මට පුළුවන් දේ


උත්සවය ඇරඹෙන්නට තවත් ඇත්තේ සුළු මොහොතකි.වන්දනා ගේ සිත අසාමාන් ලෙස නොසන්සුන්ය.
"මේ මොකක් වෙලා මට"ඇය තමන්ටම තරවටු කර ගත්තාය.සිත සන්සුන් කර ගන්නට සිතා ඇය තමන්ගේ අතීතය මෙනෙහි කළාය.
රන් කූඩුවක උපන් නයිටින්ගේල් කිරිල්ලියක වූ වන්දනා තවත් රන් කූඩුවක උපන් බකමූණෙක්ට විවාහ කර දුන්නේ දෙපස දෙමාපියන්ය.දිවා රෑ නොතකා ඇය ඔහුගේ සියලු කටයුතු නිවසේ කටයුතු ඉටු කළාය. එහෙත් උදෑසන නිවසින් පිට වී මහ රෑ නිවසට එන සාලිත වන්දනා නිවසේ ඉන්නවා දැයි පෙනුනේත් නැති තරම්ය.වරක් දෙවරක් ගැන කතා කරන්නට ගොස් හිතත් ගතත් රිදවුනේ වන්දනාගේ මය.සාලිත අමතකව දුරකථනය සාලයේ දමා තිබූ දිනක එය රූමතියකගේ රුවක් සමග නාද විය. එවෙලේ කලබල නොවූ ඇය අංකය මතක තබා ගත්තාය.පසු දිනෙක එය ඇමතුමක් ගත්තාය.
"හෙලෝ කවුද මේ?"
"මම සාලිත ගෙ wife.මේ කවුද?"
අනෙක් පසින් කොක් හඬලා සිනාවක් ඇසුණේය.
" නීතියෙන් විතරයි.සාලිත ඉන්නෙ මං ගාව. පුළුවන් දෙයක් කරල පෙන්නන්න"
උදාරම් හඬ හමුවේ වන්දනා ඇයට පුළුවන් යයි සිතුණ දේ කළාය.සිවු මැදුරු මාලිගයේ උඩ තැන සිට පහළට පියෑඹුවාය.
අනෙක් ආත්මයකින් ඇස් අරින්නට පතා සිටියත් ඇය දෑස් හැරියේ රෝහලකය.කොඳු ඇට පේළිය පළුදු වූ අබ්බගාතයෙක් ලෙසය.අවටින් ඇසෙන සියළු කතා වලට ඇය නෑසූ කන් සිටියෙන් ඇය තවම පියවි තත්වයට පැමිණ නැති බව වෛද්යවරු පැවසූහ.නමුත් හොඳ යෙහෙළිය එරන්දි ඇය බලන්නට දවසේ ඇය කඳුළු අතරින් සියල්ල පාපොච්ඡාරණය කළාය.
"උඹ පාරමිතා පුරනවද බං"එරන්දි කතාව අවසානයේ ඇසුවාය.
"මොකක්ද?"
"Husband වෙන සම්බන්ධයක් තියෙන බව දැන ගත්තම wife දිවි නහ ගන්නවා කියන්නෙ මිනිහ අත පැන් වත් කරල ගෑණිට පූජා ළා වගේ නෙ.
"මං වෙන මොනව කරන්නද?"
"කොච්චර දේවල් තියෙනවද? උන් දෙන්නගෙන් ගේම ඉල්ලනවා.සාලිත ඩිවෝස් එක නොදී ඉන්නවා. එක්කො කෝටි මිලියන ගාණක වන්දියක්....."
"මට සාලිත එක්ක කිසි ගනුදෙනුවක් ඕන නෑ."
"එහෙනම් ඌට කුද ගහ ගන්න කියල උඹ නැගිටපං තනියෙන්"
"නැගිටින්න? මං??.මේ අබ්බගාත කමත් එක්ක අම්මා තාත්තාට වදයක් නොවී මට එක සැරේ මැරෙන විදියක් කියපං."
"උඹ සදාකල් අබ්බගාත වෙනවා කිව්වෙ නෑනෙ දොස්තරල.අනික සාලිත කියන්නෙ උඹෙ ජීවිතේද?ඔය කාලකණ්ණියා මුණ ගැහෙන්න කලින් උඹ ජීවත් වුණේ නැද්ද. මතක නැද්ද උඹට තිබුණ හීන?"
වන්දනාට යන්තම් හිනාවක් නැගුනේය.
