සාරිය


Indian Women Georgette Party Wear Saree In Red Colour

අමරා  ගේ අක්කා දඹදිව වන්දනාවේ ගියාය.ගෙන තෑගි අතරින් ඇය වඩා ත් ප්රිය කළේ ඇයට ගෙන සාරියටය. කොහොමත් ඇඳුම් පැළඳුම් තේරීමේ දී තමන්ටත් වඩා හොඳ ඇහැක් අක්කාට ඇත. ඇය ආසා කළ වර්ණ කීපයකින් පසුබිම නිම වී රන් ලියකමකින් වැඩ දමා ඇති සාරිය ගැන කෙතරම් වර්ණනා කළත් ඇයට  මදි . දුව නොපෙනෙන්නට දවසට කීප වරක්  එය අත ගාමින් ඇඳගෙන හැඩ බලමින් ඇය කල්පනා කළේ මෙය ඉස්සෙල්ලා අඳින්නේ කොහාටද කියා .
"කාන්තා සමිතියෙ උත්සවේ තමයි ළඟදි තියෙන්නෙ.අපෝ ඒකට අඳින්න මේක හොඳ වැඩි......" අමරා සාරිය නවා කපුරු බෝල කීපයක් සමග අල්මාරියේ පරිස්සමින් තැන්පත් කළාය.
එළඹුණ පොහොය දිනයේ සිල් සමාදන් සිටි ඇය නැවත නිවසට එද්දී තම බාල නංගීගේ වාහනය නිවසින් පිටත් යන බව දුටුවාය.
"පුංචි අම්මලා ආව දුව?" අහගෙන ඇය නිවසට ගොඩ වූවාය.
" ඔව් අම්මෙ.පොඩි නංගි ගෙ වෙඩින් එක කියන්න ආවෙ.අම්මා එනකල් හිටියා.තව ගොඩක් වැඩ තියෙනවා කියල ගියේ"
අමරා සිතින් කරණමක් ගැසුවාය.වහා කාමරයට ගොස් සාරිය අත ගා බැලුවාය.
"කොහෙද දුව වෙඩින් එක තියෙන්නෙ"
"ගෙදර ලු අම්මෙ. දෙන්නා බැඳලා ස්ටඩීස් වලට රට යන නිසා ළඟ කීප දෙනෙක් විතරක් කියලා පොඩි උත්සවයක් ලු ගන්නෙ. පිට රට යන එකට සල්ලි ඉතුරු කර ගන්නවා ලු."
අමරා ගේ සතුටින්  පිම්බී තිබුණ සිත සැනෙකින් හැකිළී ගියේය.
" අපෝ හැමදාම දකින නෑයො දෙතුන් දෙනාටයි ගමේ අයටයි කොහෙද මේ සාරියෙ අගයක් තේරෙන්නෙ.ඕන නෑ ඕන නෑ....."
ඇය අල්මාරිය වසා දැම්මාය.
ඊළඟට එළඹුන අනෝරා වැසි සමය සාරිය අල්මාරි අඩස්සියට සිර කර තැබුවේ පිණි බිඳක් හෝ වැදී එහි නූල්පටකට වත් හානියක් වනු දකින්නට අමරා අකමැති වූ නිසා . ඉන් අනතුරු ඇගේ දිගු කාලීන මිතුරියකගේ පුතෙකුගේ මංගල්යයක් තරු පහේ හෝටලයක සංවිධානය කර තිබුණි.අමරා නැවත වරක් සතුටින් ඉපිලුනේය.එයට නම් හතර දිග් බාගේම ඉහළ පැලැන්ති වල අය එන බව නොරහසකි.එහෙත් ඔවුන් තෝරා ගත් වර්ණ සංකලනයක් පමණක්  මංගල්යයට අඳින මෙන් ඉල්ලා තිබුණු බව දුටු නැවත දුර්මුඛ වූවාය.ඇගේ සාරිය කෙසේවත් වර්ණ වලට ආසන්නවත් නැත.
නෑදෑ හිත මිතුරු අයගේ ළමා ළපටින්ගේ උපන් දින උත්සව,මල්වර මගුල් කීපයකට ආරාධනා ලැබුණත් තව මේ විශේෂ සාරිය අඳින්නට තරම් සුවිශේෂී අවස්ථාවක් ඇගෙ සිතට යෙදුනේ නැත.
----------------------------------------------
පන්සලේ දිය සෙවෙල් බැඳී තිබුණ පඩිපෙලක් වේගයෙන් බසින්නට ගිය අමරා පය ලිස්සා බිම ඇද වැටුණි.උවැසි උවැසියෝ වහා ඇය රෝහල් ගත කළහ.ආත්තම්මා බලන්නට ගිය තිවංක නිවසට ගොඩ වුණාය.
"කොහොම පුතා ආත්තම්මා ?" ඔහුගේ අම්මා දුල්මිණි ඇසුවාය.
"පිටින් තුවාලයක් නැති වුනාට කොඳු ඇට පේළියට හානි වෙලා ලු.වයස ත් එක්ක ඔපරේෂන් කරන්නත් බැරි ලු.අනේ මන්දා සෑහෙන කාලයක් එක් තැන් වෙලා ඉන්න වෙයි වගේ." ඇයට ඉදිරි කාලයේ රෝද පුටුවක කල්  ගෙවීමට සිදු වන බවට තම හෙද මිතුරා කී විස්තරය සඟවා තිවංක කීවේය.
"අම්මත් වයසට නෙවේ වැඩ කරන්නෙ. ඉස්පිරිතාලෙන් ආව සිංහල බේත් වත් කරන්න ඕන"
"අම්මෙ...ආත්තම්මට ඇඳුම් ගෙනියන්න ඕන. මොනවද ටිකක් ලියල දුන්නා යාළුවෙක්"
දුල්මිණි අමරාගේ අල්මාරිය ඇරියාය.
"හානේ....මෙන්න ලොකු අම්මා දඹදිව ගිහින් එද්දී ගෙනාව සාරිය......"
"ලොකු අම්මලා දඹදිව ගිහින් දැන් අවුරුදු 3ක් වුනා නෙ.මම නං දැකල නෑ අත්තම්මා ඕක ඇඳන් ඉන්නවා"
"ඔයා කොහෙ දකින්නද මේකෙ වාටිය වත් මහල නෑ.දුන්න විදියටම තියෙනවා..... අපරාදෙ දැන් කොහොම අඳින්න "



Comments