සිහිනයකි ජීවිතේ


"කවි,උඹ මොකද බන් ජනිත් අය්යා ගැන කියන්නේ"පවනි අද දවසට දහ  වෙනි වතාවට වෙන්න ඇති මගෙන් අහන්නේ.
"හරි යන කෙල්ලෙක් හොයා ගන්න කියපන්" මම හැමදාම දෙන උත්තරේ දුන්නා. "උඹට පුළුවන් බන් වගේ හැන්ඩි කොල්ලෙක් ඔහොම කතාවක් කියන්න.බලපන් දැන් මාස කීයක් උඹේ පස්සෙන් ? දුප්පත් කොල්ලෙක් වෙන්න බෑ බන්.අඳින පළඳින විදිය බලපන්කෝ.අර bike එක ලක්ෂ ගානක් වටී."
" හොඳ කොල්ලෙක් වෙන්න ඇති. වුනාට උඹ දන්නවා නේ.අපේ අය්යා ඕව කරලා අහු වුනොත් මාව මරයි බන්."
"ඉතින් කවුද අඬ බෙර ගගහා ලවු කරන්නේ.දැන් මම දසුන් එක්ක යාලු වෙලා අවුරුදු කීයක් ?උඹල දෙතුන් දෙනෙක් ඇර කිසි කෙනෙක් දන්නවා ? ගණන් උස්ස උස්ස ඉඳල වෙන කෙල්ලෙක් අල්ල ගත්ත දවසට හූල්ලපං"
 පස්සෙන් කොච්චර කොල්ලෝ ආවත් මම හැරිලා වත් නොබැලුවේ තාත්තා නැති ගෙදරට තාත්තා වුන අපේ අයියා ගේ හැටි දන්නා නිසාමයි. එයාගේ එකම බලාපොරොත්තුව තිබුනේ මාව කැම්පස් යවන්න. ඇත්තට ඒක මටත් එච්චර අමාරු ටාගට් එකක් වුනේ නෑ.වාරවිභාග වලදී section එකේ මුල් කීප දෙනා අතරේ මගේ ලකුණු තිබුනා.ඒත් දවස ගානේ පවනි ගේ මෙහෙම කතා ඇහෙද්දී මගේ හිතත් ජනිත් ගේ පැත්තට නිකන් ඇදුනා.අන්තිමට මම ජනිත් කැමැත්ත දුන්නා.මම class cut කරන්  එයාගේ motor bike එකේ පාරවල් දිගේ ගියා.වරු ගණන් අපේ අනාගතේ ගැන කතා කර කර හීන මැව්වා.ගෙදරදී පාඩම් කරන්න පොත අතට ගත්තත් මගේ හිතේ ඇඳුනේ එයා එක්ක දවසේ කතා කරපුවා.අපි දෙන්න ගේ අනාගතේ ගැන.
මේ ඔක්කොම වෙනස් වුනේ නොහිතපු විදියට අයියා අපි ගැන ආරංචි වුන දවසේ. අයියගේ යාලුවෙක් ගෙන් ඔක්කොම දැනගෙන අයියා ගෙදර ආවේ යකෙක් වෙලා.මාව කාමරේට දාලා හොඳට ගැහුවා.ඒත් මම නෙවේ ජනිත් ගේ නම කිව්වේ.එදා ඉඳන් මට ඉස්කෝලේ යාමත් තහනම් වුනා.දන්නා දෙයක් පාඩම් කරලා විභාගේ ලියපුදෙන් කියලා අයියා අම්මටත් කියල තිබුනා මට  ගෙදරින් එලියටවත් බහින්න දෙන්න එපා කියල.ගෙදර ෆෝන් එකත් ලොක් කළා.
අන්තිමට Admission ගන්න මම යන්න ඕන නිසා අයියා මාව ඉස්කෝලේ ගාවින් බස්සලා ගේට්ටුව ගාව නතර වුනා.
"කවි, මොකද බන් වුනේ, මට ආරංචි ඔක්කොම.අයියා මාරාවෙස  වෙලා නිසා මම ගෙදරට වත් ආවේ නැත්තේ" පවනි මාව දැක්ක ගමන් දුවගෙන ආවා .
