මට කොහෙද වැරදුණේ


මාස ගණනක් තමන්ගේ ආදරය ඉල්ලා පස්සෙන් දමයන්තට අවසානයේ කැමැත්ත දුන්නත් ඉන් පසුවත් රන්දිනී ගේ හිතට සැනසීමක් නැත.තාත්තාට පාසල් ප්රේමය යනු නයාට අඳුකොළ වැනිය. ඊටත් වඩා දමයන්තගේ පවුලට තමන්ගේ පවුලෙන් කැමති නොවන බව 100% ෂුවර්ය.
දමයන්ත හොඳ ජොබ් එකකට ආවොත්...
ඇය තනි කල්පනා කළාය.
"ඔයා මෙඩිසින් යන්න ට්රයි කරන්නකෝ" තමන්ගේ හිතේ කලබල කිසිත් නොකියා ඇය දමයන්ත කීවාය.
දමයන්ත ඇය දෙස බැලුවේ රටේ ජනාධිපති වන්නට කීවාක් මෙනි.
"ඒවා ඉතිං හීන තමා.ඉස්කෝලෙ කවදාවත් සිලබස් කවර් කරන්නෙ නෑ.හොඳ ක්ලාස් වත් මෙහෙ නෑ. කොළඹ වත් යන්න ඕන."
"කොළඹ යන්න ඕන නෑ....."
ඔහුගේ කල්ලි ගැසීමේ දොළ දුක දන්නා රන්දිනී කීවාය.
...ඔයා පාඩම් කරන්නකෝ.මම නෝට්ස් හොයල දෙන්නම්"
රන්දිනීගේ අල්ලපු ගෙදර සිටි මයෝමාට නිවසට ගුරුවරු ගෙනැවිත් ටියුෂන් දෙයි. කලා අංශයේ උගෙනමින් බයෝ නෝට් ෆොටෝකොපි කිරීම අනවශ් අවදානමක් නිසා හොර පාරෙන් ඇගේ නෝට්ස් ඉල්ලාගත් රන්දිනී රෑ එළි වන තුරු ඒවා නැවත ලිව්වාය. පසුවදා දමයන්ත ලබා දුන්නාය. දමයන්තටත් ඇගෙන් ගැලවීමක් නැත. පන්තියේ විභාග ඇති දින දමයන්තගේ පන්තියේ යෙහෙළියකගෙන් දැන ගන්නා ඇය විභාග වලදී දමයන්ත ලබා ගත් ලකුණු ඇසීමෙන් පමණක් නොනැවතී ඔහුගේ ප්ගති වාර්තා පොත බලයි. පන්ති වලදී කිසිම තක්කඩි වැඩක් කරන්නට පන්ති කට් කරන්නට ඉඩක් ඇත්තේ නැත.
උසස් පෙළ ප්රතිඵල නිකුත් විය.දමයන්ත මෙඩිසින් රෑන්ක් එකකට යාම ගුරුවරුන්ගේත් රෑ නිදි මරා පාඩම් කළ රන්දිනි යන්තම් පාස් වී තිබීම ඇගේ දෙමාපියන්ගේත් විස්මයට හේතු වී තිබුණේය.
රන්දිනී ගේ සතුට නිම් හිම් නැත.බොහෝ කලක් රුපියලෙන් රුපියල එකතු කළ හුරුබුහුටි කැටය බිඳ මුදලින් ඇය ඔහුට ජංගම දුරකථනයක් තෑගි දුන්නාය.
"ඔයත් ආයෙ විභාගේ කරන්න කැම්පස් යන්න.."
ඉගෙනීමේත් අගයක් ඇති බව මේ වෙද්දී වටහාගෙන සිටි දමයන්ත කීවේය.
"දොස්තර කෙනෙක්ගෙ ජීවිතේ හරි බිසි නෙ. අපි දෙන්න ජොබ් කරලා බිසි වුණොත් පවුල් ජීවිතයක් නැති වෙයි නේ......රන්දිනී මහා දැනුමැත්තියක ලෙස කීවාය.
....හැබැයි කැම්පස් ගියා ඔයාට මාව අමතක වෙයි දන්නෙ නෑ"ඇය යටැසින් බලමින් කීවාය.
"පිස්සු රන්දි....එහෙම නම් මම මැරිල උපදින්න ඕන"දමයන්ත ආදරය උතුරන දෑසින් පොරොන්දු වූයේය.
පොරොන්දුව කෙසේ වුවත් විශ්ව විද්යාලයට ඇතුල් වූ දමයන්ත ගේ ඇමතුම් ගණනින් අඩු වෙන්නටත් කාලයෙන් කෙටි වන්නටත් විය. මැසේජ් වලට නම් පිළිතුරු ලැබුනේ නැත.
"ඔයා තේරෙන්නෙ නෑ රන්දි....මම හරි බිසී....කැම්පස් ගැන ඔයාට තේරෙන්නෙ නෑ. quizzes, tests, practicals, lab sheets,word rounds,assignments දවස ගානෙ......ආර්ට්ස් ඩිග්රි එකක් වගේ නෙවේ.... ඩොක්ටර් කෙනෙක් කියන්නෙ ලේසි වැඩක්ද?...." කතා කරන විට ඔහු කියන සමහර දේ ඇගේ හදවත පසාරු කර ගෙන ගියත් ආදරයේ නාමයෙන් ඉවසා සිටියාය.
