ඔවා දෙනු පර හට

Assistant Images, Stock Photos & Vectors | Shutterstock
කුස්සියේ වැඩ අවසන් කල මේනකා චාර්ජ් වෙන්නට දමා තිබු ෆෝන් එක බලන්නට කාමරයට ආවාය.මොබයිල් ඩේටා ඕන කර ගත ඇය ෆේස්බුක් පැත්තේ සැරිසැරුවාය.ඇය සාමාජික වී සිටින ගෘප් එකක සාර්ථක පවුල් ජිවිතයක් ගැන ඇති තරඟයකට මේනකා ලියු පෝස්ට් එක ලයික් 1000 පසු කර ඇත.කමෙන්ට්ස් 500 එහාය.
"ඔයා නම් හරි වාසනාවන්තයි"
"සංසාරගත ආදරයක්"
"සියලු දෙවි පිහිටයි ඔයාල දෙන්නට"
"හැම ගෑනු ළමයෙක් ගේ සිහිනය ඔවැනි සැමියෙක්"
"සසර පුරා ඔබ දෙදෙනා හමු වේවා"
"පුංචි ඔලුවේ කැක්කුමට ත්   ඔහොම ළඟ ඉඳන් සලකන සැමියෙක් කියන්නේ හරි වාසනාවක්.වෙන මුකුත් මොකටද.සුබ පැතුම්"
හැම කමෙන්ට් එකක් හා සමානය.මේනකා සියල්ලට මුලින් හාර්ට් රියැක්ෂන් දමාගෙන ගියාය.ඉන්පසු හැම එකකට ස්තුති කර රිප්ලයි කමෙන්ට් ලිව්වාය.inbox එක පිරි ඇත.
"ඔයා  කොහොමද අනේ මහත්තයට උයන්න පුරුදු කලේ.අපේ එක්  කෙනා දන්නේ යන්තම්  බතක් උයා ගන්න විතරයි"
"අනේ අපේ හබි ත් මම මොනවා ඉව්වත් සද්ද නැතුව කනවා. වුනාට ඔයාගේ හස්බන්ඩ් වගේ කිසි දෙයක් පිළිවෙලට අස් කරන්නේ නම් නෑ.කොහොමද එහෙම කරව ගන්නේ.අනේ මට දෙන්නකෝ උපදෙසක්"
"ඔයාට නිසා කියන්නේ අක්කා.මගේ මහත්තයට හරියට තරහ යනවා. වෙලාවට දවස් ගණන් මම ත් එක්ක කතා නෑ.ඔයා නම් හරි ලකී ඔහොම ඉවසන හස්බන්ඩ් කෙනෙක් ලබන්න.කොහොමද අක්කා පවුලේ සාමය පවත්වා ගන්නේ"
මේනකා සියලු ප්රශ්න වලට උත්තර සැපයුවාය. කුස්සිය පැත්තෙන් රොස් ගඳක් ආවේය.
"දෙයියනේ,බත ලිපේ නේද.අදත් මේ මිනිහා වලන් ටික පොලවේ ගහයි."ඇය ෆෝන් එක එහෙම අත්හැර කලබලයෙන් දුවන්නට නැගිට්ටාය.සැමියා උදේ ඇඳ ළඟ බිම වළල්ලක් මෙන් දමා ගිය සරමේ පැටලී වැටෙන්නට ගිය ඇයගේ මුහුණ බිත්තියේ හැපුනේ ඊයේ සැමියාගේ පහර වැදී ගෙඩි ගැසුන නළල නැවත වරක් පාරවමිනි.
---------------------------------------------------------------------------------------------------
සියල්ල මනඃකල්පිතය.

Comments