කුමාරිහාමි


සිංහල රජ කාලයේ රාජ සභාවේ මුල් පෙල නියෝජනය කළ මී මුත්තෙක්ගෙන් පැවත එන රාජදෙණිය පරම්පරාවේ වර්තමානය නියෝජනය කරන්නේ රනන්ජය බණ්ඩාර හා පබළු මැණිකේ කුමාරිහාමිය. එවැනි රැස් විහිදෙන පම්පරාවකින් විවාහ වූ පබළු දැන් එතෙර වාසය කරයි.පරම්පරාවෙන් පැවත එන වතුපිටි ඉඩ කඩම් නින්දගම් සියල්ල පාලනය වන්නේ රනන්ජය වෙතිනි.
නිවාඩුවකට ලංකාවට පබළු බලන්නට බොහෝ පිරිසක් ආවෝය. අය හරහා ඇය තමන් නොසිටි කාලයේ සිදු ඇති විස්තර තොරතුරු ඕපාදූප සොයා බැලුවාය.එහි දී කනින් කොනින් ආරංචි වූ පුවතක් ගැන හාරා අවුස්සන්නට ඕනෑ වූයෙන් කුරුණෑගල වත්තෙන් ලීලා කතාවට අල්ලා ගත්තාය.
"කොහොමද ලීලො පැත්ත දැන්?"
" කියන්න තරම් වෙනසක් නෑ අප්පො"
"බණ්ඩාර අප්පො නිතර ඇවිත් යනවද?"
"බණ්ඩාර අප්පො මාසෙකට හමාරකට සැරයක් වත්තට එනවා. වාහනේ තනියෙන් එලෝන එන්නෙ"
"ඒකෙ ඉතින් වරදක් තියෙනවයැ"
" වුණාට.... වුණාට...."ලීලා ගොත ගසයි.
"මොකද්ද බං"
"අනේ අප්පො මට සෝලි ගන්න නං එපා....."
"තෙපර බාන්නෙ නැතුව කියපං මොකද්ද?"
ලීලා වටපිට බැලුවාය."අනේ අප්පො මං කිව්වා කියල නම් කියන්න එපා....මේ මේ අප්පොට මතක මේ වලව්වෙ වැඩ කර කර ඉඳල වත්තට ගිය හින්නිහාමි?"
"මට මතක නෑ බං.මේවයෙ වැඩ කරන උන් එකෙක් ගානෙ මතක තියා ගන්න උඹ මාව කවුරු කියල හිතා ඉන්නෙ?"
"අනේ එහෙම දේකට නෙවේ අප්පො..මේ මේ බණ්ඩාර අප්පො ගෙදර යනව එනව හේමයි"
"මොකක් කිව්වා?"
"හින්නි හාමිට දුවෙක් ඉන්නවා. ඒකි...ඒකි නිසා කියලයි මිනිස්සු කියන්නෙ"
"මොනවද ගෑණියෙ උඹ කියන්නෙ"
ලීලා කතාව අවසන් කරන්නටත් කලින් පබළු කඩා පැන්නාය.
"උඹ කවුරු ගැන කතා කරනවා කියල හිතන්නෙ?උඹේ කට දෙකට ඉරනවා බලා ගනිං"
"අනේ මගෙ අප්පෝ මං සහසුද්දෙන් දන්නෙ නෑ ..මම කිව්වෙ ඇහින් දැක්ක දේ"
ලීලා ඇගේ දෙපා මුල වැටුණාය.
"මොනව බොල තෝ ඇහින් දැක්කෙ?"
පබළු ගිනි පිට වන දෙනෙතින් ඇසුවාය.
"ඒකි ළු කැහැටු දර ඉපලක් වගේ එකියක් .....ඒ වුණා පුතෙක් ඉන්නවා.....ජමිබු ගෙඩිය වගේ"
"ඒකිගෙ මිනිහා වගේ ඇති බං....."
