රහසක්


අනුප් මේධා මුණ ගැහුණෙ සාමාන් පෙල අවසන් වෙලා යන්න ගත්ත පරිගණක පාඨමාලාවේ දි.මොන හේතුවක් මන්දා දුටු සැනින් අනුප් ගෙ හිත කාන්දමක් වගේ මේධා ඇදී ගියේය.මේධා තමන් දිහා බැලුවොත් දැනුනෙ කරන්ට් වැදුනා වගේ.හිනා වුනොත් ඉරවල් හතක් පෑව්වා වගේ.කතා කළොත් අම්මෝ අහසෙ පාවෙනවා වගේ.ප්රායෝගික පන්ති වලට කණ්ඩායම් බෙදද්දි දෙන්නා එක කණ්ඩායමක වැටුන අනුප් දැනුනෙ ලිස්ට් එක හැදුව කෙනා බදා ගන්න තරම් සන්තෝසයක්. මේධා කම්පියුටර් ගැන මෙලෝ දෙයක් නොදැන සිටීමත් අනුප් ලැබුණ අමතර වාසියක්.කලින් ගෘප් එකේ යාළුවො කීප දෙනෙක් අල්ලගෙන මොනවද කළේ කොහොමද කළේ වරදින තැන් අහගෙන ගෙවල් ළඟ පාත හිටිය අයියා කෙනෙක්ගෙනුත් උපදෙස් අරන් අනුප් පන්තියට යන්නෙ සන්නද්ධ සෙබලෙක් ගානට.පන්තියෙදිත් කොහොම හරි මේධා කිට්ටුවෙන් ඉඳ ගෙන කම්පියුටරේ දිහා හොර ඇහැ දාගෙන ඉන්න අනුප් කාට හරි වැරදුනොත් සර්ට පේන්න කලින් හදා ගන්න විදි කියා දුන්නේය.මෙසේ පිහිට ලැබූවන් අතර මේධා ඉදිරියෙන් විය.මේ නිසා අනුප් පන්තියේ කම්පියුටර් වැඩ්ඩෙක් ලෙස නමක් හදා ගත්තේය.කල් යද්දී මේධා කලින් ඇවිත් තමන් ළඟ පරිගණකයක් අනුප් වෙනුවෙන් වෙන් කර සිටියාය.එවන් විශිෂ් පියවරක් පවා පැන ගන්නට සමත් වුවත් මොන කරුමයකටදෝ අනුප් තමන්ගේ හිතේ ඇති අදහස ගැන වචනයක් වත් මේධා කියා ගන්නට තවම නොහැකි විය.හැමදාමත් අද නම් කොහොම හරි කියනවා යයි හිතාගෙන ගියත් වෙන දේවල් ගැන කතා කරමින් කාලය ගත වෙයි.අන්තිමේ අනුප් තම අඹ යාළුවා පවන් මේ ගැන කීවේය.
"උඹ මාර මිනිහෙක් නෙ බං.මං හිතුවෙ දැනටම සෙට් කියලා"
"පිස්සු බං මට කොහොමවත් වචන එන්නෙ නෑ ඒකි ගාවදි ඕක කියා ගන්න..... වුණා මේධාට තේරිලා තියෙන්නෙ මගේ හිතේ එහෙම දෙයක් තියෙනවා කියල"
"ඇයි ඒකිට පරචිත්ත විජානන ඥානය තියෙනවද? උඹ ගොංකම විතරක් කරන්න එපා.ඒකිට දැනෙන තේරෙන කල් උඹ හිත හිතා ඉන්න කොට ඒකි අගේට උඹ ලව්වා එසයිමන්ට් ටිකත් කරගෙන ඩිප්ලෝමා එක ගොඩ දා ගනී.අන්තිමට කියයි මගෙ හිතේ එහෙම දෙයක් නෑ උයා මගේ හොඳ යාළුවනේ කියල" පවන් කට ඇද කරමින් කියයි.
"මෙහ්... ඒකි ෆේස්බුක් නැද්ද?"පවන් නැවත අසයි.
