පාලිකාවකගේ දිනපොතින්,


DIARY and JOURNAL — Private writing with FREE APP!

කෝච්චියේ සද්දේ සම්පුර්ණයෙන් ඇහෙන්නේ නැතුව ගියාට ත් පස්සේ මම පුටුවෙන් නැගිට්ටේ එදා දවසේ ලියකියවිලි වැඩ ඉවරයි  කියල හිතාගෙන. මිදුල පැත්තෙන් කෑගැහිල්ලක්!! 5 ඕෆ් වෙලා ගෙදර ගිය පියසිරි ඉන්නවා මිදුලේ එක අතකින් පරඬලක්  වගේ හැම අතට විසි වෙන වැනෙන අවුරුදු 16-18 විතර කෙට්ටු ගෑනු ළමයෙකුත් අල්ලාගෙන.
"මේ ළමයා කෝච්චියට පනින්න ගියා මිස්.කව්රුවත් හිටියේ නෑ පැත්ත පළාතේ,මේ ගොම්මනේ මම වත් නොදැක්ක නම් ඉවරයි." පියසිරි තමන් කරපු ක්රියාව කියාගෙන යනවා.
"මම  මෙහාට ගෙනාවා.මේ වෙලාවේ වෙන යන්න තැනක්  නැතුව ඇති".
පියසිරි මේක වැඩිහිටි නිවාසයක් මිසක් සරණාගත කඳවුරක් නෙවේ කියන්න මගේ කට ඇරුණත් ළමයාගේ මූන දැක්කම වචන ටික කට ඇතුලේ නැවතුනා. මොනවා වුනත් ගෑනු ළමයෙක් නේ.කෙල්ල කම්පනෙන් වගේ .දවස කාල නැද්ද මන්දා, ඇස් දෙකත් යට ගිලිලා රතුම රතු වෙලා.ඉවසා ගන්න බැරි දෙයක් නිසා නේ මැරෙන්න හදන්න ඇත්තේ.සුමනා ලව්වා තේ එකක් හදවලා දුන්නට පස්සේ ටිකක් පන ගහලා ආවා.බත් දුන්නට කෑවෙත්  නෑ. කීප පැත්තක් හිතලා මගේ කාමරේ නවත්වා ගත්තා.රැයින් බාගයක් යනතුරු කෙල්ල අඬ අඬා තමන්ගේ කතාව කිව්වා.
අම්මා මරන් උපන් එකී කියල තාත්තගේ නොසලකා හැරීමත් කුඩම්මාගේ වෙනස්කමුත් නිසා සවිනි ගෙදරින් නොලැබෙන ආදරේ පිටින් හොයාගෙන තියෙන්නේ දැන් මාස කීපයකට කලින්. ආදරේ මේ දුකත් අහලා ගන්න ඕන දේවල් ඔක්කොමත් අරන්.දැන් ඒවා වීඩියෝ තියෙනවා ඉන්ටෙර්නෙට් දානවා කියල blackmail කරනවා ලු.ආයේ ගෙදර යන්නවත් ලෝකෙට මූන දෙන්නවත් බෑ කියල හොයා ගත්ත විසඳුම තමා මේ.හොඳටම බනින්න හිතුනත් දැන් මේ ළමය ඕන කාගේ හරි පිහිටක් මිසක් ඇනුම් බැනුම් නෙවේ.බලමු මගේ දන්නා අඳුනන කීප දෙනෙක් මේ වගේ සමාජ සේවා ආයතන වල ඉන්නවා නේ. අයට  පුළුවන් ලේසියෙන් මෙයාට පිහිටක් වෙන්න.
------------------------------------------------------------------------------------------------------
අනේ ඇත්තමයි,එපා වෙනවා.උපදෙස් දෙන්න නම් ඕන තරම් අය. උදව්වක් කරන්න කව්රුත් නෑ.ගෙදර වෙනස්කම් නිසා ගෙදරින් පැනලා යන ගෑනු ළමයෙක් හම්බ වුනා බාර ගන්න පුළුවන් ඇහුව පොලිසියට බාර දෙන්න ලු. හිත හදලා ගෙදර යවන්නලු. තව කතා මවලා දෙන්නේ.ඒවා දන්නවා නම් කෙල්ල දැන් කෝච්චියට පනිනවා. මගෙන් බේරෙන්න බැරි නිසා ලාලනී විතරයි කිව්වේ තව සති 2කින් කතා කරන්න එයාලගේ පළාත් කාර්යාලයට දන්වලා බලන්නම් කියල.හ්ම්....කමක් නෑ සතිමෙහෙ ඉඳපුවාවේ.ඇඳුමක් 2ක් කොහොම හරි මගෙන් සුමනගෙන් හදල දෙන්න බැරියැ.කාටවත් විස්තර  නොකිය ඉන්න කිව්වා හරි.