ලීලා තමන් දෙස බැලූ හැටියෙන් වැරදි වචනයක් පිට වූ බව ඇයට තේරුම් ගියේය.
මෙවන් දේ පරම්පරාවට අරුමයක් නොවේ. මුත්තලා කිරි කිත්තලා කාලයේ පටන් එවැනි දේ ඕනෑ තරම් සිදු වුවත් සිද්ධි එතැනින් අවසන් වුණා මිසක දුර දිග ගියේ නැත.ගෙරි මස් කතත් කරේ එල්ලන් කන්න එපා කියනවනෙ.අයියා අපේ පරම්පරාවෙ හැටි නොදන්නවා වගේ.ඇය තනිව සිතුවාය. මේවා සැමියා වත් දැනගත යුතු නැත.එය පරම්පරාවටම ලැජ්ජාවකි.හරි මම හොයා ගන්නම්කො.පබළු තනිව සිතුවාය.
පබළු එවර විදෙස්ගත වුනේ ශක්තිමත් ඔත්තු සේවාවක් ස්ථාපිත කරමිනි.
මව්පියන් රාජකීයයන් වුවත් ඒවා බටහිර අදාල නැත.ලොකු දුව සුද්දෙක් සමග පැටලී ඇතැයි දැන ගත් දවසේ පබළුගේ හිස ගිනි ගත්තේය.ඇය වහා දුවට සුදුසු කෙනෙක් සොයන්න යැයි නිවසට දැනුම් දී පවුල සමග ලංකාවට ආවාය.මනමාලයන් තේරීමේ රාජකාරි ඇරඹුවාය. ඒවා මධ්යයේ වුවත් ඔත්තු සේවයේ ප්රගතිය සොයා බැලුවාය.
"සමන්ලතා ගෙ කොල්ලා පිටරට ගියා අප්පො"
"කොහෙද මැද පෙරදිග ?"
"නෑ,ඇමරිකාවෙ කොහෙද .වැඩිදුර ඉගෙන ගන්න ශිෂ්යත්වයක් ලැබිල"
"හහ්...ඕකුන්ට ලැබෙන ශිෂ්යත්ව.අපේ අයියා සල්ලි දීලා වෙන්න ඇති" ඇය තමන්ට කියා ගත්තාය.
"උන් දැන් පිල්ලෑවෙ කෑල්ලෙ ගෙයක් හදනවා"
"මොනවා.උන්නු තැනක වැටිලා ඉන්නවා මිසක් උන්ට කොහෙද එච්චර හයියක්.අපේ අයියගෙ හයිය අරන් වෙන්ඩෑ"
මෙතෙක් නිහඬ සිටියත් දැන් ක්රියාත්මක නොවුණොත් රාජදෙනිය පරම්පරාව අවසන් .ඇය කෙළින් අයියා වෙත ගියාය.
"කුරුණෑගල වත්තෙ ගෙවල් හදනව හින්නිහාමි ලා.?"
රනන්ජය නිහඬ ඇය දෙස බැලුවේය.
"හ්ම්..."
"එහෙම කොහොමද අපේ ඉඩම් වල උන් ගෙවල් හදන්නෙ?"
" පවුලට මම අක්කරයක් ලියල දුන්නා. පරම්පරා ගණනක් අපිට කැඹරුවට"
පබළු ගේ යක්ෂයා ඔළුවට වැහුණේය.
"අයියට මොන පිස්සුවක් ගහල ?මේවා අපිට මහ වාසලෙන් පවරපු නින්ද ගම්.ඕකුන් ඉන්නෙ අපිට කඹුරන්න තමා.ඔහොම හැම එකාට මේවා දොර දන් දෙන්න ගියා අපේ ලමයි පාරට බහින්න වෙන්නෙ?"
පබළු මහ හඬින් බෙරිහන් දෙද්දී අහල පහල සිටි හැමෝම දිව ආහ.එහෙත් කිසිවෙක් අයියා නංගි වලි වලට මැදිහත් වන්නට තැත් නොකළහ.
