නම


"අනේ මන්දා මේ ලෝකෙට වෙලා තියෙන දෙයක්.ලැව් ගිනි,සුළි සුළං,ගංවතුර මදිවට අම්මා මුත්තා කාලේ වත් අහපු නැති වසංගත"
"ඔය කොයි දේනුත් තට්ටු වෙන්නෙ අපේ රස්සාවට.සුද්දො එන්නෙම නෑ දැන්"
විදේශිකයන්ට මග පෙන්වන කීප දෙනෙක් එක් තැන් වූ මොහොතක කතා වෙති.
"එන කීප දෙනත් හොයාගෙන එන්නෙ අයියාව.අපිට සොරි තමා."තරුණයෙක් එතැන සිටි මැදිවියේ මග පෙන්වන්නෙකුට චෝදනා කළේය.
"අපි මිනිස්සුන්ට හරියට සලකනවා නම් එහෙම තමා බං"
වැඩිහිටියා සිනා සී කීවේය.
"කවුද නරකට සැලකුවෙ.සුපිරි හෝටල් වලට ගෙනියලා......."
"අන්න ඒක තමා වරද.....වැඩිහිටියා නැවත කීවේය.
"ලංකාවට එන හැම සුද්දා කෝටිපතියො නෙවේ.සමහරු මුළු ජීවිත කාලෙම සල්ලි එකතු කරල පිටරටකට යන්න ආසාව නිසා පොඩි විසිට් එකකට එන්නෙ.උන් ගාව තියෙන්නෙ බොහොම අඩු බජට් එකක්. වගේ උන් high class hotel වලට යවල රුපියල් 100 දුර ඩොලර් 100ක් ගන්න ටැක්සි කාරයෙක් සෙට් කරල දුන්න උන් ආයෙ එයි ?දන්න කියන එකෙක් සෙට් කරයි ?"
"එහෙම නැතුව කොහොමද අයියෙ.සුද්දො නැති කාලෙට අපි ජීවත් වෙන්නෙ තැන් වලින් දෙන කොමිස් එකෙන්."
"උඹලා හරියට සලකනවා නම් සුද්දො නැති වෙන්නෙ නෑ බං"
"හැබැයි අයියගෙ නම හින්දා තමා සුද්දන්ට වැඩිපුර මතක හිටින්නෙ.නැද්ද?"තරුණයෙක් කියද්දී වැඩිහිටියාගේ කට කොණට සිනාවක් නැගුනේය.ඔහුට වසර 30-40කට පෙර තමන්ගේ පාසල් කාලය මතක් විය.
"මම යන්නෙ නෑ මීට පස්සෙ ඉස්කෝලෙ"
පාසල ඇරී විත් පොත් බෑගය විසි කර දමා කඳුළු පුරවාගෙන සිටින පුතා දෙස අම්මා විමසිල්ලෙන් බැලුවේය.
"අර මොකද?"
හේතුව දන්නවා වුවත් ඇය ඇසුවාය.
"ළමයි මගෙ නමට හිනා වෙනවා.විහිළු කරනවා."
"ඒකෙ මොකක්ද හිනා වෙන්න තියෙන්නෙ"
"මොන විකාර නමක් .ගුරුවරුත් නම් ලකුණු කරද්දි මම දිහා හොඳට බලල තනියම හිනා වෙනවා.මම යන්නෙ නෑ නෑ මයි"
පොඩි එකා තරහින් දෙපා පොළවේ ගසයි.
ඔය නමේ කිසි විකාරයක් නෑ ළමයො.මගෙ හොඳ පුතා තරහ නොගෙන ඉන්න.උන් ඔයා අවුස්සන්න විහිළු කරන්නෙ"
අම්මා කෙසේ හෝ තත්වය සමනය කර දරුවා පහුවදා පාසලට යවන්නේ තාත්තාත් නැති දරුවාට ඇති එක පිහිට ඉගෙනීම පමණක් බව තරයේ ඇදහූ නිසාය.
දිනක් ඔහු ඉතා සතුටින් නිවසට ආවේය. අළුත් ආරංචිය අම්මාට කියන තුරු ඔහුට ඉවසිල්ලක් නැත.
"අම්මේ...අම්මේ...අපිට පුළුවන් ලු අපේ තියෙන නම හොඳ නැත්නම් වෙනස් කරන්න. අජිත්ගෙ බාප්පා කෙනෙකුත් එහෙම කළාලු. මගෙ නමත් වෙනස් කරමු"
එවර නම් අම්මා ටත් රතු කට්ට පැන්නේය.
"වෙනස් කරන්න.මොකක්ද ඔය නමේ තියෙන නරක?උඹ උපන් වෙලාවෙ පල්ලිය වත්තෙ ඉස්කෝල මහත්තයා කිව්වෙ උඹේ නම කවද හරි පිටරට වලත් ප්රසිද්ධ වෙනවා කියල. සැරේ උඹලගෙ තාත්තා තමයි එහෙනම් කොල්ලට හොඳ ප්රසිද්ධ නමක් තියමු කිව්වෙ. තමන්ගෙ දරුවට නරක නමක් තියෙනවද තාත්තෙක්?"
"තාත්තට හොඳ වුණාට මට හොඳ නෑ ඒක.මට මේක වෙනස් කරන්න ඕන ඕනමයි"
ආවේගයට කෑ ගැසුවාට ඔහුට තනිව නම වෙනස් කර ගන්නට තරම් හයියක් දැනුම් තේරුමක් නැත.පාසලේ විහිළු තහළු ඉවසන්නට බැරි ඔහු කට්ටි පැන්නේය. රස්තියාදු ගැහුවේය.අහුවෙන ඕනෑ දෙයක් කරමින් අද දවස ජීවත් වන්නට පොර බැදුවේය.පාසලෙන් නොලද ඉගෙනීම සමාජයෙන් සම්පූර්ණ කර ගනිමින් අවසානයේ තමන්ට ඉරණමෙන් ලියා තිබූ සංචාරක මග පෙන්වන්නෙකුගේ රැකියාවට වැටුණේය.
එදා පිළිකුල් කළ තමන්ගේ නම ඔහුට දැන් ආශිර්වාදයකි.දිව උළුක් වන සිංහල නම් වලට වඩා බොහෝ විදේශිකයන්ට මේ නම හුරු පුරුදුය. ලෙහෙසිය.පහසුය.සරලය.සංචාරය නිම ගොස් වසර කීපයකින් නැවත ආවත් ඔහුව සොයාගෙන එන්නට තරම් නම මතක සිටියි.
"ඇලඩින් අයියෙ....අන්න සුද්දො දෙන්නෙක් ඇවිල්ලා අයියව අහනවා.ගිය අවුරුද්දෙ මෙහෙ ආව උන් ගෙ යාළුවො සෙට් එකක් ලු අයියගෙ නම දුන්නෙ"
තරුණයා ගේ හඬින් වැඩිහිටියා දැහැනෙන් මිදුනේය.
"එදා මට පෙනුනෙ නුඹ හතුරෙක් වාගෙයි තාත්තෙ.අද මට පෙනෙන්නෙ නුඹ දෙවියෙක් වාගේ...."
ගීතයක පදයක් සිහි කරමින් ඔහු හෝටලයේ ඉදිරිපසට ඇදුනේය.


Comments