පුංචි පුංචි ගෙඩි


The health benefits of pumpkin | BBC Good Food



කවුරු හරි මගෙන් ආස කෑම ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්න මට ටික වෙලාවක් යනවා වගේ උත්තරේ ත් කාලෙන් කාලෙට වෙනස්.හැබැයි අකමැති කෑම මොකක් ඇහුවොත් සැනින් හැමදාට දෙන්න තියෙන උත්තරේ වට්ටක්කා. රසයි ගුණයි කිය කිය මොන ආලවට්ටම් දැම්මත් දන්න හැම විදියට උයල දුන්නත් මට නෙවේ වට්ටක්කා කන්න කිසිම ප්රියතාවයක් ඇති වුනේ.
වට්ටක්කා නිසා මට ඉන්නව ජන්මාන්තර හතුරෝ 3 දෙනෙක්.1 මේ ලෝකෙට එහෙම වැලක්  මවපු කෙනා.2 ඒක කෑමට ගන්න දෙයක් විදියට හොයා ගත්ත කෙනා.3 අපි කෑම ගන්න කඩේ ඇන්ටි බඩු  ගන්න වෙළෙන්දා.මේකෙන් මුල් දෙන්නා නම් පොඩි සමාවක් දෙන්න පුළුවන්;වට්ටක්කා මැව්වට කන්න කිව්වේ නෑ නේ.කන්න පුළුවන් කියල හොයා ගත්තට මෙහෙම දිනපතා දවසට දෙවරක් කියල නියම කලෙත් නෑ නේ.හැබැයි අර වෙළෙන්දා හොයා ගත්තොත් නම් …………………….
Study leave වලට ළමයි ගොඩක් දෙනා ගෙවල් වල යන නිසා campus එකේ canteen, වටේ පිටේ තියෙන කඩ මේ දවස් වල උයන්නේ බොහොම සීමා සහිතව. ටික එහෙ බලලා මෙහෙ බලද්දී ඉවරයි.අපි වගේ පාඩම් කරන්න නම් කොඳු ඇට පේලිය තිරස් තැබිය යුතු අයට ඒකෙනුත් පලක් නෑ. බෝඩිම අහල පහල තියෙන කඩයක් අල්ල ගත්තොත් මිසක්.නළ ජලය,තෙකලා විදුලිය,නිසංසල පරිසරය කියල campus ලමයි කව්රුත් නැති පැත්තක බෝඩිමක් හොයා ගැනීමේ විපාක දැනෙන්නේ මේ වගේ වෙලාවට තමයි .මේ හරියේ ඔක්කොම බෝර්ඩ් වෙලා ඉන්නේ ජොබ් කරන අය. නිසා කිසිම කඩයක දවල් කෑම නෑ.තිබුනත් ඒවා වලින් එක වේලක් කෑවොත් සතියම හුලන් තමයි. නිසා හොයල හොයල එක එක කඩය යි හොයා ගත්තේ. කඩේ බත් එකේ දවල් රෑ වෙනසක් නැතුව බත් ඇරුනම අනිවාර්යෙන් තියෙන දේ වට්ටක්කා. කල දුටු කල වල ඉහ ගන් වගේ කඩේ ඇන්ටි අපිට උදේට ත් කෑම supply කරන්න ලෑස්ති වුනා බොහොම සත් ගුණවත් .ඒත් උදේට ත් වට්ටක්ක රොටි, වට්ටක්ක තොසේ වගේ අලුත් නිෂ්පාදන රස බැලීමට සිදු වීමේ අවදානම නිසා අපි කාරුණික අනුග්රහය ප්රතික්ෂේප කරලා  චූන් පාන්  alarm එකට නැගිටලා ඒකත් එක්ක හොරා පොලිස්  සෙල්ලම් කරන්න පුරුදු වුනා මහ පාන්දර.
අද ඉරිදා.මම උදේ ඉඳන් මග බල බලා ඉන්නේ මගේ රූමා  අදීශයා ගෙදර ගිහින් එනකල්. ඇති ආදරේට වඩා අදවත් රසට කෑමක් කන්න.අහ්.... ගේට්ටුවේ සද්දේ ඇහුනා.මම දුවනෝ බත් එක පිළිගන්න.
'මොනවද බන් බත් එකේ"
"දන්නේ නෑ බන්.එහෙ හිටියත් වස ගහපුවා කන්නේ කිය කිය ආච්චි වත්තේ තියෙන එළවලු තමා උය උය දුන්නේ මට මේ දවස් දෙකේ."
"එහෙනම් රසට ඇති.ගමේ ඒවා"
