නැගිටින්න ආයෙත්


"ටිලිං ටිලිං පාසල අවසන් වන සීනුව වැදුනේය.
"යෝවද තං...." කියද්දී පොත් ටික බෑගයට ඔබා  "සංඝමිමං සර නත්තමුපේමි" කියන ටිකට ගේට්ටුව ගාවට රේස් දුවන කොලු කෙලි රැල නවත්වන්නට පන්ති කාමරයේ  රැඳුන අවන්ති 11.30 පන්ති ඇරී පාසල් පුස්තකාලයට මුල් ඇද සිටින දුවත් කැටුව තවත් ටික වේලාවක් පාසලේ රැඳී ගේට්ටුව ළඟ තදබදය තරමක් සමහන් වෙද්දී බස් නැවතුමට පැමිණ නිවසට යන්නට බසයට නැගුණාය.අතරමග දී දිවා සුරැකුමේ සිටින පුතා ගත යුතුය.ඇයට වසර ගණනකට පෙර අතීතය සිහි විය.
 මෙතෙක් උගන්වමින් සිටි බාලිකා පාසලෙන් සමු ගෙන රටෙන් බාගයක් දුර පසු කර තරමක් ගම්බද පාසලකට මාරු වන්නට අවන්තිට සිදු වුණේ විවාහය නිසා .එසේ ගියත් හැකි සැමවිට තමන් ගේ ගෝල බාලයන්ගේ විස්තර සොයා බලන්නට ඇය උත්සාහ කළාය.
"ඔයා කළේ රස්සාව. ළමයි ඉගෙන ගත්තද නැද්ද ඔච්චර වද වෙවී හොයන්නෙ මොකටද?" සැමියා විටෙක කියයි.එහෙත් ගුරු හිතක හැටි දන්නේ තවත් එවැන්නෙක් පමණි. අවන්තිගේ නව පාසලට යන්නට පාරවල් දෙකකි.වල ගොඩැලි බහුල කෙටි පාරත් කාපට් කළ දිග පාරත්ය.මෙතෙක් කෙටි පාරේ බස් රියේ වළවල් වල වැටෙමින් උඩ විසි වෙමින් පාසල් ගිය ඇය තමන් මවක් වන්නට යන බව දැන ගත් පසු පැය බාගයක් කලින් ලැහැස්ති වී දිග පාරෙන් යන්නට තීරණය කළාය.
පාරේ බසයට නැගුණ මුල් දවසේ හුරු පුරුදු මුහුණක් ඇයට නෙත ගැටුණේය.බසයේ යන මුළු කාලය පුරා කවුදැයි කල්පනා කළ අවන්ති කලින් පාසලේ තම සිසුවියකගේ මව බව සිහි විය.ඇය විමසිල්ලෙන් මුහුණ දෙස බැලුවාය.එහෙත් බිම බලා ගෙන .තමන් දකින්නට නැති බව සිතූ අවන්ති පහුවදා විමසිල්ලෙන් බසයට නැග්ගාය.ඇය කලින් දා තැන ඉඳගෙන බසයෙන් ඉවත බලාගෙන සිටියි. අවන්ති කොතෙක් උත්සාහ කළත්  ඇගේ අවධානය දිනා ගත නොහැකි විය.
මටත් පිස්සු ...එක වගේ අය කී දෙනෙක් ඉන්න පුළුවන් ?හැමදාම පන්තිය ගාවට දුව එක්කගෙන ඇවිත් ආයෙ එක්කගෙනත් ගිය අම්මට පන්ති භාර ගුරුවරයා අඳුනන්න බැරි ?මේ තරම් දුර පැත්තක කොහෙ එන්න එයාලා..... අවන්ති තම සිතුවිල්ල ගැන සිනාසුණාය.
තවත් මාස ගණනකින් නිවාඩු යන නිසා සිසුන්ට විෂය නිර්දේශය ආවරණය කිරීමට අවන්ති හවස් වරුවේත් පන්ති පැවැත්වූවාය. පන්තියක් අවසන් යන්නට බසයට නැගුණ ඇය වැඩි සෙනගක් නැති බසයේ කාන්තාවත් සිටිනු දැක්කාය.අවන්ති වෙනසක් නොදක්වා අසුනක හරි බරි ගැසුණාය.
