මුල් ම ආදරේ


"මැදපෙරදිග මරු කතරේ"
ඉස්සර මේක තවත් සිංදුවක පදයක් විතරක් වුණාට ඒක මොන තරම් ඇත්තද හිතුනෙ මමත් රස්සාවක් කරන්න මැදපෙරදිගට ආවට පස්සෙ.ඔව් ඒක මරු කතරක් තමයි. පුංචි හරි සැනසීමකට තිබුණෙ ලංකාවෙන් ආව තව හත් අට දෙනෙක්  කම්පැනියෙ වැඩ එක විතරයි. ලංකාවෙ හිටියා නම් කොයි තරම් ජාති කුල පංති බේද වලින් බෙදිලා ඉන්න තිබුණත් මෙහෙ අපි ඔක්කොම හිටියෙ එක පවුලක සහෝදරයන්ටත් වඩා සමගියෙන්. අපිට සෑහෙන කලින් වැඩට ආව ගනේෂ් අයියා පියසිරි අයියා එහෙම තමයි හැම දෙයක් ගැන අපිට කියා දුන්නෙ.
"ලංකාවෙ දුක් විඳිද්දි අපි උන්නද නැද්ද බලපු නැති එව්වොත් දැන් අපිට හතර මහ නිධානෙ පහළ වෙලා වගෙ බලන් ඉන්නෙ මෙහෙන් තෑගි ගේනකල්.එක එකාට පාක්කුඩම් ගෙනියන්න කලින් උඹ හැදිලා ඉඳිං.සල්ලි ළඟ තිබ්බොත් වියදම් වෙයි නම් මුද්දක් මාලයක් හදා ගනිං.ලංකාවට ගියා විකුණගන්න හරි........ඉසේ ඇම්මටත් නිවාඩු නොදා අවුරුද්දෙ නිවාඩු ටික පරිස්සම් කරගෙන එක සැරේ අරන් මාසයක් දෙකක්  ගෙදර ගිහින් වරෙන්.හුඟක් කල් දුරින් ඉන්නකොට හොඳට තිබ්බ මඟුල් වුණත් කඩල යන්න ඉඩ තියෙනවා."
අපේ කම්පැණිය කිට්ටුවෙන් තිබුණා ගාමන්ට් එකක්.ඒකෙත් ලංකාවෙ ගෑණු අය වැඩ කළා.කාත් කවුරුත් නැති රටේ ගින්දරයි වෙඩි බෙහෙතුයි එකට තිබුණ ගිනි ගන්නවද අමුතුවෙන් අහන්න ඕන නැහැ නෙ. ඒත් සම්බන්ධකම් හැම එකක් වගේ ආපහු ගෙදර එන්න ප්ලේන් එක ගොඩ වෙනකල් විතරයි බවත් අපි දැනගෙන හිටියා.
නීල් අපි අතරෙ හිටිය ගමකින් ආව කොල්ලෙක්.එහා පැත්තෙ ගාමන්ට් එකෙන් ඌටත් සිකුරු ලැබුවා. ජාඩියට මූඩිය වගේ කෙල්ල නදීකා ත් හරි අහිංසක පාට තැන්පත් කෙල්ලක් වගෙයි පෙනුනෙ. දෙන්නා නම් කසාද බඳින අදහසින්මයි ඉන්නෙ කියල නීල් අපිට කියල තිබුණෙ.ඒත් මේකා හම්බ කරන හැම සත පහ නදීකා වෙනුවෙන් වියදම් කරද්දි ඒකෙ අනතුර මුලින් දැක්කෙ අපිට අවුරුදු ගානකට කලින් වැඩට ආව ගනේෂ් අයියා.
"කොල්ලෝ උඹ නදීකා ගැන හොඳට හොයල බලල ඔය තීරණ අරන් ඉන්නෙ?"
"අපොයි ඔව් අයියෙ. කෙල්ල තමයි තාත්තාත් නැති පවුලෙ බර ඔක්කොම කරට අරන් නංගිලා මල්ලිලාට ත් උගන්නන්නෙ"
"කසාදයක් ගැන හිතන් ඉන්නවා නම් පවුල් වල වැඩිහිටියොත් දැනුවත් කරපං"
"දැනටත් නදීකාගෙ අම්මා මං ගැන දන්නවා. මාස දෙකකින් නදීකා නිවාඩුවට ගෙදර යනවා.එතකොට මමත් නිවාඩු ඉල්ලලා තියෙන්නෙ.ඒවා කතා බහ කරන් එන්න."
"කතා බහ කලාට කමක් නෑ උඹ අපිට නොකිය වෙඩිමක් හෙම ගන්නවා නෙවෙයි පුතෝ...."
