සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අවසන් අපේක්ෂකයා පිට ව ගියේය. ලේඛන කටයුතු පිලියෙල කරමින් සිටි වසුන්දරා ද පිට ව යන තුරු සිටි ඉෂාර දෑත් අතර හිස රඳවා ගත්තේය.
"අනේ මට නම් බෑ තාත්තෙ"
ඔහු තමන් සමග සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි අනෙක් සාමාජිකයා වූ තම පියා ට කීවේය.
රවිලාල් කට කොණකින් සිනාසුණේය.ඔහුගේ සීයා විසින් පෙට්ටි කඩයක් ලෙස අරඹා මේ වෙද්දී රට පුරා පැතිරුණ හෝටල් ජාලයේ අලුතින් පටන් ගන්නට නියමිත හෝටලය සඳහා කළමනාකරුවකු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයයි මේ.කළමනාකරුවකු තෝරා ගැනීමට මෙන් ම ඊළඟට මේ සියල්ල බාර ගැනීමට නියමිත පුතා ට පුහුණුවක් ලබා දීම ද ඔහු එක වර සිදු කරයි.
"Management,marketing,අර කෝස්,මේ උපාධි සහතික සීයක් විතර තියෙනවා.එක practical problem එකකට මොකද කරන්නෙ හිතා ගන්න බෑ......සීයා ගමෙන් එද්දි ඇඳගෙන ආව ඇඳුමෙ පාට ඉඳන් බිස්නස් එකේ ඉතිහාසය ගැන දන්නවා.අනාගතයෙ මේක දියුණු කරන්න එක strategy එකක් නෑ....අස්ප ගණන් සැලරි ඕන.ඒ වුණාට එක පැයක්,නිවාඩු දවසක් වැඩිපුර වැඩ කරන්න බෑ"
පියාගෙන් පිළිතුරක් නොලද නිසා ඉෂාර දිගට ම කියවාගෙන ගියේය.
"තේරෙනවා නේද කොච්චර ඉගෙන ගත්තත් මිනිස්සුන්ට රස්සා නැති වෙන්න හේතු....හා යමු යමු අපි අද හොඳට ම පරක්කුයි"රවිලාල් පුටුවෙන් නැගිට්ටේය.
රියදුරු සමන් රථයේ දොර විවර කරගෙන සිටියි.
"සර් අද වටරවුමෙන් තමා යන්න වෙන්නෙ"
"ඒ මොකද?"
"පාරෙ ඉස්සරහ උද්ඝෝෂණයක්....රජයේ රස්සා ඉල්ලලා"
පිය පුතු දෙපල අර්ථවත් බැල්මක් හුවමාරු කර ගනිමින් රථයට ගොඩ වූහ.
"මදැයි...තව පැයක්වත් වැඩිපුර යයි ගෙදර යන්න. සමන් හොඳ තැනක නවත්තන්න.තේ බීලා ම යමු.අද නම් හරි ම මහන්සියි."
රවිලාල්ගේ අණින් සමන් පාර අයිනේ තිබූ අළුත් කුඩා ආපන ශාලාවක් අසල රථය නැවැත්වූයේය.
කාර්යාල,පන්ති ඇරෙන වේලාවක් නිසා ස්ථානයේ සෙනග පිරී ඇත. සේවකයෝ ද ඉතා කාර්යබහුලය.ඔවුහු කොණක තිබූ මේසයක හිඳ ගත්හ.ඒ තැනට මුළු ආපන ශාලාව ම පෙනෙයි.නමුත් එහි සිටින්නන්ට මේ මුල්ල නොපෙනේ.මෙතන සුදුසු කවුන්ටරයට නොවේදැයි රවිලාල් සිතුවේය.
ඔවුන් වෙත වේටර්වරයෙක් එන්නට තරමක වේලාවක් ගත වුණේය.
"අපොයි සර් අපි ඕඩර් එක කැන්සල් කරලා වෙන තැනකට යමු"
ඔහු ඕඩරය රැගෙන යද්දී සමන් කීවේය.
"ඇයි සමන්?"
"අර එන මනුස්සයා මම කීප තැනක ම දැකල තියෙනවා.හෝටල් වලට ගිහින් මොකක් හරි හේතුවක් අල්ලගෙන රණ්ඩු වෙනවා.අන්තිමට ලොකු කලබලයක් කරල එතනට ආව අයටත් කන්න බොන්න නැති කරනවා"
ඉෂාර පුටුවෙන් නැගිටිමින් තාත්තා දෙස බැලුවේය.පියා ඔහු වැළකුවේය.
