පිටතින් කැලෑවක් ද ඇතුළතින් විද්යාගාරයක් ද වූ මිතුරාගේ නිවසට ඇතුල් වූ මහිම වටපිට බැලුවේය.
නලිත් ගේ යාවජීව සේවකයා වූ සමන් දුව ආවේය.
"ඩොක්ට ඉන්නවද සමන්?"
හොඳ ම යාළුවෙක් වත් තම ස්වාමියාට නම කියා කතා කරනවාට සමන් කැමති නැත.
"ඉන්නවා දොස්තර මහත්තයා පොඩ්ඩක් ඉඳගෙන ඉන්න"
මේ ගෙදරත් උඹේ ජීවිතෙ වගේ.ඔහු නලිත් ට සැමදාම කියයි.
ජනාකීර්ණ පෙදෙසක පිහිටි නිසංසල මේ පියස හැමදාමත් මහිමගේ කාර්යබහුල සිතට විවේකයක් ගෙන දුන්නත් අද ඔහු සිටින්නේ ඒ සහනය වත් විඳින්නට හැකි මානසිකත්වයක නොවේ.ඔහුට වසර 10කට පමණ පෙර අතීතයක් මතක් විය.
---------------------------------------------------------------------------------------------------------
වාහනය මිදුලට හරවද්දී එහි නවතා තිබූ ජීප්රිය දැක මහිම ට කට කොනට සිනාවක් නැගුනේය.
"හා.....කැලෑ කොල්ලා...ටාසන් අයියා කවදද මිනිස් වාසෙකට ගොඩ බැස්සෙ?"
ඔහු මිතුරාගේ පිටට තට්ටුවක් දාගෙන ඔහු ඉදිරියෙන් අසුන් ගත්තේය.
"මචං මට උදව්වක් ඕන."
ජීවිතයේ වැඩි කොටසක් කැලෑවේ ගස් හා සතුන් සමග ගත කරන නලිත් ට ආල වට්ටම් සෝබන කතා පුරුදු නැත.
"දොස්තර කෙනෙක් විදියට ද? උඹේ වැලි කෙලියේ මිතුරා විදියට ද?"
"දෙක ම"
"ම් ම් ළමා රෝග දොස්තර කෙනෙක් ට කරන්න පුළුවන් උදව්ව මොකක්ද උඹේ කැලෑ ගජයන් ට.මම වෙට් නෙවේ නෙ බං"
"කැලෑවෙ ඇතුලෙ ගල් ගුහාවක ගොළු ආච්චියෙක් එක්ක අවුරුදු 3ක විතර ගෑණු ළමයෙක් ජීවත් වෙනවා...."
"අහ් මොකක්ද?"
"මේ සැරේ යද්දි ආච්චිට අසාධ්යයි. අන්තිමයි. මම ළමයා අරන් ආවා."
"ගෙනාවා?කෝ කොහෙද?"
මහිම නොදැනුවත් ව පුටුවෙන් එසවිණ.
"ඉන්නවා....අපේ ගෙදර.එහෙ පොඩි ළමයෙක් ට ඉන්න පුළුවන් පරිසරයකුත් නෑ.ළමයා බලා ගන්න කෙනෙකුත් නෑ......මට මේ ළමයා ව සුදුසු පරිස්සම් තැනකට දාලා දියං.මට ඕවා තේරෙන්නෙත් නෑ.ඕවා වෙනුවෙන් රස්තියාදු වෙන්න කාලෙකුත් නෑ."
කොහොමද බං එහෙම දෙන්නෙක් කැලෑවට ආවෙ?"
"ඒක මම දන්නෙ නෑ.ආච්චි ගොළුයි.ළමයා පුංචියි.කාගෙන්ද අහන්නේ"
"උඹත් හොයන් එන්නෙ මාර තෑගි තමයි. කොයිකටත් යමං ළමයා බලල ඉමු."
වෙනත් ඕනෑම දරුවෙක් මෙන් ඉතා නිරෝගී ලක්ෂණ පෙන්නුම් කළ දරුවා මහිම ගේ සොයුරිය එක පයින් ම ඉල්ලා සිටියාය.කිසිදා මවක් වෙන්නට නොහැකි යයි සනාථ කර තිබූ ඇය පුංචි සකුණි මහා නිධානයක් පරිදි බදා ගත්තාය.
"කාලෙකින්....මොකද මහියා....."
මහිම ගේ අතීතාවර්ජනයට තිත තබමින් නලිත් ඔහු හමුවට ආවේය.
