කෝ කොහෙද


සඳුදා උදේ කියන්නෙ කාලෙකට කලින් දිනිති ගෙ ගෙදර පොඩි පහේ යුද්ධයක් වගේ.සම්පූර්ණයෙන් ප්රතිවිරුද්ධ ආහාර රුචිකත්ව තියෙන සැමියාටත් දුවටත් පුතාටත් ගැලපෙන විදියට උයලා තුන් පැත්තකට පිටත් වෙන තුන් දෙනා පිටත් කරලායි ඇය නිවසේ කොටසක තියෙන මැහුම් සාප්පුව අරින්න යන්නෙ.සඳුදා උදේක නම් මේ යුද්ධය තවත් දරුණුයි.සතියෙ දවස් පහ කාලසටහනකට වැඩ කරන තුන්දෙනාට සති අන්තයේ ඇති වෙනකල් මහන්සි අරින්න දිනිති ඉඩ දෙන්නෙ එළඹෙන සතිය මොන තරම් අභියෝග වලින් පිරී තිබුනත් ඒවාට සතුටින් මුහුණ දෙන්න ඕන කරන නැවුම් බව ඉන් සකස් වෙන බව විශ්වාස කල නිසා.
සති අන්තයේ හිතූ හිතූ දේවල් කරන තුන් දෙනා සඳුදා උදේට හැසිරෙන්නෙ අම්මා විතරක් ඉන්න ගේකට මුලින් ඇවිත් ජීවිතේ මුල් වතාවට රැකියාවට ඉස්කෝලෙට යන ගානට."අම්මේ මේස් දෙක කෝ?.ටයි එක කොහෙද? මගෙ බෑග් එක දැක්ක ? අද අපිට මැල්ලුම් හදන් එන්න කිව්වා..."
මේ නිසා ඇය ඉරිදා රෑට මේ සියල්ල ලෑස්ති කර තබයි.දැන් ටික ටික වගකීම් දරන්නට පුරුදු වන පුතාත් ඇයට උදව් කරයි.ඉතා වගකීම් සහිත කාර්යබහුල රැකියාවක යෙදෙන සැමියාට තරම් උදව්වක් කරන්නට නොහැකි වුවත් දරු දෙදෙනාගේ ඇඳුම් මැද දී උදේට ඔවුන් ලෑස්ති කරන්නට බාර ගැනීම ලොකු සහනයකි.
අද එළඹ ඇත්තේ අතීතයට අයත් වූ සඳුදාවකි. සිකුරාදා කඩිමුඩියේ සැමියා නිවස ආවේ අම්මාට අසනීප නිසා මේ දැන් බදුල්ලේ යා යුතු බව කියා ගෙන .එක පුත් රත්නය කාලෙකින් නොදැකීමෙන් නැන්දම්මාට ඇති වන රෝගාබාධ ගැන හොඳ අත්දැකීම් ඇතත් දිනිති දරු දෙදෙනාගේ පොත් බෑග වාහනයට පැටෙව්වාය.ගමේ යාම ඔවුන් දෙදෙනාට ඉස්කෝල නැති ලෝකයකට ඇතුල් වීමකි.එහෙත් වදෙන් පොරෙන් දිනිති දෙදෙනාගේ ගෙදර වැඩ ටික කෙරෙව්වාය. ඊයේ මහ රෑ නැවත නිසා වෙන කිසි ලෑස්තියකට ඉඩක් නැති විය.මහන්සිය නිසා එලාම් දෙක නොඇසී ගොස් .ඇය තත්පර කීපයක් ඇස් පියාගෙන කල යුතු දේ කල්පනා කළාය.ගිය සතියේ එක් දිනක් පාසල් නොගිය නිසා නොඇඳ ඉතිරි වූ නිල ඇඳුම් කට්ටලයක් ඇත.පැය ගානක් එක දිගට වාහනය එලවූ සැමියා නොඇහැරවා ඇය පුතා ඇහැරෙව්වාය.
