තාත්තාගේ තීරණේ


Dads Shouldn't Give Up On Father Daughter Relationships
බස් රථයෙන් බැස ගත්  මල්මි ගේ පය ඉදිරියට වඩා ඇදුනේ පිටුපසට.වෙනදා නම් ඇය මේ දුර දුවන්නේ රේස් එකේ බත් පිඟාන මතක් කරන්.ඒත් අද ඇයට ගෙදරට යන ගමන හැඟුනේ මරන්න ගෙනියන හරකෙක් ගේ ගානට.ගෙදර නොගිහින් යාලුවෙක් ගේ ගෙදරට යන්න හිතුනත් එයින් වෙන්නේ ප්රශ්නේ තවත් උග් වෙන එක විතරයි.
මල්මි ගේ ටියුෂන් පන්තියට සහභාගී වෙන යහළු යෙහෙලි බොහෝ දෙනෙක් ගෙදර යන්නේ එක බස් රියෙන් වුනත් ගමනාන්තය දක්වා යන්නේ මල්මි පමණයි.මුලින් නම් ඔවුන් බැසගිය පසු ඇයට තනිකමක් දැනුනත් මාස කීපයක් ඉඳන් මල්මි ගේ අසුනේ ඉතිරි  කොටස අයිතිවාසිකම් කියමින් තමන් බැසිය යුතු හෝල්ට් එකත් පසු කර  නදුන් ගමනාන්තය දක්වා ඇය හා පැමිණෙන නිසා තනිකම නැතිව ගිහින්.
වෙනත් පාරක අලුත් වැඩියාවක් නිසා වෙනදා පාරේ යන වාහනත් අද ඔවුන්ගේ බසය යන පාරට හරවා තිබීමෙන් වෙනදාටත් වඩා වාහන තදබදයක් .වෙන දවසක නම් බස් රථයේ අනෙක් අය ට වගේ නොරිස්සුමක් ඇති වුනත් අද නම් මල්මි එහි වගක් වත් නැත්තේ නදුන් සමග බර කතාවක පැටලී සිටි නිසා.එක වරම බසය ඉදිරියට ඇදෙනු දැනුන නිසා ඇය නිකමට වගේ ජනේලයෙන් එලිය බැලුවාය. දෙය්යනේ,....මෙතෙක් වේලා බසය ළඟ නවත්වාගෙන සිට දැන් බසය පසු කර ඉදිරියට ඇදෙන,මොන්ටිසෝරියේ සිට O/L විබාගය දක්වා තමන් උදේ හවස ගෙනත් ඇරලවූ , මෝටර් සයිකල 1000ක් මැද වුනත් කිසි අපහසුවකින් තොර අඳුනා ගත හැකි මෝටර් සයිකලය.......!!
"ආයේ පන්ති නම් යන්න දෙන්නේ නෑ. Sure. අපරාදේ ඉස්කෝලේ ඉගැන්නුවට තේරුනේ නැති පාඩමක් ලබන සතියේ පටන් ගන්නේ.ඉස්කෝලේ යන්නත් එපා කියයි දන්නේ නෑ. ෂිට් කරුමේ බස් එකේ අනිත් පැත්තේ වාඩි වෙන්න බැරි වුනානේ" පොඩි කාලයේ නංගි හා මල්ලි සමග කල දඟ වැඩ වලට ඉහේ කෙස් ගානට තාත්තාගෙන් ගුටි කා ඇතත් වැඩිවිය පැමිණුනාට පසු ඔහු ඇයට බැන  වැදුනේ පවා කලාතුරකින්. "ලොකූ.... ඔයා හරියට හැදෙන්න ඕන.ඔයා දිහා බලලයි පොඩි දෙන්න හැදෙන්නේ" ඔහු  නිරන්තරයෙන් පැවසුවේ එයයි. "දැන් ඉතින් ඔක්කොම ඉවරයි".නදුන් කොපමණ ඇගේ හිත හැදුවත් තාත්තාගේ ආදරය වගේ තරහ ගැනත් දන්නේ තමන් .
