තවත් විදියක්

Daily Mirror - SC amends dress code for female lawyers
ඊශා සමරනායක, "නීතීඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්" අද මුහුණ දී සිටින්නේ මෙතෙක් 
කලක් මුණ නොගැසුණ තාලයේ සේවා දායිකාවක ටය. "එතකොට ඔයාට හස්බන්ඩ්ගෙන් කිසිම වන්දියක් නඩත්තු මුදලක් ඕන නැද්ද?" ඊශා තවත් වරක් රුචිරානිගෙන් ඇසුවාය.
"එපා මැඩම්"ඇය හිස දෙපසට වැනුවාය. "සල්ලි තිබුණා නම් මම රහල් ට දෙනවා මාව 
මේකෙන් නිදහස් කළාට." එවර නම් ඊශා ගේ කටත් ඇරුණේය.තමාට වෙනත් 
සම්බන්ධයක් ඇති නිසා මේ විවාහය කෙළවර කරමු යයි යෝජනා කළ සැමියාට මෙතරම්
ලෙහෙසියෙන් මිදී යන්නට දෙන බිරිඳක් කිසිදා හමු වී නැත.ඇය ඇයි කියනා බැල්මකින් 
රුචිරානි දෙස බැලුවාය. "ජාති ආගම් කුල පවුල් පසුබිම් කේන්දර ගැලපෙන නිසා ගෙවල් 
වලින් අපි දෙන්නව එකතු කළාට අපේ අදහස් ගතිගුණ සිතුම් පැතුම් අහසට පොළව 
වගේ.ලෝකෙ කොහේවත් ටක්කෙට ම ගැලපෙන දෙන්නෙක් නැහැ තමයි.ඒත් ගලපගෙන ඉන්න පුළුවන් තරමටත් වඩා අපි දෙන්නා දුරස්.කසාදෙ රැක ගන්න නම් ගෑණු කෙනා තමයි කැපකිරීම් දරා ගැනීම් ඉවසීම් කරන්න ඕන කියල අම්මලා නැන්දලා ආතම්මලා පොඩි කාලෙ ඉඳන් කිව්වෙ.ඒ හැමදේම මම කළා.මට දැනුනෙ ඒ ජීවත් වෙන්නෙ මම  නෙවේ වෙන කෙනෙක් වගේ.හිතේ කිසිම සන්තෝසයක් නෑ.අන්තිමට රහල් ම මේ පියවර ට ගිය එක ගැන මම සන්තෝසයි." "ඔයා ට මොකක්ද වෙන්න ඕන දැන්" "පුළුවන්  ඉක්මනින් මේ නඩුව ඉවර කරල මාව නිදහස් කරල දෙන්න මැඩම්.කෙස් පැලෙන පුහු තර්ක වලට මූණ දෙන්න අමාරුයි මට මිනිස්සු ඉස්සරහ" ඊශා සුසුමක් හෙළුවාය.
දෙපාර්ශවය ම දික්කසාදයට එකඟ ව සිටි නිසා වැඩි කල් නොඇදී එය අවසන් කර ගත 
හැකි විය. එයින් පසු රුචිරානි ගන්නට යන පියවර කුමක්දැයි දැන ගන්නට ඊශාගේ
ගැහැණු සිත බල කළත් නීතීඥ මොළය ඊට පෙරටු ව ඇය නිහඬ කලේය. 
------------------------------------------------------------------------------------------------------ 
අධික කාර්යබහුලත්වය නිසා ඊශාට බොහෝ සමාජීය කටයුතු මග හැරේ.
නමුත් මේ නම් යා යුතු ම මගුලකි.කාලයකින් උත්සවයකට නොගිය නිසා අළුත් සාරියක්
ගත යුතුය.සුපුරුදු ගැහැණුකම uncommon සාරියක් අඳින්නට ආසා කරයි.නමුත් එක ම 
ආකාරයේ සාරි රටාවකට පුරුදු ව සිටින ඇය දැන් ඇති අළුත් සාරි වර්ග දන්නේ ද නැත.