"අනේ..මට ගෙදර ඉන්න බෑ බන්.ඒක අපායක් දැන්. ජනිත් නොදැක කොහොමවත් ඉන්න බෑ. මට කොහොම හරි ජනිත් මුණ ගස්සපන්" මම පවනි බැගෑපත් වුනා. "හ්ම්...බලමුකෝ කල්පනා කරලා"පවනි එදා ඉස්කෝලේ ඇරෙන්න කලින් මාස්ටර් ප්ලෑන් එකක් හදලා දුන්නා මට ජනිත් මුණ ගැහෙන්න.
මාස ගානකින් ජනිත් දැක්ක මට පිස්සු වගේ."අනේ..අය්යේ මට අයෙත් ගෙදර නම් යන්න බෑ. මාව ඔයාලගේ ගෙදර එක්ක යන්න." මම අඬා වැටුනා.අන්තිමට ලස්සන මනමාලියක් වෙලා හතර පේරුවේ නෑදෑයෝ වට කරන් ජනිත් ගේ ලෝකෙට යන්න හිටිය මම ගවුමයි, සෙරෙප්පු දෙකකුයි ඇඳගෙන එයාගේ bike එකේ එයාලගේ ගෙදරට ආවා.
ඒත් මම කබලෙන් ලිපට පැන්නා නේද කියල තේරුම් යන්න පැය කීපයකට වඩා ගත වුනේ නෑ .ජනිත් හැමදාම මාව බස්සලා bike එක පැදගෙන ගියේ ටවුන් එකේ තට්ටු මාලිගා තියෙන පැත්තට වුනාට එදා මාවත් දාගෙන මාලිගා ඔක්කොම පහු කරන් අනවසර පැල්පත් පැත්තට ගියේ.සල්ලිකාරයෙක් වගේ එයා ඇඳල තියෙන්නේ එයා වැඩ කරන club එකේ අයිතිකාරයාගේ අයින් කරන ඒවා. bike එකත් යාලුවෙක් ගේ. එයාලගේ යන්තම් අටවා ගත්ත පුංචි ගෙදර අක්කල, අම්මල, අක්කගේ ළමයි ඔක්කොම දහ   දෙනෙක්. හරියට තේ එකක්වත් හදන්න නොදැන එතනට ගිය මාව වැටුනේ  වැඩකාරියෙක් ගානට.
පැල්පත් වල සිද්ද නොවුන දෙයක් නෑ .ජනිත් හැමදාම උදේට ගියාම රෑට එන්නේ හොඳට බීල.ගෙදරට වත් මට වත් කීයක් වත් දුන්නේ නෑ. අගහිඟකම් එක්ක  මටත් සල්ලි හොයන විදියක් හොයා ගන්න ඕන වුනාට මේ පැත්තේ තියෙන එක රස්සාවක් වත් මට කරන්න පුළුවන් ඒවා නෙවේ. ෆැක්ටරි එකක වැඩට වත් යන්න මගේ O/L සහතිකේ වත් නෑ. ඔක්කොම  වියදම් කලේ අක්කගේ මහත්තයා. එයා කීප දවසක්ම මගේ දිහා බලපු විදිය මට ඇල්ලුවේ නෑ."අනේ ජනිත්,අපි කාමරයක් කුලියට අරන් යමු" මම බැගෑපත් වුනා.
"හහ් ...ඇයි උඹ එද්දී ගෙනාව දෑවැද්ද තියෙනවා ඒවාට වියදම් කරන්න.බලෙන් මගේ ඇඟේ  එල්ලිලා ආවා නම් මෙහෙ විදියට ඉඳපන්."