----------------------------------------------------------------------------------------------------
සවිනි ඇවිත් අදට දවස් 10යි.වැඩිහිටි නිවාසෙට අමුතු එළියක් ඇවිත් වගේ.කොච්චර කන්න බොන්න දීල බලා ගත්තත් මේ අම්මලා තමන්ගේ දූ දරුවන්ගේ ආදරේ දෙන්න අපිට බෑ .සුමනයි පියසිරි යි වැඩ ටික කරනවා තමයි.ඒත් එයාලට කන් දෙන්න, එයාල එක්ක කොයි වෙලාවෙත් කතා කර කර ඉන්න  කෙනෙක් නෑ. සවිනි ඒක අකුරට කරනවා. හැමෝටම මිනිපිරියක් ලැබිලා වගේ.වෙනදා දවසට වචන 10ක් කතා නොකරන අම්මලා ත් දැන් සවිනි එක්ක දවසේ පරණ කතා කියනවා ඇහෙනවා. කව්රුවත් කියන්නෙත් නැතුව කෙල්ල කුස්සියේ වැඩටත් උදව් කරනවා.අම්මලා ගේ කාමර සුද්ද කරනවා.නාවන්න උදව් කරනවා.මට ලෝබයි කෙල්ල යවන්න.
ලාලනී කතා කරන්න ඕන නෑ.!!!
දුවෙක් අම්මා එක තැන කැත කර ගන්නවා කියලා ගෙදරින් එළියේ මඩුවකට දාලාලු. අහල පහල කව්ද පොලිසියට කියලා දුව අත්අඩංගුවට ගත්තා ලු. අම්මා අපිට එවනවා ලු. අම්මලා කාලේ අපිට ඔහොම කළා නම් අපි කොහේ ඉඳීද අද. අම්මා වෙනුවෙන් නම් කෙනෙක් වෙනම ඇරෙන්න වෙයි. කියන්නේ තව කෙනෙක් ගන්න වෙනවා. සවිනි ඇස් 2ත් ලොකු කරන කඳුළු පුරවන් කතාව අහන් හිටියේ.
"කව්රුවත් ඕන නෑ මිස්,මම බලා ගන්නම්.අම්මෙක් ලබන්න පින් කරන්න ඕන"
හ්ම්...... කෙල්ල ඒක හොඳට දන්නවා.වෙන කාමරයක් ලැස්ති කරන්න වෙයි.එහා පැත්තේ වහලා තියෙන කාමරේ පියසිරි කියල සුද්ද කරවන්න ඕන.
--------------------------------------------------------------------------------------------------------
කාමරේ සුද්ද කරද්දී මේ ගෙදර අය පරිත්යාග කෙරුව අයට  අයිති වෙලා තිබ්බ බීරළු කොට්ටයක් හම්බ වෙලා.සවිනි එහෙම එකක් අහල වත් නෑ.දැන් ඉන්න කෙල්ලෝ මොනවද මන්දා දන්නේ. අම්මලා දෙන්නෙක් ඉන්නවා බීරළු ගැන දන්න. දෙන්න ගෙන් උපදෙස් ගන්නවා. කෙල්ල රේන්දයක් ගොතන්න හිතිලා වගේ.
--------------------------------------------------------------------------------------------------------
මේ කොට්ටේ කොහොමද නිදා ගන්නේ අහපු කෙල්ල මෙන්න අගේට බීරළු රේන්ද ගොතනවා අර අම්මල දෙන්නගෙන් අහගෙන.හරිම  ලස්සනයි.ටවුමට ගිය වෙලාවක ඕන කරන නූල්, අල්පෙනෙති ගෙනත් දෙන්න ඕන.සල්ලි කීයක් වත් දුන්නට ගන්නෙත් නෑ නේ."මිස්ලා මට ජිවිතේ දුන්නා,ආයේ මොනවද මට දෙන්න තියෙන්නේ කියල"  අහන්නේ.