රනන්ජය කට ඇරියත් කිසිත් නොකියා කට වසා ගත්තේය.
"එපා අප්පච්චි දොස් කියන්න"පබළු   හරස් කපමින් රනන්ජය ගේ දුව රන්මිණි කීවාය.
"දොස් කියන්න.....උඹල දන්නවද අප්පච්චිගෙ හපන්කම්.එක එක ගෑණුන්ගෙ මායම් වලට අහුවෙලා අපේ පරම්පරාගත ඉඩ කඩම් තව කී දෙනෙක් ලියල දන්නවද? අයියා අර අවලං ගෑණිට යි ඒකි ගෙ කොල්ලටයි දෙන්න ඕන නම් අයියා හම්බ කර ගත්ත දෙයක් දෙන්න.අයියා කරපු පව් වලට මේ රාජදෙණිය පරම්පරාව පලි නෑ"පබළු කලින්ටත් වඩා තදින් ගෝරනාඩු කළාය.
"සමන්ලතා කතන්දර හදන්නෙ නැතුව නැන්දා ඕක නවත්තන්න" රන්මිණි නැවත කීවාය.
"හහ් උඹත් එහෙනම් දන්නවා.උඹටත් ඒකි ලොකුයි.යසයි අයියා අල්ලගෙන ඉන්න තෝල්කයා"
පබළු එවර ඇය කඩා පැන්නාය.
"දුව ඇති ඔය"
කතාව දුර ගියා වැඩි බව දුටු රනන්ජය රන්මිණි නවත්වන්නට තැත් කළේය.
"අයාලේ ගිහින් දරුවෙක් බඩට ආව  දන්න ජාති ඔක්කොම කරල  දරුව නැති කරන්න හදල බැරි වුණා  හොරෙන්  උපද්දලා කුණු මස් කෑල්ලක් අයින් කරන ගාණට  දරුවා  උපන් මොහොතෙ  අයින් කරල පරම්පරාවෙ බලයයි සල්ලියි වලින් නා මලින් උපන් කුමාරි වගේ දීග ගිය කුමාරිහාමිලා  වඩා හාමු ගෙ ගෙදරින් විසි කරපු දරුවා  තමන්ගෙ දරුවෙක් වගේ බාරගෙන ජීවිතේ   දරුවා වෙනුවෙන් පරිත්යාග කරලා ලෝකෙන් එන  හැම නව නිංගිරාවක්  ඉවසගෙන ඒත් කවදාවත්  අයිතිය ඉල්ලගෙන නාපු සමන්ලතා ලොකුයි තමා "හෙණය පිපිරුවේය.එක හුස්මට කියාගෙන ගිය කතාවේ අගමුල ගලපා ගත නොහැකි  ප්රේක්ෂකයෝ ගල් ගැසී සිටියහ.
"මොකක්?"පබළුගේ සැමියා මුලින්  නිහඬ බව බින්දේය.
රන්මිණි ඩයරියක් ගෙනැවිත් නැන්දා අසල මේසයට අත හැරියාය."මේක තිබුණෙ අප්පච්චිගෙ පොත් අල්මාරියෙ.නැන්දා අඳුනනවා ඇති නෙ සීයගෙ අත් අකුරු.මේ අවුරුද්ද දින වකවානු අමතක නැතුව ඇති නෙ."
"පිවිතුරු කුමාරිකාවො ගරු නම්බු ලබද්දි අනුන්ගෙ පව් හේදුවෙ අප්පච්චි. රට්ටුන්ගෙන් කතා අහගෙන අප්පච්චි කළේ රාජදෙණිය ලේ වලට සාධාරණයක් කරපු එක"
රන්මිණි  නැවැත්වීම පහසු නැත.
සිහිසන් නැතිව ඇද වැටුණ පබළු කුමාරිහාමි අල්ලා ගන්නට රනන්ජය ඉදිරියට පැන්නේය.

Profile of a Well Dressed Woman Wearing Various Ornaments - Ceylon ...

Comments

Post a Comment