"මේ අවන්ති ටීචර් නේද?"ඇය හැරී බැලුවාය. කාන්තාව ඇය අසල .
"මේ......වසුන්දරා ගෙ අම්මා ?මම හිතුවා මට වැරදුණා කියල"
අවන්ති පුදුමයෙන් කීවාය.
"වැරදුණේ අපිට ටීචර්"අනුමැතියකින් තොරව අසුනේ ඉතිරි ඉඩේ වාඩි වූ ඇය වරින් වර කඳුළු පිසිමින් මහා කතාවක් කියාගෙන ගියාය.
සාමාන් පෙළ විභාගයට පෙනී සිටි වසුන්දරා පරිගණක පන්තියකට ඇතුළත් කර ඇත.මුල් දවස් ටිකේ දී පන්තියට ඇරලවා ආපසු එක්කගෙන යන්නටත් අම්මා ආවත්"ළමයි හිනා වෙනවා අම්මා පස්සෙන් එද්දි.මම එන්නං යාළුවො එක්ක"කියමින් ඇය පෙරළි කළාය.ඉන් පසු ඇයට යහළුවන් සමග පන්ති යන්නට එන්නට දුන් නිදහසේ ප්රයෝජන ගෙන තිබුණේ පන්තිය ළඟ හන්දියේ ත්රීවීල් රියදුරෙකි. සම්බන්ධය දැනගෙන මාරාවේශ වී ගෙදර තාත්තා ජීවිතයේ මුල් වතාවට වසුන්දරා හොඳට පහර දී නිවාස අඩස්සියට පත් කර ඇත.නමුත් පැරදුනේ මාපියන්ය.දින දෙකක් ඉක්ම යද්දී ඇය අපායක් වූ නිවසින් මිදී පෙම්වතා සමග සුර සැප විඳින්නට ගොස් තිබුණි.
"ළමයි පරිස්සම් කරන්න ඕන උපරිමෙන්. හැබැයි  අනතුර ගැන හරි විදියට දැනුවත් කරලා"
අවන්ති වරක් ගුරු දෙගුරු සමිතියක් ආමන්ත්රණයට පොලිසියේ ඉහළ නිලධාරියෙක් කී උපදෙසක් සිහි විය.
තමන් පෙනී සිටි සෑම සමාජයක් තුළ ආදර්ශවත් ගරු කටයුතු චරිතයක් වූ වසුන්දරා ගේ පියා එක දරුවාගේ ක්රියාවෙන් සම්පූර්ණයෙන් කඩා වැටුණේය.නිවසට මුළු ගැන්වුණ ඔහු වැඩි කල් නොයා අංශබාගයෙන් ඔත්පල වුණේය.කරදර තවත් අවසන් නැති බව හැඟුණේ දිනක් උදේ පාන්දර ඇඳිවත පිටින් මාස කීපයක ගැබිණියක් ලෙස පහර කෑමෙන් තැලුන නිල් වුණ ඉදිමුණ අඟ පසඟින් යුතු වසුන්දරා දොරකඩ පෙනී සිටීමෙනි.
වසුන්දරා ගේ දරුවා ඉපදීමත් පියා මෙලොව හැර යාමත් එක කාලයක දී සිදු වෙද්දී ඔවුන් තව දුරටත් පරිසරයේ ජීවත් වීමට ආර්ථික හා සමාජීය හැකියාවක් තිබී නැත. සියළු ප්රශ්න තම හිසින් ගත් වසුන්දරා ගේ මව ඉතිරි තිබූ සියළු චංචල නිශ්චල දේපල විකුණා ණය තුරුස් බේරා ඉතිරිය බැංකු ගත කර දුර ඈතක ජීවත් වූ එක සොයුරියගේ උදව් පතා ආවාය.
දැන් මේ පැත්තේ ඔවුන් දන්නා කෙනෙක් නැත.දිනෙන් දින ලොකු මහත් වන දරුවා සමග වගකීම් වැඩි වෙද්දී බැංකුවෙන් ලැබෙන පොළිය සොච්චමක් විය. නිසා ඇය  දවස් කුලියට රෙදි කඩයක වැඩට යයි."මිස් එන්නකො වෙලාවක.කෙල්ල මුළු ගැන්නිච්ච ගමන් මයි"
බසයෙන් බසින අවන්තිට ඇය කීවාය.