------------------------------------------------------------------------------------------------------
වැල්ලේ අලුතෙන් හෝටලයක් පටන් අරන් ලු වැඩි වයසක් නැති කෙනෙක්.එයාට මෙහෙට මොනවා හරි දෙන්න ඕන ලු.වෙන අය කරනවා වගේ දානයක් නෙවේ හැමදාම තියෙන්න ප්‍රයෝජනවත් දෙයක්.මොනවද ඕන බලන්න අද එනවා කියල කෝල් කළා. හ්ම්..අමුතු විදියට හිතන කෙනෙක් වගේ.එහෙම නොහිතා  ඉතින් බිස්නස් කරන්නත් බෑ.
හැමතැනම ඇවිදලා අපිට වොශින්මැෂින්  එකකට සල්ලි දුන්නා. ලොකු දෙයක්. දවසකට , සතියකට කොච්චර  රෙදි ගොඩක් හෝදන්න  වෙනවා ?
මම donation එකට රිසිට් එක ලියද්දි මිනිහා වශී වෙලා වගේ බලන් ඉන්නවා මගේ මේසෙට දාල තියෙන සවිනි ගෙතුව මේස රෙද්ද දිහා. කොහෙන්ද ගත්තේ අහනවා.එයා ගේ හෝටලේ එක පැත්තක් හදන්නේ දකුණේ පරණ සංස්කෘතියට අනුව ලු. එකට අනිත් ඔක්කොම දේවල් හරි ලු,හොඳ බීරළු රේන්ද,මේස රෙදි හොයා ගන්න බැරුව ලු ඉන්නේ. ගාන  ප්රශ්නයක් නෑ ලු. ගොතලා දෙන්නලු.මම කිව්වා ගොතන කෙනාගෙන් අහලා කියන්නම් කියලා. අනේ හොඳයි කෙල්ල කීයක් හරි හම්බ කර ගන්න මාර්ගයක් ලැබෙනවා නම්.
-------------------------------------------------------------------------------------------------
හෝටලේ සරසන්න දුන්න බීරළු වැඩ වලට සුද්දන්ගෙන් පුදුම ඉල්ලුමක් ලු.අයිතිකාරයා වෙන ෂොප් එකක් දාන්න හදන්නේ බීරළු සැරසිලි වලට.සවිනි තනියෙන් ඕඩර් සම්පුර්ණ කර ගන්න බෑ වගේ.සුමනා වැල්ලේ කෙනෙක් වුන එක හොඳට ගියා. පැත්තෙන් දන්නා අඳුනන ගෑනු ළමයි දෙන්නෙක් හොයාගෙන දැන් එයාලටත් උගන්වාගෙන සවිනි බිස්නස් කරන්නේ. ඒක බිස්නස් කියන්න ත් බෑ. ගන්න සල්ලි ඔක්කොගෙන් මෙහාට බඩු, මේ අම්මලට ඇඳුම්  ගෙනාවා, කාමර වල තීන්ත ගානවා. කොච්චර කිව්වත් වැඩක් නෑ නේ අනාගතේ වෙනුවෙන් ඉතුරු කරන්න කියලා. අනාගතේ මේක ලු. මගේ ජිවිතේ K ගෙවනවාලු.
මගේ ජිවිතේ මෙහෙම දවසක් කවදාවත් තිබුනේ නෑ .රෙජිනා අම්මා හොයාගෙන මුනුබුරා ඇවිත් අවුරුදු 20කට පස්සේ ඇමරිකාවේ ඉඳන්.එකම පුතා පවුල පිටින් රට ගිහින් තියෙන්නේ අම්මා නෑදෑ ගෙදරක නැවැත්තුවා කියල ලු. පුතාගේ එකම පුතා ඉගෙන ගෙන ඉවර වෙලා රස්සාවක් ලැබුන ගමන් කරලා තියෙන මුල් වැඩේ පොඩි කාලේ තමන් ආදරෙන් බලා ගත්ත ආච්චි අම්මව හොයන්න එන එක.දෙන්න බදා ගෙන අඩද්දී හරි දුකයි. ඒක බලන් අනිත් අම්මලා ටත් දුකයි.මේ අම්මල ගේ දූ දරුවෝ ගැන මොනවා කියන්නද මන්දා.