ඒවා සොයන්නට සාප්පු ගානේ වැය කරන්නට කාලයක් ද නැත. 
"අපි ඔන්ලයින් ඕඩර් කරමු මැඩම්.මම දන්න තැනක් තියෙනවා." ඇගේ පිහිටට ආවේ 
කාර්යාලයේ ලේඛන කටයුතු කරන සමින්දා ය.
"කොහොමද එහෙම කරන්නෙ?"
"අපි ට ඕන පැටන් එකක් තියෙනවා නම් ඒක යවල හදා ගන්නත් පුළුවන්. නැත්නම් එයාල ගාව තියෙන සාම්පල් වලින් තෝරලා කැමති පාටකින් හදල දෙන්න කියන්නත් පුළුවන්. කූරියර් සර්විස් එකකින් එවන්නෙ. ඒකට පේ කළා ම හරි" 
"වැඩේ ෂුවර් නේද සමින්දි?" "අපෝ ඔව් මැඩම්.අපේ ඉස්කෝලෙ යාළුවෙක් ගෙ වෙඩින්
එකට අපි කට්ටියම එතනින් ඕඩර් කරල එක ම ඩිසයින් එක වෙනස් පාට වලින් ඇඳලා 
ගියේ.මාර ඩිමාන්ඩඩ්. ටිකක් කලින් කියන්න ඕන අතින් ම හදන නිසා." 
"එහෙනම් ඔයා ම ඒක බලන්නකෝ.මම අලුත් පැටන් දන්නෙත් නෑ" අනුන්ට වුවත් ඇඳුමක්
තේරීම විනෝදාංශය කරගත් සමින්දි සාරි සාම්පල් අතරින් කැමති එකක් තේරීම 
පමණක් ඊශා ලවා කරවාගෙන අනෙක් සියල්ල තමා ම ඉටු කළාය. "දවල්ට ගෙදර 
කවුරුත් නැති නිසා සාරිය ඩිලිවර් කරන එඩ්රස් එක මම ඔෆිස් එක දුන්නා" සමින්දි 
අවසර ගත්තේ delivery ok කිරීමෙනුත් පසුවය.
සාරිය දුටු ඊශා සතුටින් පිනා ගියාය.ඒ වියදම් කළ ගණන මුළුමනින් සාධාරණය.සාරිය 
ගෙන ආ කාන්තාවගේ මුහුණ ඇයට පුරුදු බවක් දැනුනේය.
"මැඩම් ට මාව මතකද දන්නෙ නෑ" ඇය සිනාමුසු ව ඇසුවාය. "මේ රුචිරානි නේද?ඔයා දැන් කූරියර් එකකද වැඩ?" ඊශා පුදුමයෙන් ඇසුවාය.