"පුතා ... .මැණික අම්මට උදව් වෙනවා නේද? නංගි බබා එක්ක ලෑස්ති වෙන්නකො.යාළුවන් විස්තර ගොඩක් කියන්න තියෙනවා නෙ"
මහා කඩිසරෙන් වැඩ කරන අතර දී සැමියා ඇහැරී එනු ඇය ඇස් කොනින් දුටුවාය.දරු දෙදෙනා පිටත් කර යවා ඇය මෙතෙක් සද්දයක් නැති සැමියා සෙව්වාය.ඔහු ඔෆිස් කාමරයේ ලොකු වැඩක් පාටය.මේසය උඩ ඇති සියලු දේ ඇද දමා බිමට පෙරලා ඇති බව දුටු ඇය විස්මයට පත් වූවාය.
"මොනවද හොයන්නෙ"
"සීල් එක."
"මොන සීල් එක ?"
"මගෙ සීල් එක අනේ.සෙනසුරාදා අවුට් ස්ටේෂන් යන්න දාගෙන තිබුන නිසා ඒක මම කලින්ම බෑග් එකට දා ගත්තා"
"බෑග් එකේ ඇති එහෙනම්.එලියට ගන්න වෙලාවක් ආවෙ නෑනෙ"
ඔහු නිර්දය ලෙස ලාච්චු දෙක බිමට ඇද දමනු දුටු කෑ ගැසුවාය.
බෑග් එකේ නෑ."
"එහෙනම් කාර් එකේ වැටුනා දන්නෙ නෑ"ඇය කට වැරදුන බව වැටහුනාය.ඔහු වාහනයේ සීට් පවා ගැලවීමට ඉඩ ඇත.
"ඔයාට හොඳටම මතක බෑග් එකෙන් ආයෙ ගත්තෙ නෑ කියල.තාම ඔෆිස් එකේ ලාච්චුවේ දන්නෙත් නෑ......මම තව ටිකක් ගෙදර හොයල බලන්නම් කෝ.ඔයාට පරක්කු වෙලා නේද දැන්" ඇය දෙස ටික වේලාවක් බලා සිටි සැමියා කඩිනමින් ලෑස්ති වී වැඩට ගියේය. ඔෆිස් කාමරය අස් කිරීම පසෙක තබා දිනිති මැහුම් සාප්පුවට ගියාය.සති අන්තයේ අවසන් කරන්නට සිටි වැඩ සියල්ල ගොඩ ගැසී ඇත. මැෂිමට ඉඳ ගත් ඇයට අන් සියල්ල අමතක විය.දිනිති නැවත හිස එසෙව්වේ ෆෝන් එකේ නාදයට .
"අරක හම්බ වුනා ?"සැමියා අසයි.
"මොකක්ද? ........මේ ඔෆිස් එකේ නැද්ද"
"ෂික්....කිසි වැඩක් කර ගන්න විදියක් නෑනේ.මම නිවාඩුවක් දාලා ගිහින් අළුත් එකක් කපන්න දෙන්න ඕන."
"ඉතින් ඕකට ඔයා යන්න ඕන ?"
"වෙන කෙනෙක් කියන්නෙ කොහොමද? සීල් එකවත් පරිස්සම් කර ගන්න බැරි සහකාර අධ්යක්ෂ කෙනෙක් යටතේ මිනිස්සු වැඩ කරයි ?"
හිනාවක් නැගෙන්නට ආවත් ඇය කට තද කර ගත්තාය.
"ඕක කවුරු හරි ගත්තොත් හරි ප්රශ්නයක්. මගෙ ජොබ් එකටත් හොඳ නෑ."ඔහු අවධාරණය කළේය.වාහන ශබ්දයක් ඇසුනෙන් ඇය නැගී සිටියාය."දුව ඇවිත්.මම තියන්නම්"
පාසල් වෑන් ථයෙන් බැස ගත් දුව බඹරයක වේගයෙන් දුව එයි.
"අම්මේ.....මං අද ලස්සන චිත්රයක් ඇන්දා.... මේ" දිනිති ඇස් ලොකු කර චිත් පොත දෙස බැලුවාය.තද කොළ පාට මල් පෙති රැසක් ලෙස සහකාර අධ්යක්ෂ මුද්රාව සටහන් වී ඇත.
" අද චිත් අඳින්න අච්චුවකුයි තින්තයි ගේන්න කිව්වා.අයියා තමා ඕක හොයල දුන්නෙ.චනුකි දුන්නා තින්ත"දුව වරදකාරී ලෙස කීවාය.


Comments