්ටුවේ අයිස්ක්රීම් හලක් තුල තමන් සෝදා, වේලා, මැද, පාට ගලපා අතට දුන් ඇඳුම් කට්ටලය ඇඳගෙන සිටින්නේ ..........එනිත් . තම සැමියාය.ඔහු අසලට වී මුකුළු කරමින් ඇඟේ එල්ලී අයිස්ක්රීම් රස බලන්නේ කවුද? ඔහුගේ බිරිඳ? නෑ මම මෙතනය.කොට කොට ගවුමකින් සැරසී එයට  ගැලපෙන තොරොම්බල් කනේ, කරේ, අතේ, පයේ, එල්ලන්නට හැකි හැම තැන එල්ලාගෙන කොණ්ඩය ලේයර් කර, ස්ට්රේට් කර, පාට කර, කරන්නට හැකි හැම දේ කරගෙන සිටින සක්කරවට්ටම කවුරුද? තම සැමියා නොවන්නට හැකි දැයි ඇය තවත් හොඳින් බැලුවාය.තුන් අවුරුද්දක් තිස්සේ දිනපතා දකින කෙනෙක් එහෙම අහම්බයක් වේද? ඊටත් ඇඳුමම..... සුවන්යා හිතුනේ වහා දුව ගොස් යක්ෂනීගේ කම්මුලට ගහන්නට .ඔහු ගේ ටයි පටියෙන් ඇද බෙල්ල මිරිකා මුහුණ සූරා දමන්නටය.මුළු ෂොපින් මෝල් එකට ඇහෙන්නට කෑ ගසා බනින්නටය.බනින ගමන් අඬන්නට .එහෙත් කිසිවක් කරන්නට නොහැකි ලෙස ඇය හිටි වන ගල් වී ඇත. සුවන්යා සිහිනයෙන් මෙන් විත් රථයට නැග්ගාය. සිහිනයෙන් කාමරය තුළට විත් ඇඳට වැටුණාය.
ඇයට අතීතය සිහි විය.උසස් පෙල අවසන් වූ සැණින් ඇයට රැකියාවක් කිරීමේ පුදුම හදිසියක් විය. තාත්තාටත් අයියාටත් දිනපතා දවසට කීප වරක් වද දීමේ ප්රතිඵලයක් ලෙස තාත්තාගේ හිතවතෙක්ගේ මාර්ගයෙන් රැකියාවක් සොයා ගැනුනි.දැන් සියල්ල හරි . නමුත් කරදර ඇරඹුනේ එතැනිනි.උදේ හවස සාරියක් ඇඳගෙන කිටි කිටියේ පොල් පැටවුන බස් වල අව්ව, වැස්ස මොකක් වුවත් යාම ඒම පුදුම ජොලියකි.ඒවාට නැගීමත් බැසීමත් ඔටුවෙක් ඉඳිකටු සිදුරකින් රිංගීමටත් එහාය.වැස්ස දවසක් නම් තවත් සැප .එළියේ එක වැස්සකි. රථය තුල වැහි දෙක තුනකි. අස්සට ඇට සැකිල්ලක් නැති පරාණයක් හේත්තු වුනොත් කියලා වැඩක් නැත. ඉල්ලා ලබා ගත් දුකක් නිසා නහයෙන් අඬන්නට අකැපය. කාලයේ ඇගේ සිහින ලොව කුමාරියන් වූයේ හිතෙන වෙලාවට නැගිට, කා බී, උයා පිහා, නාගෙන, ආසා කෑමක් හදා බලමින්, මල් වවමින්, දරු සුරතල් කරමින් ගෙදර සිටි ගෘහණියන්ය.අඩු ගානේ ඇයට පෙනුනේ එසේය.
මේ නිසා එනිත් ගේ මංගල යෝජනාව සැනින් රැකියාවෙන් ඉවත් එවන් කුමරියක් වන්නට අවස්ථාව ලැබෙන බව තේරුම් ගත් ඇය දෙවරක් හිතුවේ නැත. ගත් තීරණය මෙතෙක් ඇයට වැරදුනේ නැත. නමුත් දැන් සියල්ල පැහැදිලිය.අතට පයට සියල්ල ගෙන දෙමින් ඇයට ගෙදරට වී ඉන්නට සලසමින් ඔහු නටා ඇත්තේ එසේ මෙසේ නැටුමක් නොවේ. තමන් කොච්චර කාලයක් මෙසේ රැවටෙන්නට ඇත් ? ඉරිදා දවසේත් හොඳට ඇඳ පැළඳ මේ දිව්වේ ඇයි දැයි ඇයට පොඩි හෝ සැකයක් නැති වුන හැටි........සුවන්යා වහා ඇඳේ ඉඳ ගත්තාය.
"මම යනව ගෙදර. මේ මිනිහා මට ඕන නෑ." ඇය නැගී සිට අල්මාරිය අසලට ඇදුනාය. අල්මාරිය උඩ ඇති ලොකු බෑගයට අත ගියත් වහා අත ගසා දැමුවාය.
" මිනිහා අරන් දුන්න ලේන්සුවක් වත් මට එපා" ඇය තනිව කියවමින් අල්මාරියේ පහල තට්ටු අත ගෑවාය. ගෙදරින් එද්දී ගෙන ඇඳුම් තව එහි ඇත.
එක අතකට අපරාදෙ මම ජොබ් එකෙන් අයින් වුනේ....රැකියාවට ඇන්ද ඇඳුමක් අතට ගත් ඇය සිතුවාය.
