මවු පිය ගුණ වරුණ


වීරසේකර මිස් නෑ නේද අද?"
කාර්යාලයට හසිනි ඉදිරි මේසය දෙස බලා කීවාය.
"ඇයි අද එයාපෝර්ට් යනවා කිව්වා නේද?"
තවත් කෙනෙක් ගෙන් කියවුනේය.
"අහ්....පුතාල එනව අද?"
"නෑ නෑ දුව මහත්තයා ගාවට යනවා කිව්වා." නලිනි උත්තර බැන්දාය.
"අපොයි දුවත් යනවා ? මහ පුදුම දරුවො තමයි. අම්මා තාත්තා සලකන්න ඕන කාලෙ රටත් අත් ඇරල ගිහින්"
"අනේ ඔය මිස් පුතා පිටරට කැම්පස් එකකට යැව්වෙ ඉඩමත් උගස් තියල.මදැයි දැන් සලකන අපූරුව. "
"ලොකු ලොකු තනතුරු වලට ගියා දෙමව්පියෝ මතක නෑ.  මුණුපිරි මිණිපිරියන්ගෙ ආදරේ වත් ලබන්න නෑ මිනිස්සුන් .අනේ අපි නම් කොච්චර අමාරුකම් තිබුණත් අම්ම ලා අපි ළඟ තියන් සලකන්නෙ." හසිනි නැවත කීවාය.
"දිනේෂ් ගෙ අම්මලා ගම දාල එන්න කැමති නෑනෙ.අපි කොහොම හරි මාසෙකට සැරයක් වත් ගිහින් බලල එනවා.පොඩි දෙන්නා පණ ඇරල දෙන්නා" පරදින්නට අකමැති නලිනි කීවාය.
මේ සියළු කතා කන මානයේ සිදු වුවත් අමලි කිසිත් නොකීවාය.කාර්යාලයේ කිසිවෙකුත් නොදැන සිටියාට කලක් වීරසේකර පවුල ආසන්න නිවසක නැවතී සිටි නිසා පවුලත් සමග ඇයට කිට්ටු සබඳතාවයක් තිබුනේය.එරන්ද රැකියාවට විදේශ ගත වී  සඳලිටත් රැකියාවක් සොයා ඇය එහි ගෙන්නා ගත්තේය. සඳලි විදේශ ගත බව ඇසූ අමලි ටත් මේ අයුරින් එදා සිතුණි.
"අපි උපන් දා ඉඳන් අම්මලා ගෙ ජීවිතේ හැම දෙයක් තීරණේ වුනේ අපේ සැප පහසුවට. උදේ ඇහැරෙන රෑ නිදා ගන්න වෙලාව පවා. හම්බ කරන හැම සතේ අපිට වියදම් කලේ. දැන් වත් එයාල ආස විදියට ජීවත් වෙන්න ඕන.කැමති දෙයක් ගන්න කැමති තැනක යන්න ඕන" සඳලි ගේ කියුම පිළිගන්නට අමලි එදා සූදානම් වුනේ නැත.
  පුතාත් දුවත් නැති සාංකාවෙන් සිටින දෙමාපියන් බැලීමට අමලි ඊළඟ සතියේ ගියාය.වීරසේකර මිස් සිනා සිසී ගේට්ටුව අරින්නට ආවාය.ඇගේ අතේ සම්මානනීය නවකතාවකි."බුක් ෆෙයාර් ගියා   හැම අවුරුද්දෙ පුතාලට පොත් ගන්නවා එක්ක  මේවත් එකක් දෙකක් ගත්තට කියවන්න වෙලාවක් තිබුනෙ නෑනෙ."
"අන්කල් නැද්ද ගෙදර?"
"ගෙවතු වගාවක් පටන් අරන් දැන්.හැමදාම කියව කියව හිටිය හොබී එක"
"සඳලි ලා කතා කලේ නැද්ද ආන්ටි"
"හැමදාම හවස අයියයි නංගි පොර කකා ස්කයිප් කතා කරන්නෙ.අද දුවත් ඉන්න දවල් කාලා එයාල එක්කත්  කතා කරමු."
"අනේ කරදර වෙන්න එපා ආන්ටි"
"මොන කරදරයක් , බලෙන් ගෙදර වැඩට කෙනෙකුයි කඩේ යන්න, කාර් එක එලවන්න කෙනෙකුයි ගෙනත් නවත්තලා ගියේ.එයාල ගෙ පඩිත් එවනවා එහෙ ඉඳන්.අපි දෙන්නගෙ පඩිය වන්දනා ගමන් යන්න පිනට දහමට තමා"
කන ළඟ ඇසුන දුරකථන නාදයකින් ඇය පියවි ලොවට ආවාය.
" ....අම්මෙ.උයල ඉවර ? හසිනි ගෙදරට අමතයි..... බිත්තරයක් වත් බදින්න වෙයි.දුව කන්නෙ නෑ නෙ පොඩි මාළු.මේ........
 බේසමේ රෙදි ටික මට හෝදන්න වෙලාව තිබුනෙ නෑ.මගෙ සාරි නම් තිබුනාවෙ.පුතා ගෙ යුනිෆෝම් තමා වැඩේ.....ඒවා වොෂින් මැෂින් දාලත් වැඩක් නෑ ගාගෙන එන කුණු වල හැටියට.අහ්...අම්මා හේදුව ඔක්කොම?!"
ටිකකින් තවත් ෆෝන් එකක් හැඬවෙයි.
"අනේ ඇත්ත ? අද වෑන් එක නැද්ද.හරි හරි මම කියන්නම්......."
"තාත්තෙ.....දවල් ස්කූල් වෑන් එක නෑ ලු. තාත්තා ත්රීවීල් එකක් අරන් ගිහින් පුතා දෙන්න ගේනවද?ලොක්කා අද චෙස් පංති.
කන්න අරන් දීල පංතියට ගිහින් බස්සන්න ඕන.පොඩ්ඩා ශිෂ්යත්ව පංතියට දාලා සර් බාර දීලා එන්න."
"ඔන්න ඊයෙ රෑ ඉඳන් පෙට්රල් ගණන් ගිහින් ආයෙත්." කාගෙන් දෝ කියවිනි.
"අම්මෝ එහෙම ? එහෙනම් අනිත් ඔක්කොමත් ගණන් යයි."නලිනි කීවාය.
දිනේෂ් කියන්න ඕන අප්පච්චි ලව්වා හාල් පොල්  එළවළු ටිකක් වැඩිපුර ලෑස්ති කරන්න. නැත්නම් යනවාටත් පාඩුයි තෙල් පුච්චගෙන. ඇය තමාට කියා ගත්තාය.
අමලි තනි සිනාසුණාය.ළඟ ඉඳන් සලකනව නෙ. මදැයි

10 Secrets To Have An Amicable And Happy Family

Comments