දේවතාවී


mohamed saad - Isis the goddess
සේකර මහතා නිවසට ගොඩ වුනේ "කෝ දුව" අසාගෙන .
'කාමරේ" බිරිඳ කීවාය.ඔහු කාමරයට ඇතුල් වුනේ බැනුම් කෝඩයකට   වුවත් සුදානමෙනි.
සේකර මහතා ගේ මුළු ජීවිතය පෙරළියකි. වංශවත් පවුලක උපන් ඔහු පවුලේ ඉඩ කඩම් බලා හදා ගෙන නොසිට ගුරු අභ්යාස විද්යාලයට ඇතුල් වුයේය.ඉන් පිට වී පවුලේ දැන හැඳුනුම්කම් මත උසස් පාසලකට පත්වීමක් ලබා ගත හැකි වුවත් කැමැත්තෙන් දුෂ්කර පාසලකට පත්වීම ලබා ගත්තේය.එහි සේවය කල සාමාන්ය පවුලක ගුරුවරියක සමග විවාහ වීඋලව් වලව් මට එපා” කියමින් සීතල කදුකරයේ වතු  පාසලකට පත්වීම ලබා පැමිණියේය.පාසල වෙනුවෙන් විශාල වශයෙන් ඇප කැප වූ ඔහු එහි විදුහල්පති දක්වා උසස්වීම ලැබුවේය. ඔහුගේ එකම දියණිය වන්දනා දැන් පුහුණු ගුරුවරියක ලෙස පාසලේ සේවය කරන්නීය.
වතු හිමිකරු ගේ තරුණ පුතා දින කීපයක් ඇය මග දී හමුව කතා කරන්නට උත්සාහ කල බව දියණිය අම්මා සමග කියනු ඔහු ට ඇසුණේය.   "ආයේ දවසක කතා කරන්න අවොත් නම් මම හොඳට කියනවා උන්දැට"
"කළු ගල් වල ඔලුව ගහ ගන්න එපා දරුවෝ"අම්මා තමන් ගේ අතීතය සිහි වන්නට ඇත.
නමුත් වැඩි කලක් යන්නට පෙර කළු ගල නිල වශයෙන්  නිවසට පැමිණ වන්දනා ගේ අත  පතා සිටියේ පවුලේ අවසරය සමගය.
කාමරයට ඇතුල් වූ පියා දෙස බැලු  වන්දනා අහක බලා ගත්තාය.
"තාත්තා ගත්ත තීරණයට හේතුව මට කියනවද.සල්ලි වත් බලය වත් තාත්තා ලොකු දේවල්  නෙවේ "
සේකර මහතා සුසුමක් හෙලුවේය. ඔහුට දියණිය ගැන දැනුනේ අප්රමාන සෙනෙහසකි.
" මේ ගමයි වත්තයි කියන්නේ ගහට පොත්ත වගේ.එත් දෙගොල්ලෝ තාම ජිවත් වෙන්නේ මීට සියවසකට කලින් මානසිකත්වයේ. දෙගොල්ලන්ට දෙගොල්ලන්ගෙන් තියෙන ප්රයෝජන දන්නේ නෑ.මේ දෙගොල්ලෝ අතර පාලමක් හදන්න ඕන......මම ඔය ළමයා ගැන හොයල බැලුවා.තාම නරක් වෙලා නෑ.හරි පාරට වැටුනොත් මේ ගමට විතරක් නෙවේ මුළු පලාතට ලොකු සේවයක්  කරාවි,   තමන්ගේ ජිවිතේ ත් හදා ගන්න ගමන්. මගේ තීරණේ ඔයාගේ ත් තීරණේ වෙන්න ඕන නෑ දුව.ඔයාට නිදහස තියෙනවා කැමති තීරණයකට.....”
--------------------------------------------------------------------------------------------------------------------------------
වසර කීපයක් ගත විය.තේ වතු හිමියන්ගේ ත් කම්කරුවන්ගේ ත් නොනවතින විරසකයේ උච්චතම අවස්තාවක් ලෙස රට පුරා මහා වැඩ වර්ජනයක් ක්රියාත්මක වුයේ තේ කර්මාන්තය විශාල අවදානම් තත්ත්වයකට ඇද  දමමිනි. මේ වෙලාවේ වැඩිපුර කතාබහට ලක් නොවූ තේ වත්තක වෙනදා පරිදිම කටයුතු නිසි ලෙස ඉටු වීම බොහෝ අංශ වල ඇස් අරවන්නක් විය.මීට හේතු සෙවීමට සියලු පාර්ශව තම ඔත්තු කරුවන්සිල්වර් ලීෆ්” තේ වත්ත කරා යොමු කළහ.
ලකිත එවන් එක ඔත්තු කරුවෙකි.
තේ වත්තේ සීමාවට යන බසයට ගොඩ වූ ඔහු බැලූ බැල්මට අත්දැකීමෙන් තොරතුරු සියල්ල වමාරා ගත හැකි බව පෙනෙන කෙනෙක් අසල හිද ගත්තේය.බලාපොරොත්තු වූ පරිදිම ඔහු කතාව ඇරඹුවේය.
"මහත්තයා මේ පළාතේ නෙවේ නේද?"