"ඒක දැන් හීනයක් විතරමයි "
"කොන්ද මිසක් උඹේ කටහඬට මුකුත් වෙලා නෑනෙ.උගුරෙන් මොකක් හරි සද්දයක් එන ඕන කෙනෙක්ට සල්ලි ටිකක් විසි කරනවා නම් එක පැයෙන් ගායකයෙක් වෙන්න පුළුවන් රටේ උඹ වගේ ටැලන්ට් එකත් තියෙන කෙනෙක් මොකද බැරි"
එරන්දිගේ වදයෙන් බේරෙන්නට බැරි තැන වන්දනා හොඳ පද මාලාවක් හා ඊට ගැලපෙන තනුවක් සොයවා ගත්තාය.අමාරුවෙන් නමුත් එය ගායනා කර අන්වර්ථ නමකින් අන්තර්ජාලයට එක් කළාය. නැවත සංගීතයට යොමු වීම ඇගේ මානසිකත්වය යහපත් කිරීමට විශාල සේවයක් ඉටු කළේය.එය ඇගේ වෛද් ප්රතිකාර වලට මහත් රුකුලක් විය. ගීතයට ලොකු ප්රතිචාරයක් නොලැබුණත් මෙතෙක් දන්නා හඳුනන අය පමණක් අසා තිබූ තමන්ගේ හඬට නොදන්නා නාඳුනන අයගෙන් ලැබුණ ප්රතිචාර වන්දනාට සතුටක් ගෙන දුන්නේය.ඉන් ලැබුණ ධෛර්යයෙන් ඇය තවත් ගීතයක් නිර්මාණය කළාය. කලින්ට වඩා සුව තත්වයෙන් සිටීමත්  පුහුණුවීම් සිදු කර ගායනා කිරීමත් නිසා ගීතයට වැඩි ජනප්රිය බවක් ලැබුණේය. අන්වර්ථ නාමයකින් පෙනී සිටින්නාගේ සැබෑ වතගොත සොයා මාධ්යකරුවන් එන්නට ගත්තේත් කිහිලිකරුවකින් යාගත හැකි තරමට වන්දනා සුවය ලැබුවේත් එක කාල සීමාවේය. තුන් වන ගීතයේ අන්තර්ජාල මුදා හැරීමෙන් පසුය.
තමන්ගේ අතට සෙමෙන් පහර දෙනු දැනුන වන්දනා අතීතයෙන් මිදී වර්තමානයට ආවාය.
"ඊළඟට හොඳම ගායිකාවට,  ගීතයට සම්මාන දෙන්න යන්නෙ"
ඇය අසල  අසුන් ගෙන වේදිකාව දෙස නෙත් දල්වා බලා සිටින එරන්දි කියයි.
"හ්ම්....ගයා හරි කුමාරිට හරි ලැබෙයි නේද? සිංදු දෙක මාර ලස්සනයි"
එරන්දි නෝක්කාඩුවකින් දෙස බැලුවාය.
"මේකට නොමිනේට් වුණ එක ඇති මට. සම්මානෙ ලැබුණා වගේ තමයි"
එරන්දිට වාද කරන්නට අවස්ථාවක් නොලැබුණේ නිවේදකයා නම ප්රකාශ කරන්නට සැරසුණ හෙයිනි.
"වසරේ හොඳම ගායිකාව ලෙස සම්මානය දිනා ගන්නේ...... වන්දනා සමරදිවාකර!!!"
තවත් කෙනෙක් වෙනුවෙන් අත්පොළොසන් දෙන්නට එකතු කර ගත් අත් දෙක ගල් යද්දී වන්දනා හුස්ම ගන්නට අමතක බලා සිටියාය.එරන්දිත් තාත්තාත් තමන් වැළඳගන්නා බව වටේ සිටින අය සුබ පතන බව ඇයට නොදැනේ.ශාලාව ගිගුම් දෙන අත්පොළොසන් හඬ නොඇසේ. ඉඳුරන් අක්රිය ඇත. එරන්දි වත්තම් ඇය වේදිකාවට ආවාය.
"මේ සම්මානය ගන්න ඔබ ගමන ලෙහෙසි පහසු නැහැ.මොනවද ගැන කියන්න තියෙන්නෙ?" නිවේදකයා අසයි.
වන්දනා හුස්මක් ගත්තාය.
"මම වැටුණ වෙලාවෙ මහා පවුරක් වගේ ඉඳන් ආයෙත් මාව නැගිට්ටුවෙ මගෙ දෙමව්පියෝ.මගේ යෙහෙළිය එරන්දි. හැබැයි මට නැගිටින්න මතක් කලේ එක කෙනෙක්. ඇය වෙනුවෙන් ඉතා නිහතමානීව මම කියන්නෙ ......මෙන්න මට පුළුවන් දේ මම කළා".




Comments