බියෙන් වෙව්ලමින් නිවසට පා තැබුවත් කිසිම හැලහොල්මනක් නැත.තාත්තා පාඩුවේ නිව්ස් බලයි.මල්මි ඉක්මනින් මුහුණ සෝදා  බත් කටක් දෙකක් කා කාමරයට වැදුනාය.පාඩම් කරන්නට පොතක් අතට ගත්තත් පොතේ අකුරු නොපෙනේ.දැන් දැන් තාත්තා අඬ ගසනු ඇත.
"ලොකූ..... ළමයත් ඔයාගේ වයසේ ?"මල්මි නොදැනුවත් පුටුවෙන් නැගිටුනාය. තාත්තා කාමරයට ආවා මදිවාට අටුවා ටීකා නැතුව කෙලින් ප්රශ්නය අසයි. ඇයට  නිතැතින් ඔහුගේ අත  දිහා බැලුනේ වේවැලක සෝදිසියෙනි. " ...ඔව් තාත්තේ"
"එක සබ්ජෙක්ට්ස් ?"
"ඔව් තාත්තේ"
"හ්ම්....මේ ඉරිදා උදේ 10 විතර මෙහෙ එන්න කියන්න.පොඩි දෙන්නත් දහම් පාසල් ගියාම "
තාත්තා කාමරයෙන් එලියට ගියේය.මල්මි ඉහලට ගත්  හුස්ම පහත හෙළිය නොහැකි සේ ගල් ගැසී බලා සිටියාය.
ඊලග පන්ති දවසේ මේ පණිවිඩය ලැබූ නදුන් අන්දුන් කුන්දුන් වූයේය.
"තාත්තා වෙන මුකුත් කිව්වේ නැද්ද"
"ඔයා බය වෙන්න එපා"තමන්ගේ බය හංගාගෙන මල්මි කීවාය.
" මේක නවත්තන්න කියයි.බැන්නත් අපි දෙන්නට නේ.කමක් නෑ අහගෙන ඉමු"
---------------------------------------------------------------------------------------------------------
"පුතාගේ නම මොකක්ද" ආමන්ත්රණයෙන් නදුන් ගේ බය අඩු විය.
"නදුන්,.....නදුන් අසින්ත සමරවික්රම"
"ගෙවල් කොහෙද"
"මහා විද්යාලේ ළඟ"
"දැන් ඔය දෙන්නා යාලු වෙලා ඉන්නේ කවද හරි කසාද බඳින්න බලාගෙන ?" ප්රශ්නය මෙතෙක් දොර මුල්ලට වී වෙව්ලමින් සිටි මල්මි ත් එක්ක ම. ."ඔව්...අන්...තාත්තේ"
"ඔව් තාත්තේ"
"හ්ම්. හැම දෙමවුපියන්ට ඕන දරුවන් ගේ සන්තෝසේ.හැබැයි ඔය දෙන්නා මම කියන විදියට  වැඩක් කරන්න ඕන" තාත්තා දෙන්නා දෙස අවදාරණයෙන් බැලුවේය.
"දෙන්න ම තමන්ගේ උපරිම උත්සාහයෙන් ලබන අවුරුද්දේ විභාගේ කරන්න ඕන. ඊළඟට සමාජේ ඉස්සරහ ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන් ආදායම් මාර්ගයක් හොයා ගන්න ඕන.ඊට පස්සේ පුතා තමන් ගේ ගෙදර අයත් දැනුවත් කරලා එයාලත් එක්ක ම මෙහෙ එන්න.අපි වැඩිහිටියෝ කතා බහ කරලා කටයුතු කරලා දෙන්නම්".
මල්මි තාත්තා දෙස බලා සිටියේ මවිතයෙන්.
"දෙන්නම තම තමන්ගේ ඉස්කෝල වලට ආදරෙයි නේද"
"ඔව් තාත්තේ"එවර නම් දෙන්නා ම එක හඬින්.
"අස්වීමේ සහතිකේ ගන්න කල් ඔයාල ඉස්කෝලෙට අයිතියි. නිසා uniform එකෙන් වත් පාට ඇඳුමින් වත් තැන් තැන් වල කතා කර කර ඉඳල ඉස්කෝලේ ලැජ්ජා කරලා මගේ මේ තීරණ වෙනස් කර ගන්න එපා. තේරුනාද?"