මහිමගේ මුහුණේ වෙනදා ඇති එළිය නැත.
"මොකද ප්රශ්නෙ මචං?"
"උඹට සකුණි හිටිය ගල් ගුහාවේ ලොකේෂන් මතක ද?ඒ ආච්චි ගැන මුකුත් ම විස්තරයක් දන්නෙ නැද්ද? එයාල මුණ ගැහෙන්න වෙන කවුරුවත් ආවෙ නැද්ද?එයාල කොහොමද මොනවද කෑවෙ බිව්වෙ?"මහිම වක්කඩ කැඩූ සෙයින් කියාගෙන ගියේය.
නලිත් පුදුමයෙන් බැලුවේය.
"සකුණි බාර ගනිද්දි වත් අහපු නැති තරම් ප්රශ්න ගොඩක් මොකද බං මේ?"
" සකුණි ගැන මට හොයා ගන්න ඕන."
"ඇයි හදිසියේ?"
මහිම මොහොතක් තොල හපාගෙන බලා සිටියේය.
"පෙරේදා අපේ කිට්ටු නෑදෑයො ටික දෙනෙක් එකතු වුණා අපේ ගෙදරට.පොඩි සෙට් එක මිදුලෙ සෙල්ලම් කර කර හිටියෙ.එක පාර ම පොඩි එකෙක් පාරට දිව්වා.එයාගෙ පස්සෙන් සකුණි ත් දිව්වා.එතකොට ම පාර පැත්තෙන් වාහනයක සද්දයක් ඇහුණා.මිනිස්සු කෑ ගහන සද්දෙත් එක්ක.ඇතුලෙ හිටිය ඔක්කොම විලාප තියාගෙන එළියට පැන්නා. අම්මලා දෙන්නා පාරට ම දිව්වා ලතෝනි තියන්.මේ ඔක්කොම වෙන්න විනාඩියක් වත් ගියෙ නෑ. පාරට ගිහින් බලද්දි පොඩි එකා බෝලයක් අල්ලගෙන අඬනවා බය වෙලා. ළමයා ව බදාගෙන සකුණි ඉන්නවා ආත බූත නැතුව.....ටිපර් එකක පිටිපස්ස වැදිලා එහා ගෙදර තාප්පේ."
"ඔක්කොමත් හරි.මොකක්ද ඒ ටිපර් කතාව?කුතුහලය ඇවිස්සුණ නලිත් ඇසුවේය.
"බය වෙච්ච විදියට වුණේ මොකක්ද කියන්න දරුවො දෙන්න ම දන්නෙ නෑ.වාහනේ ඩ්රයිවර් කියන්නෙ පාරෙ වාහන නැති නිසා ටිකක් වේගෙන් ආවලු.එක පාරට ළමයි දෙන්නෙක් පාර ට පැන්න ම බ්රේක් ගහන්න හැදුවලු. එක පාර ම කවුරු හරි වාහනේ තල්ලු කලා වගේ පිටිපස්සට තල්ලු වුණා ලු.ඒත් මෑන්ටත් ෂුවර් නෑ ඒක හිතේ මැවුණ මායාවක් ද කියලා. කොහොම හරි ඒ පිටිපස්සට ගිය වේගෙට තමා තාප්පෙ කැඩිලා තියෙන්නෙ."
"සකුණි ගෙ ආච්චි ගෙ ආත්මෙ ඒ ළමයා පස්සෙන් ඉෂ්ට දේවතාවෙක් වෙලා ඉඳන් වාහනේ තල්ලු කලා කියල ද උඹ කියන්නෙ."නලිත් උපහාසයෙන් කීය.
"වෙච්ච දේ ගැන සාක්ෂියක් ගන්න එදා රෑ මම cctv බැලුවා."
මහිම කතාව නවතා යහළුවා දෙස බලා සිටියේය."ඉතිං?"
නලිත් ඇසීය.මහිම සීඩී තැටියක් ඔහු අතට දුන්නේය.රූපවාහිනිය මත දිග හැරුණේ ඒ සිද්ධියේ cctv දර්ශනයයි.
නලිත් එය නැවත නැවත බැලුවේය.ස්ලෝ මෝෂන් කර බැලුවේය.රිවයින් කර බැලුවේය.