"අපි ඉඳල බලමු. අද interview එකෙන් selected අයගෙ second round එකට දෙන්න පුළුවන් practical case එකක්"
මැර පෙනුමක් තිබූ පාරිභෝගිකයා ඉදිරි මේසයක අසුන් ගත්තේය.කාර්ය බහුල බව නිසා ටික වේලාවක් යන තුරු ඔහු වෙතටද වේටර් කෙනෙකුගේ අවධානය යොමු වූයේ නැත.
ඔහු නැගී සිටියේය.මිටි කරගත් අතින් මේසයට පහරක් දී ගෝරනාඩු කළේය.අසල සිටි සේවකයෝ බියෙන් මග හැර යද්දී වටේ සිටි සියල්ලන්ට ද තර්ජනය කරමින් කවුන්ටරය වෙත පා නැගුවේය.
හදිසියේ අහම්බෙන් ඔහු යන මග හරස් වුණේ රවිලාල් ගේ ඕඩරය ගෙන එමින් සිටි වේටර් තරුණයාගෙනි.එල්ලෙන්නට කොක්කක් සොයමින් සිටි මැරයා වේටර් වෙත කඩා පැන්නේය.අහඹු සිදුවීමෙන් අන්දුන් කුන්දුන් වුවත් තරුණයා නොසැලී ඔහුට සවන් දුන්නේය.බැණ ගෙන බැණගෙන යද්දී හිස නවාගෙන සන්සුන් ව අසා සිටියේය.
ඔහු කියන සියල්ල ම නොවෙනස් මඳ සිනාවකින් අනුමත කරමින් තමන් නොදත් වරදකට සමාව ඉල්ලුවේය.
කැත්තකට සටන් කළ හැක්කේ ඊට එරෙහි ව එන තවත් එවැනි ම ආයුධයක් සමග පමණි.
ජලය හෝ සුළඟට එරෙහි ව සටනක් නැත.
මැරයා පසු බැස නැවත මේසයට ඉඳ ගත්තේය.තරුණයා ආචාරශීලී ව ඔහුගේ ඕඩරය ලියා ගෙන වෙනත් වේටර්වරයෙකුට දී ඉක්මන් ගමනින් ආවේය.
"I’m very sorry sir,පරක්කු වුණාට සමා වෙන්න." ඔහු ඉතා ලගන්නා සිනාවකින් බැගෑපත් විය.
"අහ් ඒකට කමක් නෑ.මොකක්ද ඔයාගෙ නම?
"කමල් වීරසිංහ"
"කමල් හරි ලස්සනට ඒ කෙනා ව handle කළා"
"Thank you sir"
"කොහොමද එහෙම ඉවසුවේ.තමන්ගෙ වත් නොවෙන වරදකට?" අවශ්‍ය නම් මැරයා සමග කරට කර සටන් කළ හැකි දේහ විලාසයක් සතු වේටර්වරයා දෙස බලමින් ඉෂාර ඇසුවේය.
"ඒ අපේ කස්ටමර් කෙනෙක් නෙ සර්.එයා මෙතන මොනව කළත් අපි එයා ට හොඳට සැළකුවොත් තවත් දවසක එයි.නරකට සැලකුවොත් එයා එන්නෙත් නෑ.දන්න අඳුනන හැමෝටමත් මෙහෙ නරක කියයි. එතකොට හෝටලේටයි පාඩුව"
"හෝටලේ ට හරි ආදරෙයි වගේ"
"එහෙම නැතුව කොහොමද සර්?මේක දියුණු වුනොත් තමයි අපිටත් හොඳක් වෙන්නෙ. මගේ පඩිය තමා අපේ පවුලෙ ම අනාගතය"
ඔහුගේ පිළිතුර හමුවේ කට කොනකින් සිනාසුණ රවිලාල් සාක්කුවෙන් කාඩ් එකක් ගත්තේය.
"කමල්ට මීට වඩා හොඳ පඩියකට මීට වඩා හොඳ රස්සාවක් කරන්න ඕන නම් මේ නම්බර් එකකට කතා කරල අයිඩෙන්ටියත් අරන් වහාම එන්න."
බිලට අදාල මුදල මේසය මත තබා ඔවුහු යන්නට නැගිට්ටෝය.
කතාවේ අවසන් කොටසේ දී දුරකථන සංවාදයක සිටි ඉෂාර පියා දෙස බැලුවේය.
"තාත්තෙ,වසුන්දරා second interview එකට selected අයට inform කරන්න අපිට පුළුවන් date එකක් අහනවා."
"ආ......second
interview තියන්න ඕන වෙන එකක් නෑ.අපි හොයපු කෙනා හම්බ වුණා" පියා සැහැල්ලුවෙන් කීවේය. "ඒත් තාත්තෙ....ඒ මනුස්සයාගෙ ඉගෙනීම වත්....." පියා සිනාසුණේය. "මගේ සීයත් හතරෙ පන්තියට විතරයි ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ"
Comments
Post a Comment