නමුත් ඇත්තට ඔහු මැරී යලි ඉපදී ඇති බව ඇස් පනා පිට දුටු කෙනෙක්ගේ සාක්ෂියකින් ඔප්පු වන්නට වැඩි කලක් ගත නොවුණි.
----------------------------------------------------------------------------------------
වෛද් විද්යාලයට දමයන්ත මුහුණ දුන්නේ ලෙහෙසි පහසු අභියෝගයකට නොවේ. බයෝ ඉගෙන ගන්නා සුවහසක් සිසුන් අතරින් ඉහළ ලකුණු ගන්නා අතළොස්සක් පමණක් මේ උපාධියට තෝරා ගන්නේ ඇයි දැයි ඔහුට තේරුම් ගියේ එක් වර හිස මත කඩා වැටුණු වැඩ කන්දරාවත් සමගය.කෙසේ හෝ ජය ගත යුතු අභියෝගයට ඔහු පිහිටට ආවේ සුසාරි .සුසාරි වචනයේ පරිසමාර්ථයෙන් පොත් කාවියකි. ඕනෑ academic දෙයක් සැනින් මතක තබා ගත හැකිය.නමුත් ඇගේ සමාජීය සම්බන්ධතා වූයේ ඉතා අවම මට්ටමකය.නගර බද ජීවත් වූ ඇයගේ ගමනාගමනය සීමා වී තිබුනේ තාත්තා ගෙ කාරයෙන් පාසල් ගේට්ටුව අසලටත් නැවත එසේ නිවසේ පෝටිකෝවටත් .ඇයට ටියුෂන් දී තිබුනේ ගුරුවරු නිවසට ගෙන්වීමෙනි. පාසලේ සිටි අතේ ඇඟිලි ගානට සමාන වූ යෙහෙළියන්ගෙන් කිහිප දෙනෙක් සරසවි වරම් ලබා තිබුණත් කිසිවෙක් මේ විශ්ව විද්යාලයට තේරී නොතිබුණ නිසා සුසාරි ගත කළේ බොහෝ හුදකලා දිවියකි.සරසවිය තුළ පාරවල් සොයා ගැනීම කැන්ටිමෙන් කෑම මිල දී ගැනීම පවා ඇයට ඉතා දුෂ්කර විය.දමයන්ත සුසාරි සුසංයෝගය අන්ධයාට කොරා මුණ ගැසීමක් බඳු විය.
තමන්ගේ අනාගතය ගොඩ නංවා ගන්නට නම් රන්දිනීට වඩා පිටුවහලක් සුසාරිගේ පවුලෙන් ලැබෙන බව තේරුම් ගත් දමයන්ත රන්දිනී අමතක වන්නට වැඩි කලක් ගත නොවුණේය.
අවුරුදු ගණනක මහා පරිශ්රමයකිනුත් සුසාරිගේ නොමද උදව්වෙනුත් දමයන්ත වෛද්යවරයෙක් ලෙස පත්වීම් ලැබුවේ නැවත කිසිම දා පොතක් නම් පාඩම් නොකරමි යන මහා අධිෂ්ඨානයෙනි.නමුත් සුසාරි එයට සම්පූර්ණ ප්රතිවිරුද්ධ විය.තව තවත් අධ්යාපනය ලබමින් ඉහළටම ඉගෙනීමේ ඇගේ ආශාව විවාහයෙන් පසුව වත් දරුවා ලැබෙන්නට සිටි කාලයේවත් වෙනසක් වූයේ නැත.
රාජකාරිය සමග මහත් සේ කාර්ය බහුල සිටි වෛද් දමයන්ත යන්තම් ඉසිඹුවක් ලද මොහොතක දුරකථනය පරීක්ෂා කිරීමේ දී අන්දුන් කුන්දුන් වූයේය.සුසාරිගෙන් missed call බර ගණනකි.ගෙදරවත් කරදරයක් දැයි  හීන් දාඩිය ගලද්දී ඔහු වෙව්ලන ඇඟිලි තුඩින් ඇයට ඇමතුමක් ගත්තේය.
"මාව ලන්ඩන් scholarship එකට තේරිලා...."ඇගේ සතුටෙන් පිරුණ කටහඬ ඇසුණේය.ඇය එවන්නකට ඉල්ලුම් කළ බවවත් නොදත් දමයන්ත පිළිතුරක් දෙන්නට වචන එකතු කළේය.
 "ලබන මාසෙ ස්ටඩීස් පටන් ගන්නවාලු.මම අද හවස ලොකු අම්මලාගෙ ගෙදර යනවා හෙට උදේම එම්බසි යන්න ඕන වීසා හදන්න. ෂොපින් යන්නත් ඕන.මං ගාව වින්ටර් ක්ලෝත්ස් මුකුත් නෑනෙ.අම්මෝ වැඩ ගොඩක් තියෙනවා.කාලෙ මදිත් වගේ ලෑස්ති වෙන්න" ඇය හුස්මක් නොගෙන කියවාගෙන යයි.