එක වර ම බෝලයක පාරට විසි වෙයි.ඒ පසුපස කුඩා දරුවෙක් දුව එයි.ඒ සමග ම දැරියක් ද දුවගෙන එයි.පාරේ අනිත් පැත්තෙන් ටිපර් රථයක් වේගයෙන් එයි.එය ඔවුන් දෙදෙනාට සමීප වුණා පමණි.සකුණි එක් අතකින් කුඩා දරුවා බදාගෙන අනිත් අතින් රථය තල්ලු කරයි!!!රථය පිටුපසට තල්ලුවී යයි.
"මොකක්ද බං මේ වෙන්නෙ?" අවසානයේ ඔහු ඇසුවේය.
"ඊයෙ දවස ම ඕක බල බල කල්පනා කළෙත් ඒක ම තමා.ඒ වගේ දෙයක් කරන්න හයියක් කොහෙන්ද මේ පොඩි කෙල්ලට.සාමාන්‍ය මනුස්සයෙක් ට පුළුවන් වැඩක් ද?සකුණි ව උඹ කැලේ ඉඳන් ගෙනාව වෙලාවෙ ඔක්කොම චෙක් අප් ටික කලා.ගොළු කෙනෙක් ගාව හැදුණ නිසා වචනයක් වත් කථා කරන්න බැරි එක ඇර වෙන කිසි ම අසාමාන්‍ය දෙයක් තිබුණෙ නෑ.මේ හැසිරීම අනිවාර්යෙන් ඊට කලින් වෙච්ච දෙයක බලපෑම.නැත්නම් මේ ළමයා....."
මහිම එක දිගට ම කියාගෙන ගොස් අතර මැදක කතාව නවතා නලිත් දෙස බලා සිටියේ ඔහුගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙනි
"උඹ කියන්නෙ සකුණි ඒලියන් කෙනෙක් කියල ද? අනේ මේ....."නලිත් තරහින් නැගිට්ටේය.
"මට ඇත්ත කියපං මචං.උඹ මේ ගැන මොනව ම හරි දන්නවා.මේක විහිළුවක් නෙවේ.අපි ආදරෙන් බාර ගත්තට මේ කවුද ඇත්තට ම?"
නලිත් මුහුණ රකුසු කර බලා සිටියේය.
"සකුණි කොහෙන්ද ලැබුනෙ කියල අපේ අක්කාවත් හරියට දන්නෙ නෑ.ඒ රහස මගේ කටින් කවදාවත් පිට වෙන්නෙත් නෑ.මට ඇත්ත ම කියපං.මේ කාගෙ කවුද?"
මහිම ආයාචනා කරයි.
"හරි එහෙනම් මේ රහසත් ඒ විදියට ම රැකපං....නලිත් හුස්මක් ගත්තේය......මම උඹට සකුණි ගැන කිසිම බොරුවක් කියල නෑ.එයා කාගෙ කවුද කැලේට ආවෙ කොහොමද මම දන්නෙත් නෑ.එයා හිටියෙ ගොළු ඔව් මනුස්ස බාසාවක් කතා නොකරන අපේ අවුරුදු වලින් බලද්දි වයසක කාන්තාවක් එක්ක....
මහිම යමක් අහන්නට කට ඇරියත් නලිත් අත ඔසවා ඔහු නිහඬ කළේය........ සකුණි හිටියෙ ඇතින්නක් එක්ක ඇතිනි රැහැක.සෑහෙන ආරක්ෂාවක් එක්ක. දවසක් උදේ මම හිටිය ගහ පාමුල මේ දරුවා සෙල්ලම් කර කර හිටියා. වටපිට බලද්දි ඇතින්නක් ඈත යනවා.පස්සෙ තමා මම දැන ගත්තෙ ඇත්තු දඩයමේ ආව පවුකාරයෝ ටිකක් කැලෑවට ඇතුල් වෙලා ඇත්තු ඔක්කොම දුර ඈතකට යන බව. දරුවා ගෙනියන එක දෙගොල්ලන්ට ම හානියක් නිසා වෙන්න ඇති මට බාර දුන්නෙ.මම මගේ වැඩ නවත්වලා එයා මෙහෙ ගෙනාවා.විශ්වාස කරපං මට තේරුණා කැලෑවෙ සීමාවට එනකල් ඇතින්නක් මට නොපෙනී පස්සෙන් ආවා.
මචං සකුණි කියන්නෙ සම්පූර්ණයෙන් ම සාමාන්‍ය හැබැයි ඇතින්නියන්ගෙ කිරි බීල හැදුණ දරුවෙක්!!!"

Comments
Post a Comment