"එහෙම නම් එයාට මෙහෙම නටන්න හම්බ වෙන්නෙ නෑ.මට ආරංචි නොවී.මට කියල කීයක් හරි අතේ ත් තියෙනවා"
සැනෙකින් ඇයට වෙනත් කල්පනාවක් ආවේය.දීගය කඩා ගෙන මේ යන්නට සැරසෙන්නේ මහ ගෙදර . දෙමාපියන් තමන් වැඩියක් නොවුනාට දැන් මහ ගෙදර ගෘහ මූලිකයා අයියා .එනම් පරිපාලනය ඇත්තේ ලොකු නෑනා අත .හොද්දට දාන කරපිංචා කොළ ගණන ගණන් කරන ගෙදරට එන අමුත්තාට ප්ලේන් ටී වෙනුවට ටී එකක් දෙන්නට තරම් වැදගත් දැයි කිහිප වරක් හිතන.........
එනිත් ගේ මුදල් බලය නිසා තමන් මහ ඉහලින් තබාගෙන උන්නත් සියල්ල හැර දා හිස් දෑතින් එහි ගියහොත් කුමන ආකාරයේ පිළිගැනීමක් වේ ? 
"අපරාදෙ ටිකක් කට්ට කෑවත් ජොබ් එකේ ඉන්නයි තිබ්බෙ"ඇයට  කියවින.
දැං බැරි එකක් හොයා ගන්න.සමහරු බැඳලා ළමයිත් ලැබුණට පස්සෙ ජොබ් හොයා ගන්නෙ.
නව ජවයකින් මෙන් නැගිටගෙන සාලයට ආවාය.උදේ ගෙනා පත්රය ටීපෝව  උඩය.ඇය කවදාවත් නැති උනන්දුවකින් රැකියා ඇබෑර්තු පිටු පෙරළුවාය."ජොබ් එකක් තියෙනවා නම් ගෙදර යන්නෙ මොකටද? කාගෙවත් කතන්දර අවවාද අහන්න.... තනියෙන් ඉන්නවා  ඇනෙක්ස් එකක් අරන්. "
 රැකියා නම් මහ රාශියකිඋසස් පෙල  මට්ටමින් බඳවා ගන්නා යම් පිළිගත් තත්වයක රැකියා වලට වයස වැඩිය.ඇයගේ වයසට අනුමත රැකියා වලට කුමක් හෝ පාඨමාලාවක්, උපාධියක් නැත්නම් රැකියා පළපුරුද්ද වත් ඉල්ලා ඇත. මඟුලට සති 3 නිවාඩුවක් අනුමත නොකළ බොස් හා ඔරොප්පු වී සේවා සහතිකයක් ඉල්ලා ගත්තේ නැත. නිකරුණේ ගෙවා දැමූ කාලය උපාධියක් හදාරන්නට වුවත් ප්රමාණවත් .
 "කමක් නෑ මම පොඩි රස්සාවකට යනවා. පොතෙත් ගාණක් තියෙනවා නෙ. කාටවත් නොකියා කාමරයක් අරන් දවල් රස්සාවට යනවා. රෑට කෝස් එකක් කරනවා. ඒක කම්ප්ලීට් කරලා හොඳ රස්සාවකට යනවා. එතකොට මට ඕන නෑ කවුරුවත්."
ඇය තනි සැලසුම් හැදුවාය. දොරේ සීනුව නාද විය. ඇය නැවත මුල වැටුනාය. හ්ම්......පෙන්නන්නම් මගෙ හැටි.යන්න යන කල් මුකුත් වෙනසක් පෙන්නන්න හොඳ නෑ.
මේ පෙරළි කිසිත් නොදන්නා එනිත් සුපුරුදු ලෙස කතා කළේය.සිනාසුනේය.තමන් ගේ වැඩ කර ගත්තේය.ඔහු බැරෑරුම් මුහුණක් මවා ගත්තේ රෑ කෑම මේසයේ දීය.
"සූ මට ඔයා කියන්න දෙයක් තියෙනවා."
ඇහ්....මේ දැන් ? ඔව් ඒකත් හොඳයි.මගෙන් අයින් වෙන්න නෙ ඕන ඇත්තෙ.ඉල්ලනවා කෝටි ගානක වන්දි.ඒක FD එකක් දා ගත්තම රස්සා ඕන නෑ.
 "මේක ඔයා කියන්න තිබුනෙ හුඟක් ඉස්සර.....ඒත් ඔයාලගෙ ගෙදරින් මට අකමැති  වෙයි කියල නොකිව්වෙ"
එච්චර කල් ඉඳන් තියෙන නාඩගමක් ? මාව රවට්ටලා මදිවට අපේ අම්මලා ත්....මූ ගැන හොයා බලන්න එකෙක් හිටියෙ නැද්ද දෙයියනේ
 "මගෙ අම්මා නෑ කිව්වට ඇත්ත කතාව  අම්මයි තාත්තයි ඩිවෝස් වුනේ අපි පුංචි කාලෙ. තාත්තා මාව ගත්තා.අම්මා නංගි අරන් රට ගියා.එයාල වෙන් වුනා ටිකක් තේරුම් ගන්න පුළුවන් වයසෙ ඉඳන් නංගි මමයි ඉඳහිට මේල් කරනවා.පෙරේදා එයා ලංකාවට ආවා.....ඔයා බලන්නත් ආසා ලු.මේ ළඟ හොටෙල් එකක නැවතිලා ඉන්නෙ. ඔයා අකමැති නෑ නේද එයා ගිහින් මීට් වෙන්න" එනිත් ආයාචනාත්මක ඇසුවේය.
 සුවන්යා හුස්ම ගන්නටත් අමතක .
 "හා..............ඕන නම්.........අපි එයා ................ එන්න කියමු මෙහෙ" ඇය අමාරුවෙන් කියා ගත්තාය.
"මේ...........මේ මම......... එකවුන්ටන්සි කෝස් එකක් කරන්න පටන් ගන්නද?"


Comments