"ඔව්,මම ලංකාවේ තේ වතු ගැන පොතක් ලියනවා.මේ වත්ත ගැන තොරතුරු එකතු කරන්න යන ගමන්.ඇත්ත මේ වත්තේ අය  අර මහා වැඩ වර්ජනය දවස් වල ත් වැඩ කළා කියන්නේ "
" ඔව් මහත්තයා.කිසි කෙනෙක් ගෙවල් වල හිටියේ නෑ"
"වත්තේ මහත්තය හරි ආදරෙයි වගේ "
"අපොයි ඔව්."
" වුනාට වත්තේ මහත්තයා නම් ආදරේ නෑ.කම්කරුවන්ගේ පඩිය වැඩි කලේ නෑ  නේද."ලකිත තමන්ට අවශ් කාරණය මතු කළේය.
"අනේ මහත්තයා කම්කරුවෝ ඔය රුපියල් දහ  පහළොවක් වැඩියෙන් ඉල්ලන්නේ රට අල්ලන්න නෙවේ නේ. පවුලට කන්න  දෙන්න. බේතක් හේතක් අරන් දෙන්න. ලමයි ඉස්කෝලේ යවා ගන්න. ටික වත්තෙන් කරලා දෙනවා  නම් ආයේ මොකටද වැඩි පඩි"
" කිව්වේ"
වත්තේ මහත්තයා ඉස්කෝලෙයි ඉස්පිරිතාලෙයි දියුණු කළා ටවුමේ වත් නැති පහසුකම් එක්ක.මිනිස්සුන්ට තියෙන්නේ ළමයි ඉස්කොලේ එවන්න විතරයි.පොත් පත් ඇඳුම් ඔක්කොම වත්තෙන් දෙන්නේ.ඉස්පිරිතාලේ ත් මොනවා හරි බේතක් පිටින් ගන්න දුන්නොත් chit එක අරන් වත්තට යන ටික විතරයි. එවෙලේ ගෙනවලා දෙනවා."ඔහු ජනේලයෙන් එලිය බැලුවේය.
" ඉස්සරහින් යන ලොරිය පේනවද මහත්තයා .....ඔකේ ගෙනියන්නේ ඉස්කෝලේ ළමයි දවල් කෑම. ඕක දීල ආයේ ලොරිය යනවා ඉස්පිරිතාලෙට.ලෙඩ්ඩුන්ට කෑම අරන්."
"වත්තේ මහත්තයා සමාජ සේවෙට බැහැලා වගේ"
"මොනව කියනවද.....පරම්පරා ගානක් මිනිස්සු පදිංචි වෙලා හිටිය ලැයිම් කාමර වලින් අයින් කරලා හොඳ ගෙවල් හදලා පදංචි කරනවා.තව 2-3යි ඉවර කරන්න තියෙන්නේ."
"ෂඃ ..නියමයි නේ.ඔය ඔක්කොම කරන්න සැහෙන සල්ලියක් යනවා ඇති.ලාබයක් තියෙනවද වත්තෙන්"
"මොකද නැත්තේ, අයින් කෙරුව ලැයිම් කාමර වලින් හෝටලයක් හැදුවා..."
"හෝටලයක්?"
"ඔව්,ලෝකේ පුරා රස කර කර ලංකවේ තේ බිව්වට තේ ආව හැටි තේරුම් ගන්න ඕන ලු. අත්දැකීම දෙන්න ඕන කියන්නේ.සීසන් එකට මිනිස්සු වැහි වැහලා.ලැයිම් කාමරේක ඉඳලා විදියට කෑම කාලා උදේ පාන්දර දළු කඩන්නත් එක්ක යනවා....තව ඉස්ටෝරුවෙත් එක්ක ගිහින් තේ හදන හැටි කියල දෙන සර්විස් එකක් තියෙනවා.ඉස්කෝල වලින් ළමයි එහෙම එනවා හරියට."
"වත්තේ මහත්තයා ගේ පිටි පස්සේ හොඳ දේශපාලන පක්ෂයක් ඉන්නවා වගේ"
ලකිත සීරුවෙන් තම කාරනාවට ලඟා විය.
"අපොයි නෑ මහත්තයා.ඔය ඔක්කොම කර වන්නේ වත්තේ මහත්තයාගේ  නෝනා. වන්දනා නෝනා.පොලවට ආව දෙව් දුවක්.හෙට අනිද්දට මේ මිනිසසු දේවාලයක් හදලා පූජා කරාවි නෝනා ගේ නමට."
"හ්ම්...."ලකිත ඔලුව වැනුවේය.කොන්දොස්තර අසලට පැමිණ තව වංගු  දෙකකින් ඔහුට බහින්නට ඇති බව කිවේය.
ලකිත පර්ස් එක බැලුවේය.මාරු සල්ලි නැත."මට දාහක් මාරු කර ගන්න පුළුවන් ?උඩහ යන බස් එකට"ඔහු කොන්දොස්තර ගෙන් ඇසුවේය.
කොන්දොස්තර වෙලාව බැලුවේය.මහත්තයා බැහැලා පොඩ්ඩක් වෙලා ඉන්න. වත්තෙන් දාල තියෙන බස් එක එයි.අයිඩෙන්ටිය පෙන්නුවා එකේ සල්ලි ගන්නේ නෑ වත්ත ඇතුලේ යන්න."
ලකිත පුදුමයෙන් බැලුවේය.
"ඔය ඔක්කොම දීල තියෙද්දී ආයේ මොකටද මහත්තයා වැඩි පඩි"




Comments