ඇවිත් අවුරුදු 3කින් ඉතුරු කර ගත්ත මුළු නිවාඩු ටික එක සැරේ අරන් මම ගෙදර ගියා.අම්මෝ එහෙම සැනසීමක්. උපන් රටේ හරි හමන් රස්සාවක් නොලැබුණ පවට මිසක් මොන දුකක් මේ විඳින්නෙ.
නිවාඩුව ඉවර වෙලා කඳුළු සෝ සුසුම් මැද්දෙ ආපහු යද්දි සුළි සුළඟක් හමාගෙන ගිහින්.
මම ගිහින් සතියකින් වගේ නදීකා අඬාගෙන ආවාලු අම්මාට අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා කියාගෙන.එවෙලෙම ගෙදර යන්න ඕන කිව්වම නීල් අතේ තියෙන සල්ලි ඔක්කොමයි මදි පාඩුවට අතේ කරේ දාගෙන හිටිය මුද්දයි මාලෙයිත් දීල තියෙන්නෙ හොඳ හොඳ බෑණා කෙනෙක් වගේ. යාළුවෙක් ගෙ දෙයක් වෙනුවෙන් උපරිමයට හිත උණු වෙන අපේ අයත් අතේ තියෙන කීයකින් හරි උදව් කරලා කෙල්ලට ඉක්මනින් ගමට යන්න.
නීල් එක්ක එයාපෝට් එක වෙනකල් ගිය පෙම්වතී ලංකාවට ගියා කියන්නවත් කතා කරල නෑ.මේ නිහඬකම දින සති දක්වා දික් වෙද්දි " ගමට සිග්නල් නෑ බං,අම්මා අසනීප නිසා කතා කරන්නවත් වෙලාවක් නැතුව ඇති" කියලා නීල තමන්ගෙම හිත හදා ගන්න කිව්ව කතා අපේ අයට හරි ගිහින් නැහැ. ගාමන්ට් එකේ අයත් නදීකා ගැන මහ විස්තරයක් දන්නෙ නැහැලු.
මේ සම්බන්ධය ගැන කොහොමත් වැඩි කැමැත්තක් නොපෙන්නුව ගනේෂ් අයියා තමන්ගෙ හිතවත් අය හරහා නදීකාගේ අතීතයට හාරා අවුස්සා තිබුණා. අරන් ඇවිත් තිබුණ හොට් හොට් නිවුස් වලින් කට්ටිය සලිත වෙලා ඉන්න අතරෙයි මම එහාට පය තිබ්බෙ.
"හ්ම්...නදීකා කියන්නෙ දෙදරු මවක්.මීට කලිනුත් වෙන තැන් කීපයකම වැඩ කරල විවිධ ජාතික පෙම්වතුන් හොඳට හූරගෙන පුරුදුයිලු.සැරයක් යාළු වෙලා හිටිය පෙම්වතෙක් අහම්බෙන් මුණ ගැහිලා මරණ තර්ජන එද්දි බයටයි ලංකාවට පැනල තියෙන්නෙ.
නීල් හිටපු තත්වෙ කියන්න වචන නෑ.අහිමිවීම් ගොඩක් අතරෙ යාළුවන්ගෙ අවවාද අවලාද බැණුම් ......නදීකා එක්ක ගමට යන්න හිතාගෙන ඉල්ලුව නිවාඩු වෙද්දි ලැබිල තිබුණ නිසා ආවටත් වඩා පහල අඩියකට වැටුණ නීල් ලංකාවට ගියා.ගිහින් ටික දවසකිනුයි අපි දැන ගත්තෙ නීල් රස්සාවෙනුත් අස් වෙලා ගිය බව.ඔව් වුණ දේවල් එක්ක එහෙම තැනක ඉන්න හිත හදා ගන්නත් බැරි වෙන්න ඇති.
වැලි කතරට වැදුණ අකුණක් වගේ නීල් ගෙ මතකය අපේ හිත් වලට විතරක් සීමා වුණා. නීල් ලංකාවෙ හිටියෙ අනුරාධපුරේ පැත්තෙ ගමක කියන්න මිසක් හරි තොරතුරක් අපි දැනගෙන හිටියෙත් නෑ.
කාලය ගත වෙද්දි නිවාඩුවට ඇවිත් ගියත් මාව පිට රටට සින්න වුණා. "රට ගිය කෙනෙක් ඒකට ඇබ්බැහි වෙනවා" අපේ අය නිතර කියන කතාවක්.