-----------------------------------------------------------------------------------------------------------
අශේන් දැන් නිතර මෙහෙ යනවා,එනවා.මිනිපිරියෙක් විතරක් හිටිය අම්මලා දැන් මුනුපුරෙකුත් හම්බ වෙලා.සවිනිත් මේ අවරුදු ගානම කාටවත් වැඩිය මූන දුන්නේ නැති එකේ හොඳ යාලුවෙක් හම්බ වෙලා. අශේන් එහෙ හොඳ රස්සාවක් ලු කරන්නේ. තමන්ට ගෙයක්, වාහනයක්  තියෙනවා ලු.ආච්චි එහෙ ගෙනියන්න ඕන ලු. අනේ හොඳයි, රෙජිනා අම්මා පුතාගෙන්  නැති  වුන ආදරේ මුණුපුරාගෙන් වත් ලැබෙන එක.
--------------------------------------------------------------------------------------------------------------
අශේන් අද මගෙන් අහපු කතාව හිතා  ගන්නවත් බැරි වුනා.මම අවසර දෙනවා නම් එයා කැමති ලු සවිනි මැරි කරන්න.තාම සවිනි ගෙන් ඇහුවේ නෑ ලු.මගේ කැමැත්ත අහනවා. ආච්චි කිව්වා ලු.ආච්චි හොඳට කැමති ලු.මගෙන් අහන්න කිව්වා ලු සවිනි ගේ බාරකාරය මම නිසා.අද ලංකාවේ කොල්ලෙක් වත් කෙල්ලගේ ගෙදරින් මුලින් අහන්න එන්නේ කොයි තරම් කලාතුරකින් .අශේන් ගේ නරකක් නම් මට පෙන්නේ නෑ.මට වඩා ලෝකේ ගැන දැනුම් තේරුම් තියෙන මේ එක අම්මෙක් වත්,අඩුම ගානේ  සුමනා  වත් අශේන් ගේ වරදක් නම් කියලා නෑ. ම්ම්ම් මට ප්රශ්නේ සවිනි ගේ කතාව කියනවා ,නැද්ද...........
ඒක අහල කොල්ල අකමැති වෙයි .සවිනි මේ ගැන දන්නේ නැත්නම් කෙල්ල ගේ හිත රිදෙන්නේ නම් නැති වෙයි.නොකිය ඉඳල පස්සේ ප්රශ්නයක් වෙයි .
----------------------------------------------------------------------------------------------------------------
සවිනි ගේ කතාව අහල අශේන් මුලින් ඇහුවේ ඇයි ලීගල් ඇක්ෂන් එකක් නොගත්තේ කියල. එහෙම තමන්ගේ වීඩියෝ එකක් අනවසරයෙන් පාවිච්චි කරන්න කාටවත් බෑ නේ කිව්වා. මෙච්චර කාලෙකට මට වත් එහෙම එකක් හිතුනේ නෑ . ඇත්ත. වගේ දෙයක් වුනාම අපි හැමෝම අර අහිංසක කෙල්ලට වරද පටවලා කෙල්ල සියදිවි හානි කර ගන්නවා හැර වෙන විසඳුමක් නැති තැනට ගේනවා  වුනාට  ඔක්කොම ප්රශ්න හදපු මිනිහා නිදැල්ලේ. එහෙම ලීගල් ඇක්ශන් 1ක්-2ක් වත් ගත්තොත් මේ අපරාද මේ තරම් බහුල නොවෙන්නත් තිබුණා.
-----------------------------------------------------------------------------------------------------------------
වැඩිහිටි නිවාසේ  ගන්න පලවෙනි මගුල් ගේ.එක අම්මෙක් නැතුව හිටිය සවිනි අද අම්මලා ගොඩක ආශීර්වාද මැද්දේ ලස්සන මනමාලියක් වෙලා,එදා සවිනි බේර ගත්ත පියසිරි තාත්තා වගේ කෙල්ල අශේන්   බාර දෙද්දී  මගේ සන්තෝසේ කියන්න වචන නෑ.

Comments