covid 19


ඇඳිරි නීතිය නිසා සුපුරුදු දින චරියාව වෙනස් වූ ජාලියට දිවා ආහාරයෙන් පසු නින්දක් නිදා ගැනීම දැන් පුරුද්දකි.
 උදේ රාජකාරියට නොයාම නම් එතරම් දුක් වන්නට දෙයක් නොවේ.අපහසුව ඇත්තේ මාරියා මුණ නොගැසී සිටීමය. කලින් සැරේ ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් ගෙදරට බඩු ගෙන එන්නට පිටත් වූ ඔහු කඩේ ළඟ පෝලිමේ සිටි පැය දෙක හැරුණු විට ඉතිරි මුළු කාලය මාරියා ගේ නවාතැනේ ගත කර නිවසට ආවේ ඇඳිරි නීතිය නැවත පැනවීමට ඔන්න මෙන්න තිබිය දී "හප්පේ කිට්ටු වෙන්න බෑ හැම තැන පෝලිම්.මම සෑහෙන දුරක් ගිහින් මේ බඩු ටික වත් ගත්තේ"කියාගෙන .
ඇඳිරි නීතිය හෙටත් ඉවත් කරන්නට නියමිතය.දෙමාපියන් දෙදෙනා සෞඛ් සේවයේ නිසා බිරිඳ කුමාරි ගේ අයියා ගේ දෙදරුවන් වෙසෙන්නේ ඔවුන් සමගය. නිසා එදා ගෙන බඩු ඉවර වී ඇති බව හොඳට විශ්වාසය.
මාරියා මතක් වී ජාලියට නව පණක් උපන්නේය.
ඔහු ඇඳෙන් නැගිට කුස්සිය පැත්තට ගියේය.
"හා....ඇත්තම අක්කේ.ඉතින් එයාගෙ කවුරුත් රට ගිහින් ආවද?"
"ඔව් ඔව් ඒක නම් ඇත්ත.නැතුව ඕකිට තොරොම්බල් කරත්තෙ වගේ ඇඳ පැළඳගෙන යන්න කොහේ තියෙන සල්ලි ?"
කුමාරි අදත් අක්කා සමග එක් වී කාගේ හෝ කුණු හෝදන පාටය.
මේ සැරේ මොකක් නැතත් ටෙලිෆෝන් බිල නම් නැගල ඇති.
ජාලිය තමන්ට කියා ගත්තේය.
"හෙට මොනවද ගේන්න ඕන.ලියල දෙන්න. උදේ යන්න ඕන සෙනග ඇති"
ඔහු යුතුකම් ඉටු කරන සැමියෙකුගේ භූමිකාවට පණ පෙව්වේය.
"නෑ නෑ එළියට යන්න එපා.අපි කෝල් කරල ගෙන්න ගමු"
"අපෝ ඔය නම්බර්ස් වැඩ කරන්නෙ නෑ. පරණ වෙලා දින පනින්න කිට්ටු ඒවා ගෙනත්
දෙයි"ඔහු තමන්ගේ පැත්තට කරුණු දැක්වූවේය.
"එහෙම වෙන එකක් නෑ.මේ වෙලාවෙ ගෙවල් වලට වෙලා පරිස්සම් වෙන්නයි ඕන.අපේ අක්කලගෙ ඔෆිස් එකේ මාරියා ත් නිරෝධායනයට ගෙනියලා ලු"
"මාරියා....."....එයා ගෙ කවුරුත් රට ඉන්නවද?"
ජාලිය ගේ කටහඬ වෙව්ලන සුළුය.
"හහ්....තමන්ගෙ කවුරුත් රට ඉන්න ඕන ? ගිනි කිරිල්ලි වගේ නටව නටව ගිහින් කොහේ කොහේ උන් කීයක් ගෙදරට ගෙන්න ගන්නවද කවුද දන්නෙ."කුමාරි සරදමින් කීවාය.
"යසයි දැන් ඉතින් ඕකි ගාවට ගිය උන්ට. හොරෙන් හොරෙන් වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියේ"
ඇය තවත් කියවයි.
ජාලියගේ පපුව හිර වෙන්නා වගේ දැනුනේය.
මැරෙන්නට පහසු විදිය තෝරා ගැනීම පමණකි කරන්නට ඉතිරි ඇත්තේ
කොරෝනා....ඔය කොරෝලා තියෙන්නෙ.
ගෙදර හිටියත් තෝ නසී, නිරෝධායනෙට ගියත් තෝ නසී.




Comments