"දික්කසාද ගෑණියෙක් ට සමාජයේ ජීවත් වෙන්න කොච්චර අමාරුද මැඩම් ට අමුතුවෙන්
කියන්න ඕන නෑනේ.මට මුලින් ම විරෝධය ආවෙ මගේ පවුලෙ අයගෙන් මයි. නඩුව 
දාන්න යන ආරංචිය ලැබුණ දවසෙ ඉඳන් එයාලා මාව කොන් කළා.මම divorce වුණොත් 
අපේ හතර පේරුවෙම කිසි කෙනෙකුට කවදාවත් කසාදයක් කර ගන්න බැහැ වගේ එයාල කතා කළේ.ඒ නිසා නඩුව පටන් ගත්ත කාලෙ වෙද්දිත් මම රස්සාවල් හොයන්න පටන් අරන් හිටියෙ.පඩියට වඩා මම බැලුවෙ මාව දන්න අඳුනන හැමෝගෙන් ම ඈත් වෙලා  වැඩිය සමාජය එක්ක ගැටෙන්නෙ නැති රස්සාවක්.නඩුව ඉවර වෙද්දි ම වගේ එහෙම එකක් හම්බ වුණා හුඟක් ඈතින්.මම නැවතිලා හිටියෙ දරුවො නෑදෑයො ඔක්කොම දුර ඈත ජීවත් වෙන වයසක ගෑණු කෙනෙක් ගෙ ගෙදර තවත් එක බෝඩින්කාරියක් විදියට. නත්තල් පාටියට නෑයො යාළුවො ඔක්කොම ඒ ගෙදරට එකතු වෙනව.නත්තලටත් මම එහෙ නිසා මටත් ආරාධනා කළා. නොයාත් බෑ.අඳින්න තරම් වටින ඇඳුමක් ගන්න සල්ලිවත් ඉල්ල ගන්න කෙනෙක්වත් නෑ.අන්තිමට තොරොම්බල් කඩේකින් නූල් රේන්ද සීකුවීන්ස් ටිකක් ගෙනත් මගේ තිබුණ පරණ සාරියක් ම සරසලා ඇඳගෙන ගියා.ඒ සාරියට පුදුම ඉල්ලුමක් තිබුණා පාටියට ආව හැමෝගෙන් ම.ඒක මම හැදුවා කිව්වම කාටත් පුදුමයි. පාටියට ආව දෙන්නෙක් ම ඒ විදියෙ සාරි ඕඩර් කළා. එයාල දුන්න ඇඩ්වාන්ස් එක මගෙ මුළු පඩියටත් වැඩියි." "දැන් එතකොට ඔයා ද මේ ඔන්ලයින් සාරි  බිස්නස් එක කරන්නෙ?"ඊශා පුදුමයෙන් ඇසුවාය.
" Customers ලා directly ම මුණ නොගැහී මේ විදියට කරන එක මට ලේසියි. ආරක්ෂිතයි.හැබැයි දෙපැත්තෙන් ම විශ්වාසය උපරිමයට රකින්න ඕන.වෙනදාට නම් මම කූරියර් සර්විස් එකට බාර දෙන්නෙ.මේ එඩ්රස් එක දැක්ක ම මට ම ගෙනත් දෙන්න හිතුණා.මැඩම්ව හම්බ වෙන්නත් එක්ක"
"හරි ම සතුටුයි ඔයා ගැන.මේ සාරිය මම හිතුවටත් වඩා ලස්සනයි.මීට පස්සෙ මම දන්න ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ ඔයා ව තමා"
"Thank you very much මැඩම්.මේ සැරේ හොඳ ම ව්‍යවසායකයා සම්මානෙට මාව තේරිලා ඉන්නෙ. පිටරටිනුත් ඕඩර්ස් එනවා. ඉවර කර ගන්න බැරි තරම්. තව ගෑණු ළමයි දෙන්නෙකුත් වැඩ මමත් එක්ක. මනමාලියන්ටත් ඕඩර් වලට සාරි හදනවා. එකක් නම් නොමිලේ මයි දුන්නෙ."රුචිරානි රහස් හිනාවකින් කීවාය.
ඒ කාටදැයි අහන්නට ඊශාගේ ගැහැණු හිත පෙරටු වුවත් ඇය නිහඬ ව රුචිරානිට ම අවස්ථාව දී සිටියාය.
"රහල් ගෙ bride ට"
ඊශාගේ ඇස් විස්මයෙන් මහත් විය.
"එයා නොඉන්න රහල් මාව මේ බන්ධනයෙන් නිදහස් කරන්නෙ නෑ.එහෙම වුණා නම් මේ වගේ මම ආස දෙයකින් ම ගොඩ නැගෙන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ.ඒකට මට එයාට කොච්චර තෑගි දුන්නත් මදි" 
මෙවන් ගැහැණුන්ට දෙන්නට සම්මානයක් ඊශා දැන සිටියේ නැත.

Comments