වෙන විදියක්


Preservation Of Healthy Fresh Fruit And Vegetables Stock Photo ...
"උත්සව සමය වෙනුවෙන් එළවළු මිල තව දුරටත් පහළට"
ගුවන් විදුලියේ ප්රවෘත්ති අසමින් සිටි කිත්සිරි එය වසා දමා නොරිස්සුමින් නැගිට්ටේය.
"අහසයි පොළවයි සත්තුයි එක්ක ඔට්ටු වෙවී කොයි තරම් යුද්ධයක් කරනවද එළවළු ටික හදා ගන්න.අන්තිමට අස්වැන්න ගන්න කාලෙ වෙද්දි ගාණ බැහැලා.පුදුම කරුමයක් මේක "
ඔහු නොරිස්සුමින් කීවේය.
"උඩහ මාමලා එළවළු ගෝනි ගානක් කුණු ගොඩට පෙරලුවාලු" බිරිඳ චම්පා කීවාය.
"මුළු ගෝනිය තුට්ටු දෙකට ඉල්ලද්දි දීලා දාලා එනවට වඩා එහෙම කරන එක හොඳයි. වවපු ඔක්කොම විකුණලත් ගිය කන්නෙ තෙල් පෝර වියදම වත් හොයා ගන්න බැරි වුණා.මේ පාරත් ඔච්චර තමයි."
"කඩේ ණය පොතත් පිරිල.මුදලාලියා කට ගොරක ලෙල්ල කර ගන්නවා මං එනව දකිද්දි"
"ඩුබායි බර්ටි ගෙ ගෑණි ඇවිත් හිටියා බඩු ගන්න.කඩෙන් බාගයක් විතර අරන් පන් දාහෙ කොළ දික් කළේ.හහ් කොහොම හිටිය උන් ? අපේ ගහක කොළක වත් කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් ඉතුරු වුණේ නෑ කාලෙ.දැන් ගෙදර ඉන්නෙත් රත්තරන් බඩු සාප්පුවක් වගේ"චම්පාගේ වචන වල ඉරිසියාව පැහැදිලි ගැබ් වී ඇත.
" මටත් හිතෙනවා රට යන්න"
"රට යන්න?"
"ඔව් මෙහෙම තව කන්න දෙක තුනක් ගියොත් පාලම ළඟ සාන්ත වගේ වහ ටිකක් බොන්න මටත් වෙන්නෙ"
"ඒකට මහ සල්ලියක් ඕන නේද?"
"ගිය සැරේ ආපු වෙලාවෙ බර්ටියා මට හම්බ වුණා.ලක්ෂ 5ක් තියෙනවා නම් රට යන එක මාසෙන් හදල දෙනවලු රට ගිය ඒජන්සිය"
"අපි කොහෙන්ද එච්චර සල්ලි හොයන්නෙ?"
"මම හිතුවෙ ඉඩම් කෑල්ල උගස් තියන්න. කොහොමත් රට රස්සාව හරි ගියොත් ඕකෙ ගොවිතැන් කරන්නෙ කවුද?ඔයාට වෙන්නෙ මායිම් පරිස්සම් කර කර ඉන්න"
--------------------------------------------------------------------------------------------------------------------------------------
රට රස්සාවකට ඒමෙන් තමන් කබලෙන් ලිපට වැටුණාදැයි කිත්සිරිට සිතුණේ රටට ගොඩ බැස ගෙවුණ පළමු පැය විසි හතර තුල .සියල්ල නුහුරු .නුපුරුදුය.අමුතු . ලංකාවේ දී ඔහුට තිබුනේ ආර්ථික ප්රශ්න පමණි.එහෙත් දැන් කන බොන දේ සිට  කාලගුණය, දේශගුණය දක්වා ප්රශ්න . ඔක්කොටමත් වඩා කතා කරන්නට කෙනෙක් නැති වීම හිරේ දැම්මාක් වැනිය.ඒජන්සියෙන් කිවූ ලෙසට ලොකු වැටුපක් ලැබුන බව ඇත්තකි.නමුත් වෙනුවෙන් කරන වැඩ කොටස ලංකාවේ මෙන් දෙතුන් ගුණයකි.වැටුපට සරිලන ලෙස එදිනෙදා බඩු මුට්ටු මිලෙන් වැඩිය.මුළු දවස විජාතිකයන් සමග මහන්සි වී වැඩ කර නවාතැනට පැමිණ මොකක් හෝ දෙයක් රසක්  සුවඳක් උණුසුමක් නොසලකා ගිල දමන ඔහුට නිවැසියන් පිරිවරා කන හීල් බත් පිඟාන ඊට වඩා අගනා බව සිහි වෙයි. මිනිසුන් මොන දේ කිව්වත් සිතුවත් රට රස්සා කරන කෙනෙක් මවු රටට එවන ඩොලරයකත් අපමණ කඳුළු දහඩිය තොගයක් රැස් ඇත.