මේ කාලයේ පුළුවන් තරම් හිත සන්තෝසයෙන් ඉන්නැයි උපදෙස් ලැබුණත් අවන්තිගේ ගුරු හිත ඊට පෙරටු නිසා ඇය තම ගෝලයා බලන්නට ගියාය.
අවන්ති දුටු සැණින් වසුන්දරා හඬා වැටුණාය.
"මම හරි කාළකණ්නි දුවෙක් මිස්.අම්මගෙයි තාත්තාගෙයි හැමදේම නැති කලා.සමාජෙට මූණ දෙන්න බැරි කරලා පාරට ඇදල දැම්මා. තාත්තාව මරා ගත්තා. අම්මා මමයි මේ දරුවයි රකින්න පිට මිනිස්සු ගාව දුක් විඳිනවා." 
"වසුන්දරා මුකුත් රස්සාවක් බැලුවෙ නැද්ද?"
අග හිඟකම් හොඳින් පෙනෙන ගේ දොර දෙස බලමින් අවන්ති ඇසුවාය.
"පුතා තාම පොඩි වැඩි මිස්.ටිකක් ලොකු වුණා   අම්මා ගාව තියලා රට වත් යන්න හිතන්නෙ.වෙන මොන සුදුසුකම් ?ඉගෙන ගන්න කාලෙ ඒක හරියට කර ගත්තෙත් නෑනෙ"
"ගෙදර ඉඳන් කරන දෙයක් බැලුවෙ නැද්ද. බිස්නස් එකක් වගේ"
"ට්රයි කලා  කීපයක්.පුතා එක්ක අමාරුයි.ඒවට කැප වෙලා කරන්න එපැයි"
දොරට තට්ටු කළ හඬක් නිසා වසුන්දරා කඳුළු පිහදා එළියට ගියාය.ඇය නැවත ආවේ කුඩා දරුවෙකු වඩා ගෙන .
"එහා ගෙදර අක්කගෙ බබා.එයා කොහෙ හරි යනවා නම් මගෙ ළඟ තියල යන්නෙ"
"ඔයා  දෙන්නෙක් බලා ගන්න පුළුවන් ?"
"දැන් ගාණක් නෑ මිස්.මට දැන් හොඳට  කරන්න පුළුවනුත් එච්චර තමා.වෙලාවකට අක්කා ගෙ මොන්ටිසෝරි යන ලොකු බබාත් මෙහෙ තියල යන්නෙ."
අළුත් අදහසක් ආවෙන් අවන්ති වහා වසුන්දරා දෙස බැලුවාය.
"ඉතිං ඒක කරන්නකො"
ඇය කියන දේ වසුන්දරා  තේරුනේ නැත.
"මොකක්ද මිස්?"
"පොඩි බබාල බලා ගන්න එක.රස්සාවල් කරන තරුණ අම්මලාගෙ ලොකු  ප්රශ්නයක් ඕක.බබාව තියල යන්න විශ්වාසදායක තැනක් නෑ.බාර දෙන්න හොඳ කෙනෙක් නෑ.සමහර  රස්සා වලටත් වඩා ලොකු පඩියක් දීලවත් හොඳ කෙනෙක් හොයා ගන්න බෑ. මගෙ යාළුවො කීප දෙනෙක්  හොඳ රස්සාවල් අත් ඇරියා බබාල බලා ගන්න කෙනෙක් නැතුව. බබාල බලා ගන්න අය කරන වැඩ ගැන ඇහුව  මට මේ ලැබෙන්න ඉන්න දරුවා ගැනත් බයයි."
--------------------------------------------------------------------------------------------------------------------------
"පන්සල් හන්දිය බහින්න.ඩේ කෙයා ඩේ කෙයා"
කොන්දොස්තරගේ හඬින් ඇය පියවි ලොවට ආවාය.
"අම්මෙ බහිමු,බහිමු" කියාගෙන දුව ඉදිරියට යයි.ඇයට මල්ලී බලන්නට වගේ  තමන්  පොඩි කාලයේ බලා ගත් වසුන්දරා ඇන්ටි බලන්නටත් හදිස්සිය.



Comments