කෝ අර සුරංගනා කතා කියපු මගේ කුමාරයා.මට හිතාගන්න බැරි වුනා.තත්වේ තවත් දරුණු වුනේ මම pregnant කියල දැන ගත්ත .හැම බිරිඳක් වගේ මමත් හරිම සන්තෝස වුනා අම්මා කෙනෙක් වෙන්න.ඒත් ඒක අහපු ගමන් ජනිත් කිව්වේ "තමුසෙට පිස්සු ඕයි,ළමයි හදල උන්ට කන්න දෙන්නේ තමුසේ ගේ ගෙදරින් ද.ගිහින් ඉල්ලන් එනවා "
වෙනදා ඉඳ හිට මට අතක් උස්සපු ජනිත් එදායින් පස්සේ හැමදාම මට ගහන්න පටන් ගත්තේ මගේ තත්වේ වත් නොසලකා.එක දවසක් රෑ හොඳට බීල ආව ජනිත් මාව ගෙදරින් එලියට ඇදලා දැම්මා. මහ රෑ කොහේ යන්නද.එලි වෙනකල් පඩිය උඩ අඬ අඬා ඉඳලා මම උදේ පැත්තේ ටිකක් හරි මට කරුණාවක් පෙන්නුව ඇසිලින් ආච්චිලගේ ගෙදරට ගියා.
"උඹට මොන පිස්සුවක් හැදිලා කෙල්ලේ මේ යකා එක්ක ආවේ.ඕකා ඔහොම හිටියට ……. නෑ ඕන නෑ "ඇසිලින් ආච්චි දරුවා ලැබෙන කල් මට ඉන්න දුන්නා ගෙදර.  ජනිත් නෙවේ එක දවසක් වත් පැත්තේ ආවේ. අහල පහල මට හිතවත් වුන තව කෙනෙක් තමා සුජාතා අක්කා.එයා වැඩ කලේ ෆුඩ් සිටි එකක.එයත් පුළු පුළුවන් විදියට මට උදව් කළා.දරුවා ලැබිල ටික කලක් යද්දී මම සුජාතා අක්කට පින්සෙන්ඩු වුනා මොකක් හරි ජොබ් එකක් හොයල දෙන්න.
"කෙල්ලේ ඔන්න පොඩි ජොබ් එකක් නම් තියෙනවා, හැබැයි contract ."
"අනේ, මොකක් හරි කමක් නෑ අක්කේ.මටයි මේ පොඩි එකාටයි ජිවත් වෙන්න".
විදයට තමයි මම ෆුඩ් සිටි එකේ cleaning රස්සාවට ආවේ.දැන් අවුරුදු 5ක් තිස්සේ පුතාවත් හදන්  හැරෙන්නවත් ඉඩ  නැති පුංචි කාමරයක කුලී ගෙවන්  අමාරුවෙන්  මම ජිවිතේ ගැට ගහ ගන්නවා.
එදා  මම ඉස්සරහ විදුරු දොරවල් clean කර කර හිටියේ.පුතා අසනීප වෙලා මුළු රෑම  මම ඇහැරලා.අව්ව සැරට ඇස් දෙක ඇතුලේ මිරිස් අතුල්ලලා වගේ දැවිල්ල හැදෙනවා නිදිමතත් එක්ක.ලොකු cab එකක් ෆුඩ් සිටි එක ඉස්සරහම නවත්තලා තරුණ ජෝඩුවක් බැහැලා ආවා.පිරිමි කෙනාගේ අතේ එල්ලිලා හිටිය නෝනා sunglasses දාලා කොන්ඩේ ත් කපලා හිටියට පුරුදු මූනක් වගේ. අහ් පවනි නේ.අවුරුදු ගානකින්.මම හිනා කටක් පුරවාගෙන එයා දිහා බලන් හිටියා.
පවනි එක මොහොතක් පුදුමෙන් වගේ මගේ දිහා බලල  එක පාරම sunglasses දෙක ත් හරි ගස්සන් ඇතුලට ගියේ මම දැක පුරුදු නැති සැමියාගේ අතේ එල්ලිලාමයි
"කවුද බබා ,අඳුනන කෙනෙක් "
"පිස්සුද darling.මම කොහොමද ඔය cleaners අඳුරන්නේ".
මගේ ඇස් වල දැවිල්ල තව ටිකක් වැඩි වුනා දැනුනා.

Comments