ගහට ගෙඩි බර නැද්ද


"ශීලක්කේ....!!ගහේ දිවුල් නැද්ද"
".....තාම ගැට ඇත්තෙ මාලියො.ඇයි හදිසියේ?"
"අපේ ලේලි කන්න ආස හිතිල"
"අහ්....ඇත්ත ?අනේ වාසනාවන්. සිරියාවන්ත කෙල්ල.ඒකට අපිට"
තමන්ගේ නැන්දම්මාත් එහා ගෙදර මාලනී නැන්දාත් අතර කතා බහ නෙලුනිකා ඉතා හොඳින් ඇසෙයි.නෙලුනිකා සංකේත් සමගත් චාමරී මාලිනී නැන්දා ගේ පුතා වූ දර්ශන සමගත් විවාහ වූයේ එක කාලයේය. නෙලුනිකා ගේ පුත් දම්සිත් වඩා චාමරී ගේ දියණිය මාසයකින් වැඩිමහල් විය.දෙවන දරුවා ගෙන එන්නට නෙලුනිකා වසර පහක් ගත කරද්දී චාමරී තවත් දෙවරක් කුසෙන් හෑල්ලු වුණාය.සහල්යා දැන් වයස හතරකි.චාමරීට දරුවන් පහකි.තමන්ගේ ආර්ථික තත්වයත් අනෙක් අරමුණු හා ඉලක්කත් සලකා තවත් දරුවන් ලබා නොගැනීමට සංකේත් හා නෙලුනිකා තීරණය කළහ. මේ තීරණයට සංකේත් ගේ මව සපුරා එරෙහි වූ අතර ඇය ගැන පූර්ණ වරද තැබුවේ නෙලුනිකා .
"ළමයි හදන්න අකමැති නම් ගෑණිගෙන් ඇති වැඩේ මොකක්ද?"
"ළමයි කියන්නෙ පවුලකට සිරියාවක්. කොහෙද ඉතින් එකා යකා වෙලා හැදිල සහෝදර සහෝදරියන් ගෙ අගයක් දන්නවැයි"
"අපේ පවුල් වලත් ළමයි හත අට හැදුවෙ මොන ආදායම් තිබිල ?"
"දැන් ඉන්න ගෑණුන්ට ඔක්කොටම වඩා ඇඟේ හැඩේ තියා ගන්න එපැයි.මොන ජවුසමක් නටන්නද දන්නෙ නැහැ"
පවුලක දරුවො වැඩියෙන් ඉන්නවා කියන්නෙ මඟුලකට දානෙකට වුණත් පිටින් සෙනඟ ඕන නෑ.ගෙදර පිරෙන්න කට්ටිය"
ශීලා නොයෙක් දෙනා සමග නෙලුනිකා වැදෙන්නට කියන කතා ඇය නෑසූ කන් සිටින්නට හැකි තරම් උත්සාහ කළාය.
කාලය ගත වී ගියේය.දම්සිත් දැන් තරුණයෙකි.පොතේ පතේ ඉගෙනීමට වඩා ඔහු ක්රීඩාවට ප්රිය කළ නිසා දෙමව්පියෝ ඔහු දක්ෂ පුහුණුකරුවන් යටතට පත් කළහ. කාර්මික අංශයට ලැදි වූ ඔහු පාසල් අධ්යාපනය අවසන් අංශයේ වෘත්තීය අධ්යාපනයට යොමු වුණේය.ක්රීඩා දක්ෂතාවයත් කාර්මික දැනුමත් නිසා දැන් ඔහු පුද්ගලික අංශයේ ඉහළ තනතුරක් දරන්නේ නුදුරේ දීම තමන්ගේ ආයතනයක් ඇරඹීමේ සැලසුමක් හිතේ ඇතිවය.