"ෆේස්බුක් තියා ෆෝන් එකක් වත් නෑ. යාළුවෝ කෝල් ගන්නෙත් ගෙදරට හරි අම්මගෙ ෆෝන් එකට හරි."
"ඔන්න ඕක නෙ ගෙවල් වල මිනිස්සු එක්කත් බැරි.නැත්නම් උඹට කටින් කියන්න බැරි දේ මැසේජ් කරන්න තිබුණා"
පවන් කෙසේ කීවත් මේධාගේ හිතේත් තමන් ගැන අදහසක් ඇති බව අනුප්ට හොඳට විශ්වාසය. මේධා ඔහු කොතරම් වෙනස් කළා යත් තමන්ගේ රෝස පාට කමිසයට මේධා කැමති බව වටහා ගත් ඔහු මෙතෙක් පෙන්නන්නට බැරි සිටි එය නිතර පන්තියට අඳියි.එය ඇන්ද දාට ඇය තමන් දෙස බලා සිටින බව ඔහු නිරීක්ෂණය කර ඇත.
පන්තිය අවසන් වීමට ඇත්තේ තව දින කීපයකි.අනුප් තාමත් පටන් ගත් තැන .විවිධ උපදෙස් දී ඵල රහිත වෙද්දී පවන් දැන් බනින්නට පටන් අරන් ඇත.
"ලබන සතියෙ සෙටිෆිකට් එවෝඩින් එකෙන්  පස්සෙ ඔක්කොම ඉවරයි.උඹ දැන් වත් හරි පිරිමියෙක් වගේ ඕක අහපං.නැත්නම් වෙන එකෙක් ඒකිට සෙට් වුණා හූල්ල හූල්ල බලා ඉඳපන්."
අනුප් සිත දැඩි කර ගත්තේය.කණ්ණාඩිය ළඟට වී දහස් වතාවක් මේධාට කියන දේ ඇය දිය හැකි පිළිතුරු ඒවාට ගැලපෙන පිළිතුරු පුහුණු වුණේය.රටක් දිනූ සෙන්පතියෙක් ලෙස උත්සවයට ගියේය.
"අනුප් මට ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා.මේකෙන් පස්සෙ යන්නෙ නැතුව පොඩ්ඩක් ඉන්න"
අනුප්ගේ කොඳු ඇට පෙළ සීතල වී කටේ කෙළ සිඳී ගියේය.
මළා.මං අහන කල් බලා ඉඳලා ඉඳලා බැරි තැන කෙල්ල මට ටෝක් කරන්න එනවද? හොඳ වෙලාවට පවනා ළඟ නැත්තෙ.ෂික් විතරක්.මොන බූරුවෙක් මන්දා මං.
මුළු උත්සවය පුරා අනුප් සිටියේ වෙන ලෝකයකය.ළඟ සිටි සගයා උරිස්සට තට්ටු කරන තුරු ඔහුට තමන්ගේ නම කියවෙනු වත් නොඇසුණේය.
උත්සවය අවසන් ඔහු කාන්දමක් මෙන් මේධා පසුපස ශාලාවෙන් එළියට ඇදුනේය.
"මම මේක ඔයාට කියන්න කල්පනා කළේ ගොඩක් කල් ඉඳන්.ඒත් ඒක කියන එක හොඳ නැද්ද කියලයි මෙච්චර කල් හිතුවෙ"
අනුප් හුස්මක් ගත්තේය.ඇයට කලින් තමන් වචනය දාන්නට ඕනෑය.නැත්නම් හැමදාමත් ඇය මේක  කියමින් නෝන්ඩි කරනු ඇත.
"මමත් ඔයාට කියන්නමයි හිටියෙ......."
"ඔයා අර රෝස පාට ෂර්ට් එක ආයෙ අඳින්න එපා.ඔයාට ඒක ඇන්ද හරි ගර්ලිෂ් පාටයි."
අනුප්ගේ වචන හිර වුණේය.කන් නෑසී ගියේය.හුස්ම අමතක වී එතැන ගල් ගැසුණේය.ඔළුව ඇතුළේ පරමාණු බෝම්බයක් පිපිරුනේය.නැවත සිහි කල්පනාවට එද්දී මේධා ගිය අතක් වත් නැති විය.


Comments