ටිකෙන් ටික ජීවිතයට හුරු වූ කිත්සිරි යන්තම් බස ගැට ගහමින් එදිනෙදා කටයුතු කර ගත්තේය.ස්ථාන හා නොයෙක් පුද්ගලයන් හඳුනා ගත්තේය.සතියටම බඩු ගෙන ඒමට සුපර් මාකට් ගිය ඔහු ලාබදායී දේ සොයමින් එහා මෙහා ගියේය.එක වර ඔහු ගේ ඇස ගැටුනේ හුරු පුරුදු කෑමකි.
"කොස් ඇට!මෙහෙ?ඔහු වහා එහි මිල බැලුවේය.නැත,එය දරා ගත නොහැකි තරම්ය.
"ෂුහ් මේ මිනිස්සුන්ගෙ මොළේ තමයි.අපේ ගස් යට වැටිලා කුණු වෙලා යන දේවල්"ඔහු තමාට කියා ගනිමින් තවත් රාක්ක පෙල කුතුහලයෙන් බැලුවේය.කොස් ඇට පමණක් නොවේ,වේලන ලද බටු, වට්ටක්කා, කරවිල, වැටකොළු වලින් නොනැවතී කටට කෙළ උණන අච්චාරු, ලුණු දෙහි බෝතල් පවා ඇත.ඔහු පුදුමයෙන් ලුණු දෙහි බෝතලයක් අතට ගත්තේය.වෙනත් රට වලත් ලුණු දෙහි අච්චාරු හදන බවක් ඔහු දැන සිටියේ නැත.
බෝතලය කරකවමින් නැරඹූ ඔහු තවත් පුදුම වුණේය.
ලංකාව තම විශිෂ්ඨ වට්ටෝරු පිට විකුණා නැත.ඔව් එහි ලියා ඇත්තේ made in Sri Lanka ලෙසය. කිත්සිරි තම රට ගැන මහා ආඩම්බරයක් දැනුනේය. සමග ඔහු ඊට යටින් සිංහලෙන් පුංචියට ලියා තිබුණ අකුරු පේළිය කියෙව්වේ සිංහල අකුරක් දැකීමේ සන්තෝසයෙනි.
"මොනවා මේ අපේ ගෙවල් පැත්තෙනෙ. කොහෙද මෙහෙම ෆැක්ටරියක්"විස්මයෙන් විස්මයට පත් ඔහු කල්පනා කළේය.මිල ගැන නොසිතා ලුණු දෙහි බෝතලයක් ගත්තේ කාලෙකින් පුරුදු රසට වේලක් කන්නටත් ලිපිනය ගැන සොයා බලන්නටත් .
"අපේ ගමේ දැන් තියෙනවද ලොකු ෆැක්ටරියක් ....මේ එළවළු එහෙම පැකට් කරන බෝතල් කරන එකක්"චම්පා කතා කළ සැනින් ඔහු ඇසුවේය.
".....මොකක්ද එකක් නම් පටන් ගත්තා අර නැති වුණ සාන්ත ගෙ ලොකු කොල්ලා.ඒක මහ ලොකු ෆැක්ටරියක් නෙවේ.හැබැයි සෑහෙන කට්ටියක් වැඩ.දැන් මුළු ගමේ එළවළු පළතුරු ගන්නෙ එතනට.......ලංකාවෙ විකුණන්නෙත් නෑලු රට යවනවයි කියන්නෙ."
"හ්ම්....අපි ප්රශ්නෙන් පැනල ඇවිත් දුක් විඳිනවා. ළමයා ප්රශ්නෙන් ගොඩ ගිහින් අනිත් මිනිස්සුත් බේරගෙන" කිත්සිරි තනි කල්පනා කළේය.


Comments