සහල්යා අයියාගේ කනපිටය.අයියා මුළු ජීවිත කාලයටම කියවා ඇති පොත් ගණනට වඩා ණනක් ඇය සතියක දී කියවයි.සාමාන් පෙළ ඉහලින් සමත් වුවත් අනෙක් බහුතර සිසුන් මෙන් විද්යා හෝ ගණිත අංශයට යොමු නොවී කලා අංශයේ කැමති විෂය සංකලනයක් තෝරා ගත්තාය.මේ වසරේ විභාගයට පෙනී සිටින ඇය පාසලේ ගුරුවරුන් අතර ඉහළ බලාපොරොත්තුවකි.
වැඩ ඇරී නිවසට සංකේත් පසු වූයේ මහා කල්පනාවකය.එවන් වේලාවට ඔහු පවසන තුරු ප්රශ්න අසා පලක් නැති නිසා නෙලුනිකා අසලට වී වෙනත් වැඩ කරමින් සිටියාය.
"දර්ශනලගෙ ලොකු පුතා මොනවද කරන්නෙ දැන්?"
ඔහු ඇසුවේ නෙලුනිකා අන්දුන් කුන්දුන් වූ ප්රශ්නයකි.
"ඒක නම් දන්නෙ නෑ.ඉස්කෝලෙන් කට්ටි පැන්නට පස්සෙ....ඉන්න මං අම්මගෙන් අහන්නම්."
සංකේත් අතක් ඔසවා ඇයගේ ගමන වැළකුවේය.
"කම්පැණියෙ කේස් එකකට මට අද උසාවි යන්න වුනා... ළමයා උසාවි දාලා තිබුණා"
"අපොයි..... මොකද?" නෙලුනිකා විස්මයෙන් ඇසුවාය.
"මම හිතන්නෙ කාගෙ හරි මාලයක් කඩල.... මට හරියට මූණ දුන්නෙත් නෑ"
"අනේ ඇත්තට.ඉස්කෝලෙ යන කාලෙත් ළමයින්ගෙ පෑන් පැන්සල් හොරකම් කළා කියල මට ඉස්සර පුතා කියල තියෙනවා....
එක වර එහා ගෙදරින් ලතෝනියක් ඇසුනේය. කොන්දෙ අමාරු, වාත අමාරු සැනෙකින් අමතක කළ ශීලා මල් වැට අතරින් මිදුලට අඩියට දෙකට පැන්නාය.
විනාඩි දහයකදී අළුත් ආරංචියත් රැගෙන ආපසු ආවාය.
"එහා ගෙදර පොඩි කෙල්ල උදේ පංති ගිහින් ඇවිත් නෑ ලු"
"අපොයි මුකුත් කරදරයක් වෙලා ?"
"අයියගෙ යාළුවෙක් එක්ක යනවා හොයන්න එපා කියල කෝල් කළා කියන්නෙ"
" ළමයා තව සාමාන්පෙළ ලිව්වා විතරයි නේද?"
"අපේ දූටත් වඩා අවුරුදු දෙක තුනක් බාලයි නේ... අක්කාට වුණ දේ දිහා බලල වත් පාඩමක් ඉගෙන ගන්න එපැයි" වසර කීපයකට පෙර වත්ත සුද්ධ කිරීමට අවුරුදු දහයකින් පමණ වැඩිමල් විවාහකයෙක් සමග සැඟවී ගිය වැඩිමල් දියණිය මාස කීපයකට කලින් ගුටි කා නිල් ගිය අත පය ඇති දරු දෙදෙනෙක් සමග ගෙදර ආරංචිය ගෙන ආවේ ශීලා .
 "පවුලෙන් ඉගෙන ගනී කියල හිතන් හිටියෙ ඔය කෙල්ල විතරයි" ශීලා නැවත කියයි.
"දරුවො කියන්නෙ පවුලකට වාසනාවක් තමයි.හැබැයි රටට ලෝකෙට බරක් නොවී හදන්න පුළුවන් නම් විතරක්"
මෙතෙක් නිහඬ සිටි සංකේත් කීවේය.




Comments