ස්වරයේ නම් කලින් වඩා සැරක් තිබුන බව දෙන්නා තේරුම් ගත්හ.
"ඔව් තාත්තේ"
-------------------------------------------------------------------------------------------------------------
මල්මි ගේ තාත්තා ඉදිරියේ මොනවා කීවත් විවාහයක් තබා ඊලග අවුරුද්දේ විභාගය ගැනවත් කිසිම අදහසක් නදුන් තිබුනේ නෑ. ඔහුට දැනුනේ  තමන් බලෙන් උගුලක පැටලුවා වැනි හැඟීමක්. මේ සියල්ල කියා සිත නිදහස් කර ගැනීමට  ඔහු හොඳම මිතුරා ට ඇමතුවේය.
"උඹේ මාමන්ඩි 1000කින් හොයා ගන්න බෑ බන්.අපේ ගෙවල් ගාව කෙල්ලෙක් ගේ affair එකක්  ගෙදරට මාට්ටු වෙලා තාත්තා සෙට් එකක් දම්මලා කොල්ලට සිහි නැති වෙන්න ගස්සලා." 
ඔව්, කතාවත් ඇත්තය.මේ ප්රශ්නය මෙහෙම විසඳුන එක වාසනාවකි.දැන් ඇත්තේ කොහොම හරි විභාගය ගොඩ දා ගන්නටය.
මල්මි නම් තාත්තගේ වචන ලොතරැයියක් ඇදුන  ගානය.තාත්තා දෙයක් කිව්වොත් කිව්වාමය.නදුන් හමු වීමට එපා කීම නම් හිතට දුකක් වුවත්  විරුද්ද වෙයි සිතු සම්බන්දය විවාහයක් දක්වා ගෙන යන්නට දැන් අවසර දී තිබියදී ඒවා අමතක කල හැක.දැන් ඇත්තේ උපරිමයෙන් විභාගය සඳහා සුදානම් වීමය.
-------------------------------------------------------------------------------------------------------------
විභාග ප්රතිපල නිකුත් විය.නදුන් C 3කි.S 3ක් වත් ගන්නට සිහින දකිමින් සිටි ඔහුට එය ඉහටත් උඩින් .පවුලේ හිතවතෙකුගේත් උදව්වෙන් හා පාසලේ කල ක්රීඩා,බාහිර ක්රියාකාරකම් වල පිහිටෙන් පුද්ගලික ආයතනයක  රැකියාවක් ලබා ගැනීමට ඔහු සමත් වූයේය.මල්මි A 3 කි.මහන්සි වූ තරමට ඇය ප්රතිපලය බලාපොරොත්තු වූවාය.
නදුන් ගේ පුහුණු කාලයේ නිවසේ සිට රැකියාවට ගිය හැකි වුවත් ඉන්පසු ඔහුට පත්වීම ලැබුනේ ආයතනයේ කුරුණෑගල ශාඛාවට .මල්මි ගේ ප්රතිපල මත ඇයට බලපොරොත්තු  වූ විශ්ව විද්යාලය හිමි වූ නිසා ඇය කොළඹ සංක්රමණය වූවාය. නුහුරු පරිසරයක අලුත් යහළු යෙහෙලියන්, අධ්යයන කටයුතු සමග කාර්යබහුල වූ නිසා නිවසට පැමිණිය හැකි වූයේ කලාතුරකිනි.
"දැන් කොහොමද ලොකූ වැඩ කටයුතු.?"තාත්තා ඇය ඇමතුවේ සරසවියේ වසරක් ගෙවී ලැබුන නිවාඩුවට නිවසට පැමිණි අවස්ථාවේදී .
"කරගෙන යනවා තාත්තේ.."
" කොහොම නදුන් එහෙම?"
"අපි දෙන්න කතා කරලා ඒක නැවැත්තුවා තාත්තේ,……..හුඟක් mis-matching අදහස් තියෙන්නේ අපි දෙන්නට "
"හ්ම්..!."
"තාත්තේ.............මේ .........අපේ  senior batch එකේ .........boy කෙනෙක් ...........අපේ ගෙදර එන්න ඇහුවා………….තාත්තා meet වෙන්න." 
"හ්ම්..........මේ ඉරිදා 10 විතර එන්න කියන්නකෝ.!!!"

Comments