නිවාඩුවකට ආවා බාරයක් ඔප්පු කරන්න රුවන්වැලිසෑයට යන්න නෝනාගෙන් කරච්චලේ. දරු පවුලම පිටින් කාලෙකින් වන්දනාවක්.අනේ අපේ නීල් කොල්ලා....
මට මග දිගට මතක් වුණා. දවල්  කන්න හදන් යන් කියද්දි නෑ අපි එහෙ හොඳ තැනකින් 
කමු කියවුණ නිසා අම්මලා දූලා පුත්තු ඔක්කොටම ගැලපෙන පිරිසිදු ඉඩ කඩ තියෙන 
සුහදශීලී පූජා නගරයට කිට්ටු හෝටලයක් හොයන්න පුදුම කට්ටක් මටත් කන්න වුණේ.
අමාරුවෙන් හොයා ගත්ත  හැමදේම හරි ගිය හෝටලේට ගොඩ වැදිල මම සුසුමක් 
හෙලුවා. ඕඩර් කෙරුව කෑම එනකල් කල් බලද්දි වේටර් කෙනෙක් අපි ළඟට ආවා.
"උඩ තට්ටුවේ මේසයකට යමු මහත්තයා. එතනට හරි ලස්සනට වැවත් පේනවා."
අනේ ඉතිං තාත්තාගේ කැමැත්ත මොටද එහෙම ඒවට.දුවයි පුතයි එක සැනින් පඩිපෙල 
ළඟට දිව්වා. ඇත්තම තමයි.උඩ තට්ටුව සුපිරි පන්තියේ. එක  කෑම  මෙතන ගාන 
කොහොම වෙයි  හිත හිතා ඉන්න කොට හුරු පුරුදු මූණක් මගෙ ළඟින් ඉඳ ගත්තා.
"සෙනේ අයියෙ....."
මොහොතක් ගල් වෙලා ඉඳලා මම හුස්මක් ඉහලට ඇද්දා."නීල්....මල්ලි උඹ?"
"කොහොමද අයියෙ?කවදද ආවෙ?"
"දෙයියනේ කොහෙද උඹ ගියේ බං අපි කාටවත් නොකියා?love එකක් නැති වුණා කියල 
ඔහොමත් කරනවද?"
මේ වෙද්දි එදා හිටිය පොඩි කොල්ලා සෑහෙන්න පරිණත වෙලා බව දැක්කත් අවුරුදු 
ගාණකට පස්සෙ මුණ ගැහුණම මගේ කටටත් break නැති වුණා.
"මම ආවා අයියෙ මගෙ first love එක හොයන්"
මූ යකෝ....මට හිතින් හිතුණා.ගමේ කෙල්ලක් ඉන්දැද්දි  එහෙ එකියක් බඳින්න ලෑස්ති 
වුණේ අහන්න මගෙ කටට  ආවත් මම ඒක එහෙම  ගිල ගත්තා. 
"මම හිඟන්නෙක් හොරෙක් මිනීමරුවෙක් කුඩ්ඩෙක් වෙලා ආවත් කවදාවත් දාලා නොයන
 මගේ මුල්  ආදරේ.....අම්මයි තාත්තයි."
මට ලොකු හුස්මක් උඩට ඇදුනා.
"රට පුරා රස්තියාදු ගහල විනාස වෙලා අම්මා තාත්තාගෙ හිත් කඩල බිඳල දාල අන්තිමට
 මං රට ගියේ ගේත් උගස් කරලා.එහෙ ගිහින් බේර ගන්න සල්ලි එවනවා කිව්වට ඒකත් 
පිළිවෙලකට කළේ නැහැ නෙ. අතේ සතේ නැතුව මම ලංකාවට එද්දි ගේ සින්න වෙන්න 
ඔන්න මෙන්න.ඒත් අම්මලා මට වචනයක් කිව්වෙ නෑ.සෑහෙන උත්සාහයකින් ඒකත් 
බේරගෙන හුඟාක් දුක් විඳගෙන නැගිට්ටා මං. අම්මා එක්ක පොඩියට පටන් ගත්ත පෙට්ටි
 කඩේ තමයි මේ."
"නීල් මල්ලි සුපිරි වැඩක් නෙ"
"එයාල කිව්ව දේ ඇහුවා නම් මීට කලින් මම මෙතන. කරපු දේවල් වලට මට එහෙම 
වෙලත් මදි. කවදාවත් තමන්ගෙ මුල්  ආදරේට පිටුපාන්න එපා කියන්නෙ අන්න ඒකයි 
අයියෙ"
නීල් මගේ උරිස්සට තට්ටුවක් දාගෙන නැගිට්ටා.හෙට  අම්මලා බලන්න යන්න මම හිතා
 ගත්තා.



Comments