බත් එකේ ලොකු පොලොස් මාළුවක් තියෙනවා දැකලා මම වහා පැත්ත මට හරව ගත්තා.කෙල ගිල ගිල ලොකු පොලොස් කෑල්ලක් අරන් කටේ ඔබා ගත්තා"
"චෙහ් ...මේ වට්ටක්ක නේ බන්.හය්යෝ මම හිතුවේ පොලොස් කියලා.”
"පොලොස් කොහෙද මෝඩයෝ මේ කාලේ.ආච්චි ඔන්න කළු පොල් මොකක්ද එකක් හැදුව කිව්වේ"
"කළු පොල් තියා පැණි පොල් හැදුවත් වට්ටක්ක නේ"
අදිශ ගේ හිත නරක වෙන නිසා කටවල් 2-3 කාලා මම අයින් වුනා.
සිමෙන්ති කොට්ට බාගයක් විතර බත් එක තනියෙන් කාලා අදිශ ඇඳ බදා ගත්තා. මමත් පොතක් අරන් ඇඳට වුනා මගේ ඔලුවට කිසිම දෙයක් යන්නේ නෑ .මදැයි උදේ ඉඳන් පෙරුම් පුරා ගෙන කන්න බලන් හිටිය.දැන් ඉතින් ආයෙත් ඇන්ටි ගේ උඩ  පල ගත්තත් වට්ටක්ක සින්දුව කියපන්කො.
"ශිරානයට උඹෙන් පාඩමක් අහ ගන්න ඕන කිව්වා නේද."
පැය  2කට විතර පස්සේ අදිශ අහනවා.
"හ්ම්"
මම පොත දිහා බලන් උත්තර දුන්නා.
"Call එකක් දාල අහපන් අද හවස ගෙදර ඉන්නවද කියල "
මම පොතත් වහලා අදිශ දිහා බැලුවේ මූට මේ හදිසියේ  ශිරාන් ගැන පහල වුන සත්ව කරුණාව මොකක්ද බලන්න.
"ඇයි බන් උඹ නේද කිව්වේ ඔහොම පිස්සු නැටුවට උගේ ගෙවල් හෙන පොෂ් ටයිප් කියල"
"ඔව්,ඉතින් "
"ඉතින් බන්, ගෙවල් වල මිනිස්සු මේ අපි වගේ වට්ටක්කා පතෝල  කනවා යැ"
"අඩේ ...උඹට ත් මරු idea නේ පහල වෙන්නේ"
"ඒක  නේ මල්ලි,අපිට සලකනවා මදි"
"හරි හරි අද රෑම සලකන්නම් ඉස්මුරුත්තාව හැදෙන්න"මම වහා ශිරාන් call එකක් ගත්තා.
----------------------------------------------------------------------------------------
කටින් ශිරාන් පාඩම් කියල දුන්නට මගේ කන් දෙක තිබුනේ කොයි වෙලාවේ මිනි කිංකිනි ආරාධනාව ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.
"පුතාල කෑම කාල ඉන්නකෝ"
අම්මේ කන් දෙක මී පැණි වත් කරනවා කියන්නේ මෙහෙම ඒවා වෙන්නැති.
"ඇන්ටි කරදරේ නේද අපි ඇවිල්ලා".හොඳ වෙලාවට  ශිරාන් ගේ අම්මට පර සිත් දකින නුවන නැත්තේ.
"මොන කරදරයක් පුතා.අපි ඉතින් රෑට light diet නේ.පුතාල කලින් එනවා කිව්වා නම් special මොනවා හරි හදන්න තිබුනා."
මෙච්චර ප්ලෑන් ගහගෙන ඇවිල්ලත් අන්තිමට බෝංචි කරල් දෙකයි ගෝවා කොලයයි කන්න වෙන්නේ වගේ අදිශ මගේ මූන බැලුවා.නෑ ශිරානයා මේ සයිස් එකට ඉන්නේ ඔහොම කාලා වෙන්න බෑ.
අපි කෑම මේසෙට වාඩි වුනා.ශිරාන් ගේ අම්මා සීරුවට අලි කල්දේරම් සයිස් දුම් දාන සුප් කෝප්ප වටේ බෙදනවා. මගේ බඩේ බොක්සින් tournament එකක් වගේ.
"මොන සුප් ඇන්ටි මේ"
"ඕක අලුත් රෙසිපියක්  පුතා.බීල බලන්නකෝ......ස්පිනච් ඇන්ඩ් පම්ප්කින් සුප්"


Comments