"මේ හදිසියේ කොහොමද අපි රට යන්නේ. මම නිවාඩු ගන්නත් ඕන නෙ"දමයන්තට කියා ගත හැකි වූයේ එපමණකි.
 "අයියෝ එහෙන් දෙන ගානෙන් පවුලකට  ජීවත් වෙන්න බෑ බබා.අනික පුතා අරන් ගිහින් එයා බලන්නයි ස්ටඩීස් කරන්නයි ඔක්කොම කරන්නෙ කොහොමද?ඔයා පුතා එක්ක මෙහේ ඉන්න. ලබන අවුරුද්දෙ නර්සරි දාන්නත් ඕනනෙ.බය වෙන්න එපා උදව්වට අම්මලාත් ඉන්නවනෙ" සුසාරි කියාගෙන ගියේ ඔහුට සිතන්නට වත් ඉඩක් නොදෙමිනි.
-------------------------------------------------------------------------------------------------------------------------------------
අවුරුදු දෙකකට විදෙස් ගත වූ සුසාරිගේ අධ්යාපනය වසරින් වසර තවත් දික් ගැස්සුනේ දමයන්ත රෝහලත් නිවසත් අතර හිස් මුදුන තෙක් හිර කරමිනි.පුතා විඳින දුක බලා සිටීමට නොහැකි වූ දෙමාපියෝ දමයන්ත පැත්තට මාරුවක් ගන්නට බල කළහ. දමයන්තගේ කැමැත්තට ඉඩ දුන් නමුත් සුසාරිගේ දෙමාපියන් සමග තමන්ගේ පවුලට පෑහෙන්නට අසීරු බව දෙමාපියෝ නිගමනය කර තිබුනේ බොහෝ කලකට පෙර .දමයන්ත මාරුවක් ගත්තේය.මහ ගෙදර පදිංචි වූයේය. නිකිත පුතා නගරාසන්න ජාත්යන්තර පාසලකට ඇතුල් කර වෑන් රථයකින් උදේ හවස යන්න එන්නට පිලිවෙල කළේය.තමන් දින ගණනක්නිවසේ නැතත් අම්මලා නිකිත ඉතා හොඳින් බලා ගන්නා බව නිසැක නිසා තරමක සැනසිල්ලෙන් රැකියාව කළේය.නමුත් තමන්ගේ හිතේ නොසන්සිඳෙන හිස්තැනක් හා අරුතක් නොතේරෙන පසුතැවිල්ලක් ඔහුට නිරන්තරයෙන් දැනුනේය. අම්මාත් ළඟ නැති දරුවාට තාත්තාගේ ආදරයත් නැති නොකරන්න යැයි අම්මලා බැණ වදින නිසා ඉඳහිටවත් නිතික එළියට ගෙන යන්නට, පාසල ඇරී ගෙදර ඇරලවීමට දමයන්ත උත්සාහ කළේය.ඇත්තට හැල්මේ දිවූ ගමනකින් ඔහුට ඉතිරි ඇත්තේ පුතා පමණකි.
පාසල ඇරී එන වාහන ගංගාව ඇතුළට තමන්ගේ වාහනයත් එකතු කරන්නට තැනක් බලමින් දමයන්ත ඊළඟ ගියරයට මාරු වන්නට උත්සාහ කළේය. "තාත්ති....අපේ මියුසික් ටීචර්!!"තාත්තා තමන් ඇරලවන්නට ඒම ගැන උද්දාම වී සිටි නිතික හඬ නැගුවේය. ගියරයෙන් අත ඉවතට ගෙන වාහනය නවත්වන්නට බලාගෙන දමයන්ත ක්ලච් එකත් බ්රේක් එකත් මත දෙපා තබාගෙන ජනේලයෙන් ඉවත බැලුවේය.
ක්ලච් එක අමතක විය.ජීවිතය බ්රේක් පැඩලයෙන් නතර විය.
 "රන්දි ටීචර් නගින්න නගින්න."
ඉතා සුපුරුදු සිනාවක් කාරය තුළට එබුනේය. "එපා පුතා මම යන්නෙ අනිත් පාරේ"
"ඉට්ස් ඕකේ....අපි ඩ්රොප් කරන්නම්" දමයන්ත අමාරුවෙන් වචන ගැට ගසා ගත්තේය. "නෝ තෑන්ක්ස් ඩොක්ට..මට යන්න පුළුවන්." සුපුරුදු සිනාව සමග නොපුරුදු සරදම් බැල්මක් ඔහු වෙතට තිළිණ විය. ඇය පසු කර වාහනය ඉදිරියට ඇදෙද්දී පිටුපසින් පෙජරෝ රථයේ රියදුරා බිමට බැස ඉතා ගරු සරු පිටුපස දොර ඇර රන්දිනී නග්ගා ගන්නා අයුරු පැති කණ්නාඩියෙන් බොඳ ගිය නෙත් අතරින් දමයන්ත දුටුවේය.

Comments