නෑම


"අපොයි දෙයියනේ මට වෙච්ච දෙයක්"
කාමරයේ ඇඳ උඩ නින්දත් නොනින්දත් අතර හිටිය සුපුන්ට නොපුරුදු කට හඬක් ඇසුණේය.
"දවස ගානෙ කොහේ රවුම් ගැහුවත් මාසෙකට සැරයක් වත් නාපු එකෙක් මං"
හීනයක කෑල්ලක් කියල හිතාගෙන අතෑරලා දාන්න හැදුවත් මේ වෙද්දි සම්පූර්ණයෙන් ඇහැරිලා නිසා ඒක ඇත්තට ඇහෙන කටහඬක් බව සුපුන් ස්ථිරයි.
මේ ඇඳිරි නීතිය වෙලාවෙ ගෙදරට කවුරුවත් ඇවිල්ලද?අපිටත් පොලිසි යන්න වෙන වැඩක් තමා....චූන් පාන් වෑන් එකක් වද්ද? නෑ වෙන්න බෑ.කෝ  නෑනෙ සද්දයක් වත්..... සුපුන් තමන් එක්ක තර්ක කළා.
"උඹ නම් මාසෙකට සැරයක් වත් නෑවා. ඉඳහිට වැස්ස දවසක ඵළියට ගියොත් ඇරෙන්න කවදාවත් නෑව මං? පුදුම කරුමයක් මේ නං"
එකා මදිවට දෙන්නෙක්.මේ ළඟපාතින්මයි ඇහෙන්නෙත්.හොරු ඇවිල්ලවත් ? කියන්නත් බෑ.දැන් මහ දවලුත් ගෙවල් වලට හොරු පනිනවලු.මොනව වුණත් මහ කිලුට්ටො දෙන්නෙක්.සුපුන්ට දැන් නම් බයත් හිතීගෙන එනවා.
"හුහ්....උඹලා එහෙම හරි නාලා තියෙනවා. අව්ව වැස්ස මොන මගුල වුණත් නිකමට වතුර ටිකක් ගා ගත්ත එකෙක් මම. දැන් බලපංකෝ......හයියෝ තෙමිලා තෙමිලා මට කිඹුහුං යන්නත් එනවා.... හච්චෝං......"
මෙච්චර වෙලා ඇඳෙන් නැගිට ගන්නත් බැරි තරම් බයෙන් හිටිය සුපුන් සද්දෙට නම් උඩ විසි වුණා.
බුදු අම්මෝ quarantine නොවී   පැනපු එකෙක් වද්ද? මේ වෙලාවෙ බෝම්බ සද්දෙකට වඩා බයානකයි හචිම නං.
"අම්මේහ් ...මෙන්නෝ......" ගාගෙන එළියට පනින්න හැදුවත් සද්දෙ කට අස්සෙම ලොප් කර ගන්න සිද්ද වුණේ ඇඳිරි නීතිය නිසා ගෙවල් වලට යා ගන්න බැරි වුණ බෝඩිං නංගිලා දෙන්නා මීටරයක් දුරෙන් අල්ලපු වැටේ ඉන්න බව මතක් වුණාමයි.
කෑ ගහන්න ඔට්ටු නැති වුණාට සුපුන් දඩි බිඩි ගා ඇඳෙන් බිමට පැනගෙන දොර පැත්තට දිව්වේය.
දඩබඩෝං....හදිස්සියයි නිදිමතේ බාගෙට ඇරුණ ඇස් දෙකයි නිසා සුපුන් කකුල පැටලිලා ඇඳ ගාව බිම ඇදන් වැටුණා.
"හා...උඹලට දැන් වත් තේරුණා දවස ගානෙ නානකොට තියෙන රඟේ.යස වැඩේ තොපිට මට හිනා වෙනවට.නාපංකො දැන් මං වගේ "
බිම වැටිච්ච පාරට කෑ ගහන්නවත් විදියක් නැතුව කටත් ඇඹුල් කරන් අමාරුවෙන් ඉන්න සුපුන් තවත් කට හඬක් ඇහුණෙ හෙල්ලෙන්නවත් හිතෙන්නෙ නැති තරම් බයක් එක්ක.
සුපුන් අමාරුවෙන් එක ඇහැක් විතරක් ඇරියා.
යකෝ මේ මගෙ ඩෙනිමයි,සපත්තු දෙකයි, බෙල්ට් එකයි,මරණෙට මගුලට ඉන්ටවීව් වලට අඳින එක එක අත් දිග ෂර්ට් එකයි නෙ.දැන් කර්ෆිව් කිට් එක.ඇඳිරි නීතිය අයින් කළා පවුලේ ම සාඩම්බර නියෝජිතයා විදියට ටවුමට ගිහින් ඇවිත් හෝදලා වේලෙන්න දාපු ටික අම්මා කාමරේට ගෙනත් දාලා.....


Comments