ආරම්භයක්


එක්තරා තැනක එක්තරා පිරිසක් අතර රැස්වීමකි.තේරුම් ගැනීමේ පහසුවට දේව සභාවක් ලෙස හඳුන්වා ගනිමු.
සියළු දෙනා රවුමට ඉඳගෙන සිටිති. මැද සිලින්ඩරාකාර විනිවිද පෙනෙන තිරයකි.එහි වසර මිලියන ගණනකට පෙර පෘථිවියේ විසූ අති විශාල උරගයන්ගේ ඇති වීම,පැවැතීම හා විනාශය වාර්තා චිත්රපටයක් මෙන් දර්ශනය වෙයි.
එය අවසන් අප හුරු පුරුදු නිල් පාට ග්රහ ලොවක් දර්ශනය වන්නට විය.
"හ්ම් සතුන්ට නිල් ලෝකයේ සාර්ථක ජීවත් වෙන්න පුළුවන්."
රැස්වීමේ නායකයා ලෙස පෙනුන තැනැත්තා වටේ පිරිස දෙස බලා ඇසුවේය.
බොහෝ දෙනා හිස වනා එයට එකඟ වූවෝය.
"අපි එහි ඊළඟ වැඩසටහන පටන් ගනිමු. හැබැයි ඒක මීට වඩා සංකීර්ණයි.දිගු කාලීනයි."ඔහු එසේ නේදැයි අසන බැල්මකින් බැලුවේය.
"මේ සැරේ සත්තු වර්ග කීපයක් විවිධ බුද්ධි මට්ටම්,කාය ශක්ති මට්ටම් සමග එකවර හඳුන්වා දෙන්නයි සැලසුම් කළේ" සාමාජිකයෙක් පිළිතුරු බැන්දේය.
කරදියේ, මිරිදියේ වසන,ගොඩබිම,අහස සරණ විවිධ සතුන් වර්ග කීපයක් තිරය මත දිස් විය.
"මොකද හිතන්නෙ"නායකයා අනෙක් අයගේ මුහුණු බැලුවේය.
සාමාජිකයන් අතර කතා බහක් පැතිරුණේය.
"කරල බලමු.අපේ අංශ වලින් ඕනෑ සහයෝගයක් දෙන්න ලෑස්තියි. ඇතිවීම, පැවැතීම,නැවතීම අංශ 3ටම." සියලු දෙනාගේ අදහස එක් අයෙකුගෙන් කියවිණ.
"හ්ම්....පටන් ගනිමු.ප්රගතිය හොයා බලමු" නායකයාගෙන් අනුමැතිය ලැබුණේය.
---------------------------------------
නැවත රැස්වීම් අවස්ථාව එළඹුනේය.
"උත්සාහය සාර්ථකයි නේද?"
නායක අසුනෙන් කතාව ඇරඹුනේය.
" සතුන් වර්ග සියල්ල සහයෝගයෙන් ජීවත් වෙනවා.පරිසරය සමතුලිත වර්ධනය වෙනවා"
වැඩසටහනේ ආරම්භක සාමාජිකයෙක් උද්දාමයෙන් කීවේය.
"ඊළඟට?"නැවත නායකයාගෙන් ඇසුණේය.
"ඊළඟ සත්ත්වයා හඳුන්වා දෙන්නට සූදානම්...."
තිරය මත ගල් යුගයේ මානවයෙක් ගේ රුව ඇඳුනේය.
"මේ සතා අනෙක් බොහෝ සතුන්ට තරම් කාය බලයක් දෙන්නේ නැහැ.නමුත් බුද්ධිය අනෙක් සියල්ලන්ට වඩා ලබා දී පරීක්ෂා කරන්නයි අදහස" විස්තර කරමින් සිටි තැනැත්තා අනුමැතිය බලාපොරොත්තුවෙන් අවට බැලුවේය.
"කාය බලය වැදගත් නැහැ.බුද්ධිය හොඳින් ඇත්නම්....කොයි තරම් දුරකට බුද්ධිය දෙන්නද සැලසුම?"
"තරමක් ඉහළ මට්ටමකට දීලා ප්රතිඵලය බලන්නයි ඕන.සමහර විශේෂ ඥාන කොටස් වෙනුවෙන් අපේ අයට වරින් වර නිල් ලොවේ පහළ වී දැනුම දෙන්න පුළුවන්."ඔහු පිරිස සිසාරා බැලුවේය.
පිරිස තරමක් නොසන්සුන් විය.
" තරම් ඥානයක් වැඩි නැද්ද?එයින් සන්නද්ධ වී තමන් අයිති නැති දේ පවා හොයන්නට,පාලනය කරන්නට, විනාශ කර දමන්නට පවා පෙළඹේවි."හැම දෙනාටම නැගුන ගැටළුව එක් කෙනෙක්ගෙන් ඇසුනේය.
"තමන්ගේ තැන ඉක්මවා යන ඕනෑ සත්ත්ව වර්ගයක නැවතීම සැනින් සිදුවේවි." තවත් සාමාජිකයෙක් පිළිතුරු දුන්නේය.
" විනාශයත් කලින් වැඩසටහනේ වුණ විදියට ?"
"නැහැ. තරම් ශක්තියක් වැය කළ යුතු නැහැ... මෙතෙක් සවන් දී සිටි නායකයා කීවේය.
"අපේ ඥානයෙන් කොටසකුත් ලබා දුන්නාට පසු ඔවුන් විනාශ කරන්න තරම් ශක්තියක් අපෙන් යෙදිය යුතු නෑ. විනාශය ඔවුන් අතර කර ගත්තාවේ"
නායකයාගේ තීරණය හමුවේ සාමාජිකයෝ සාකච්ඡාවකට එළඹුණහ.අවසානයේ එක් අයෙක් කරුණු ඉදිරිපත් කළේය.
"මෙතෙක් නිල් ලොවට දුන් සතුන් කිසිවෙක් තමන්ගේ සීමා ඉක්මවා ගිහින් නැහැ.මේ අළුත් සත්ත්වයා පමණයි එහෙම අත්තනෝමතික විය හැකි.....අපි මේ සත්ත්වයා බුද්ධියට අමතර ආත්මාර්ථකාමී බව ලබා දෙමු"
"එයින් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?" මුලසුනෙන් ඇසුණි.
"ආත්මාර්ථය මුල් කරගෙන තමන්ට ජීවය දුන් අය, තමන් නිසා ජීවය ලැබූ අය පවා තමන් විසින් විනාශ කරාවි.තමන් නිවැරදි මග පෙන්වන අය පිටුදකීවි.එයින් තමන්ගේ මුළු වර්ගයා විනාශ කරාවි.අපි වෙහෙස විය යුතු නැහැ."
"හොඳ අදහසක්.ඊට වඩා ඉක්මනින් ඔවුන් නැවැත්විය යුතු අවස්ථා වල අපි මැදිහත් වෙන්නම්"
ආපෝ,තේජෝ,වායෝ,පඨවි බල දරන හතර දෙනා ඉදිරිපත් වූහ.
"එකඟ ?"
නායකයා සියල්ලන්ගේ මුහුණ බැලුවේය.
"හොඳයි.පටන් ගන්න!!!"

Most Earth-like worlds have yet to be born, according to ...

Comments